159. ඉන්ද්රිය බද්ධ කථා
දැන් ඉන්ද්රියබද්ධ කථා නම් වේ. එහි දුක ඉන්ද්රියබද්ධ අනින්ද්රිය බද්ධ යයි දෙයාකාරය. ඉන්ද්රිය බද්ධය දුක් වස්තු බැවින් දුක්ය. අනින්ද්රිය බද්ධය. උදයව්යය පෙළීම් අර්ථයෙන් යමක් අනිත්ය නම් එය දුක් යයි සංගෘහීත බැවින් දුක් වේ. මේ විභාගය නොගෙන යම් අවබෝධයක් සඳහා භගවත්හු බඹසර වුසූද එය ඉන්ද්රියබද්ධ දුකය. සෙසු ඒවා නොවේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදින්ගේ මෙනි. ඔවුන්ට සෙසු ඒවාද දුක් බව දැක්වීමට ඉන්ද්රියබද්ධඤ්ඤෙව යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට, යම්හෙයකින් භගවත්හු විසින් යමක් අනිත්ය නම් එය දුකයයි කියන ලදද, එහෙයින් ඉන්ද්රිය බද්ධයෙන්ම එය අනිත්ය විය යුතුයයි චෝදනා කිරීමට ඉන්ද්රිය බද්ධඤ්ඤෙව අනිච්වං යනාදිය කීය. නනු අනින්ද්රිය බද්ධ අනිච්චං යනු පෘථිවිය, පර්වත, ගල් ආදිය අනින්ද්රිය බද්ධ වූ දේ අනිත්ය නොවේද යන අර්ථය වේ.
න වත්තබ්බං ඉන්ද්රිය බද්ධඤ්ඤෙව දුක්ඛං යන ප්රශ්නයෙහි ආමන්තා යයි ප්රතිඥාව සකවාදියාගේය. ඉන්ද්රියබද්ධ වූ දුක්දොම්නස්වල අරමුණු වේ. භෝග විනාශාදිය නිතරම දොම්නසට අරමුණු වේ. එහෙයින් අනිත්ය අර්ථය නැතිවද අනින්ද්රිය බද්ධය දුක් යයි කිවයුතුය. කර්ම ක්ලේශ නූපදවන ලද වුවත් දුක ආර්ය සත්යයයි නොකිව යුතුය. එසේ මාර්ගයෙන් අවබෝධ නොකරන ලද බැවිනි. යම්හෙයකින් තෘණ කාෂ්ටාදි නිරෝධය හෝ සෘතු බීජාදි නිරෝධය හෝ දුක්ඛ නිරෝධ ආර්ය සත්ය නම් නොවේ. එහෙයින් ඉන්ද්රිය බද්ධය දුක් ද ආර්ය සත්යය ද වේ. අනික වනාහි දුක්මයයි මේ නානත්වය දැක්වීමට පිළිගනී. යථා ඉන්ද්රියබද්ධස්ස ආදි වචන ඉන්ද්රිය බද්ධ අවබෝධයෙන් බ්රහ්මචරිය වාසය අවබෝධ කළ තැනැත්තාට නැවත නොපැමිණිම දක්වයි. එහෙයින්ම මෙහි සකවාදියා විසින් ප්රතික්ෂේප කරන ලදී. ‘යදනිච්චං තං දුක්ඛං’ වචනයෙන් යුක්ත වූ අනින්ද්රිය බද්ධයට දුක බව පිරිසිදු කිරීමට නොහැකි වේ. එනිසා සාධක නොවේ.
160. ඨපෙත්වා අරිය මග්ගන්ති කථා
දැන් ඨපෙත්වා අරිය මග්ගන්ති කථා නම් වේ. එහි යම්හෙයකින් ආර්යමාර්ග දුක්ඛ නිරෝධගාමිනී ප්රතිපදාව යයි කියන ලදී. එහෙයින් ආර්ය මාර්ගය හැර අවශේෂ සංස්කාර දුක් යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිපදාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් මෙසේ සමුදයේ ද දුක්ඛභාවය පැමිණේ යයි චෝදනා කිරීමට දුක්ඛ සමුදයොපි යයි කීය. අනෙකා හේතු ලක්ෂණය නිසා ප්රතික්ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ පවත්නා පරියාපන්න භවය සඳහා පිළිගනී. තිණෙ වා යන ප්රශ්නවල සූත්ර විරෝධ බියෙන් ප්රතික්ෂේප කරයි. ලබ්ධි වශයෙන් පිළිගනී. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.
161. න වත්තබ්බං සංඝො දක්ඛිණං පතිගණ්හති කථා
දැන් සංඝයා දක්ෂිණාව පිළිගන්නේ යයි නොකිවයුතු කථා නම් වේ. එහි පරමාර්ථ වශයෙන් මාර්ගවලට සංඝයා වේ. මාර්ගඵලයෙන් තොර අනිකෙක් සංඝ නම් නැත. මාර්ගඵලද කිසිවක් නොපිළිගනී. එහෙයින් සංඝයා දක්ෂිණාව පිළිගන්නේ යයි නොකිව යුතුයයි යමෙකුගේ ලබ්ධිය වේ. කෙසේද දැන් මහා පුණ්යවාදී සංඛ්යාත වෛතුල්යවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා නි වත්තබ්බං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් සංඝයා පිළිනොගන්නේ නම් ශාස්තෲන් වහන්සේ ආහුණෙය්ය ආදියෙන් ප්රශංසා නොකරන්නේ යයි චෝදනා කිරීමට නනු සංඝො ආහුණෙය්ය යනාදිය කීය. සංඝස්ස දානං දෙන්ති යමෙක් සංඝයාට දන් දෙයි. ඔවුන් ප්රතිග්රාහකයන් නොවන කල්හි කාට දෙන්නේදැයි චෝදනා පිණිස කියන ලදී. ආහුතිං ජාතවෙදොච යන සූත්රය පරසමයෙන් ගෙනෙන ලදී. එහි මහාමෙඝං යයි වර්ෂාව සඳහා කියන ලදී. පොළොව වර්ෂාව පිළිගනී. මේඝය (වලාකුල) ම නොවේ. මග්ගො පටිගණ්හාති යන මාර්ගවල සංඝයා යයි ලබ්ධියෙන් කියයි. මාර්ගවලම සංඝයා නොවේ. මාර්ගවල පහළවීමෙන් පිරිසිදු වූ ස්කන්ධ ගැනීමෙන් පණවන ලද අෂ්ට පුද්ගලයෝ සංඝයා වෙති. එහෙයින් සාධක නොවේ.