160. ඨපෙත්වා අරිය මග්ගන්ති කථා
දැන් ඨපෙත්වා අරිය මග්ගන්ති කථා නම් වේ. එහි යම්හෙයකින් ආර්යමාර්ග දුක්ඛ නිරෝධගාමිනී ප්රතිපදාව යයි කියන ලදී. එහෙයින් ආර්ය මාර්ගය හැර අවශේෂ සංස්කාර දුක් යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිපදාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් මෙසේ සමුදයේ ද දුක්ඛභාවය පැමිණේ යයි චෝදනා කිරීමට දුක්ඛ සමුදයොපි යයි කීය. අනෙකා හේතු ලක්ෂණය නිසා ප්රතික්ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ පවත්නා පරියාපන්න භවය සඳහා පිළිගනී. තිණෙ වා යන ප්රශ්නවල සූත්ර විරෝධ බියෙන් ප්රතික්ෂේප කරයි. ලබ්ධි වශයෙන් පිළිගනී. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.
161. න වත්තබ්බං සංඝො දක්ඛිණං පතිගණ්හති කථා
දැන් සංඝයා දක්ෂිණාව පිළිගන්නේ යයි නොකිවයුතු කථා නම් වේ. එහි පරමාර්ථ වශයෙන් මාර්ගවලට සංඝයා වේ. මාර්ගඵලයෙන් තොර අනිකෙක් සංඝ නම් නැත. මාර්ගඵලද කිසිවක් නොපිළිගනී. එහෙයින් සංඝයා දක්ෂිණාව පිළිගන්නේ යයි නොකිව යුතුයයි යමෙකුගේ ලබ්ධිය වේ. කෙසේද දැන් මහා පුණ්යවාදී සංඛ්යාත වෛතුල්යවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා නි වත්තබ්බං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් සංඝයා පිළිනොගන්නේ නම් ශාස්තෲන් වහන්සේ ආහුණෙය්ය ආදියෙන් ප්රශංසා නොකරන්නේ යයි චෝදනා කිරීමට නනු සංඝො ආහුණෙය්ය යනාදිය කීය. සංඝස්ස දානං දෙන්ති යමෙක් සංඝයාට දන් දෙයි. ඔවුන් ප්රතිග්රාහකයන් නොවන කල්හි කාට දෙන්නේදැයි චෝදනා පිණිස කියන ලදී. ආහුතිං ජාතවෙදොච යන සූත්රය පරසමයෙන් ගෙනෙන ලදී. එහි මහාමෙඝං යයි වර්ෂාව සඳහා කියන ලදී. පොළොව වර්ෂාව පිළිගනී. මේඝය (වලාකුල) ම නොවේ. මග්ගො පටිගණ්හාති යන මාර්ගවල සංඝයා යයි ලබ්ධියෙන් කියයි. මාර්ගවලම සංඝයා නොවේ. මාර්ගවල පහළවීමෙන් පිරිසිදු වූ ස්කන්ධ ගැනීමෙන් පණවන ලද අෂ්ට පුද්ගලයෝ සංඝයා වෙති. එහෙයින් සාධක නොවේ.
162. න වත්තබ්බං සංඝො දක්ඛිණං විසොධෙති කථා
දැන් සංඝයා දක්ෂිණාව පිරිසිදු කෙරේයයි නො කිවයුතු කථා නම් වේ. එහි මාර්ගවලට සංඝයා වේ. ඒවාට දක්ෂිණාව පිරිසිදු කිරීමට හැකි නොවේ. එහෙයින් සංඝයා දක්ෂිණාව පිරිසිදු කෙරේ යයි නොකිව යුතුයයි යමෙකුගේ ලබ්ධිය වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ආහුණෙය්යො යනාදි ඉදින් සංඝයාට දක්ෂිණාව පිරිසිදු කිරීමට නොහැකි වේ නම් ශාස්තෲන් වහන්සේ මෙසේ ප්රශංසා නො කරන්නේ යයි දැක්වීමට කියන ලදී. විසොධෙති යනු මහප්ඵල කරයි. සංඝයාට ස්වල්පයක් දෙන ලද්දේ බොහෝ වේ. බොහෝ දෙන ලද්දේ බහුතර වේ. දක්ඛිණෙය්යො යනු දක්ෂිණාවට සුදුසුය. දක්ෂිණාව පිරිසිදු කෙරේය යන අර්ථය වේ. දක්ඛිණං ආරාදෙන්ති යනු සම්පාදනය කරයි. අල්ප වූ දක්ෂිණාව මහත්ඵලයට පමුණුවයි යන අර්ථයයි. සෙස්ස යට කියන ලද නය අනුව වේ.
163. න වත්තබ්බං සංඝො භුඤ්ජති කථා
දැන් සංඝයා වළඳයි යනු නො කිවයුතු කථා නම් වේ. එහිද මාර්ගවලම සංඝයා වේ. ඒවා කිසිවක් අනුභව නොකරයි. එහෙයින් සංඝයා වළඳයි. බොයි. කයි. රසවිඳියි යනු නො කිවයුතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ වෛතුල්යවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් සංඝයා නො වළඳන්නේ නම් සංඝ භත්තාදිය නිරරර්ථක වන්නේ යයි චෝදනා කිරීමට නනු අත්ථි කෙචි සංඝභත්තාදීනී කරත්දැයි යනාදිය කීය. ගණ භොජනං යනාදි ඉදින් සංඝයා නො වළඳන්නේ නම් ඔවුන්ට භෝජනාදිය නොවන්නේ යයි චෝදනාව සඳහා කියන ලදී. අට්ඨපානානි මෙයද ඉදින් සංඝයා පානය නොකරන්නේ නම් මේ පානයන්, අනුදැන වදාළේ කාටදැයි චෝදනාව පිණිස කියන ලදී. මෙහිද සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.
164. සංඝයාට දෙන ලද්ද මහත්ඵලයයි නොකිවයුතු කථා
දැන් සංඝයාට දෙන ලද්ද මහත්ඵල නොවේය යන කථා වේ. එහිද මාර්ගඵල සංඝ නම් වේ. ඒවාට කිසිවක් දීමට හැකි නොවේ. ඒවාට පිළිගැනීමට හැකි නොවේ. දීමෙන් ඒවා කිසි උපකාරයක් බලාපොරොත්තු නොවේ. එහෙයින් සංඝයාට දෙන දේ මහත්ඵලයයි නො කිවයුතුයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ වෛතුල්යයන් මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ආහුණෙය්යො යනාදි ඉදින් සංඝයාට දෙන ලද්ද මහත්ඵල නොවන්නේ නම් බුදුහු මෙසේ ප්රශංසා නොකරන්නාහයි දැක්වීමට කියන ලදී. සෙස්ස පෙළ අනුව යොදාගන්න.