156. අත්‍ථි අරහතො පුඤ්ඤූපචයොති කථා
දැන් රහතන් වහන්සේ පින් රැස්කිරීම යයි කථා නම් වේ. එහි යමෙකුගේ රහතන් වහන්සේගේ දාන සංවිභාග චේතිය වන්දනාදි කර්ම දැක රහතන් වහන්සේට පින් රැස්කිරීම ඇතැයි ලබධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට රහතන් වහන්සේ නම් ප්‍රහීන කළ පින්පව් ඇත්තේ වේ. ඉදින් උන්වහන්සේ පින් කරන්නේ නම් පව්ද කරන්නේ යයි චෝදනා කිරීමට අපඤ්ඤූපචයො යයි කීය. අනෙක් ප්‍රාණඝාතාදි කර්ම නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. පුඤ්ඤාභි සංඛාරං යනාදියෙහි භවගාමී කර්ම රහතන් වහන්සේට නැතැයි ප්‍රතික්‍ෂේප කරයි. දානං දදෙය්‍ය යනාදියෙහි කිරිය සිතින් දානාදිය පවත් ස්වභාවයෙන් සකවාදියා පිළිගනී. අනෙකා සිත නොගෙන ක්‍රියා පවත් මාත්‍රය දැකීමෙන්ම ලබ්ධිය පිහිටුවයි. එය වනාහි අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටුවන ලද්දේ වේමය.
157. නත්‍ථි අරහතො අකාල මච්චූති කථා
දැන් රහතන් වහන්සේට අකාල මරණ නැතැයි කථා නම් වේ. එහි නාහං භික්‍ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං විපාකං අප්පටිසංවෙදිත්‍වා බ්‍යන්තිභාවං වදාමි යන සූත්‍රයේ අර්ථය අනුවණින් ගෙන රහතන් වහන්සේ නම් සියළු කර්ම විපාක විඳ පිරිනිවන් පෑ යුතුය. එහෙයින් රහතන් වහන්සේට අකාල මරණ නැතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරිකයන්ගේ ද සිද්ධත්‍ථිකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් උන්වහන්සේට අකාල මරණ නැත්නම්, අරහන්ත ඝාතක නම් නොවිය යුතුයයි චෝදනා කිරිමට නත්‍ථි අරහන්ත ඝාතකො යයි කීය. අනෙකා ආනන්තරිය කර්මයේද එබඳු පුද්ගලයන්ගේ ද ඇතිවීම ප්‍රතික්‍ෂේප කරයි.
විසං න කමෙය්‍ය යන ප්‍රශ්නයෙහි පෙර කළ කර්මය යම්තාක් අවසන් නොවේද ඒතාක් නොයයි යන ලබ්ධියෙන් ප්‍රතික්‍ෂේප කරයි. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවන්නා
‘නාහං භික්‍ඛවෙ’ යන සුත්‍රය මේ සඳහා කියන ලදී. චේතනා සහිත කළ කර්මවල විපාක නොවිඳ ඒ කර්මයන්ගේ කෙළවර බව මාර්ගය සිඳුණු බව නොකියමි. එහිද දිට්ඨධම්ම වේදනීය මෙම ආත්මයෙහිම මිස ඉන්පසුව නොවේ. උපපජ්ජවේදනීය අනතුරු ආත්මයෙහිම මිස ඉන්පසුව නොවේ. අපරාපරිය කර්ම විපාකයට අවසර ලැබෙන අවස්ථාවේ විපාක දෙයි. මෙසේ සියළු ආකාරයෙන් සසර පවතිනතුරු ලැබූ විපාක වාරයෙහි විපාක දේ. ‘න විජ්ජති සො ඡගතිප්පදෙසො යත්‍ථට්ඨිතො මුඤ්චෙය්‍ය පාපකම්මා’ මෙසේ ඇති කල්හි මෙය නොලැබූ විපාක ඇති යම් කර්මයක් රහතන් වහන්සේ විසින් අවශ්‍යයෙන් විපාක විඳිය යුතුයයි කල්පනා වශයෙන් නැත. රහතන් වහන්සේට අකාල මරණ නැතැයි ලබ්ධි ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. එය දුෂ්කර වේමය.
158. සබ්බමිදං කම්මතොති කථා
දැන් මේ සියල්ල කර්මයෙන් යයි කථා නම් වේ. එහි ‘කම්මුනා වත්තති ලොකො’ යන සූත්‍රය නිසා මේ සියළු කර්ම ක්ලේශ විපාක වෘත්තය කර්මයෙන්ම වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරිකයන්ගේ ද සිද්ධත්‍ථිකයන් ද මෙනි. ඔවුන් සඳහා සබ්බමිදං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට මෙසේ ඇති කල්හි කර්මය ද කර්මයෙන් පැමිණේ යයි චෝදනා කිරීමට කම්මුම්පි කම්මතො යයි කීය. අනෙකා ඉදින් කර්මය ද කර්මයෙන්ම නම් ඒ කර්මය විපාකයම වන්නේ යයි ප්‍රතික්‍ෂේප කරයි. පුබ්බෙ කත හෙතු යයි මේ සියල්ල කර්මයෙන් නම් පෙර කළ හේතුවෙන් එය විය යුතුයයි චෝදනා කිරීමට විචාරයි. අනෙකා පුබ්බෙකත හේතුවාදයට බියෙන් ප්‍රතික්‍ෂේප කරයි.