150. රූපං හෙතුති කථා
දැන් රූපය හේතුයයි කථා නම් වේ. එහි හේතු යනු කුසල මූලාදි හේතුවටත් කිසියම් ප්‍රත්‍යයටත් නමකි. මේ විභාගය නොකොට ‘චත්තාරො මහාභූතා හෙතු’ යන වචන මාත්‍රය නිසා අවිශේෂයෙන් රූපය හෙතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. අලොභො හෙතු යයි කිම ඔබගේ රූපය අලෝභ සංඛ්‍යාතයෙන් හේතුදැයි විචාරයි. අනෙකා ප්‍රතික්‍ෂේප කරයි. සෙස්සෙහි ද මෙම නයයි. මහාභූතා උපාදාය රූපානං උපාදාය හෙතු යන මෙහි ප්‍රත්‍යාර්ථයෙන් හේතූභාවය කියන ලදී. මූලාර්ථයෙන් නොවේ. එහෙයින් අසාධක වේ.
151 රූපං සහෙතකන්නි කථාවේ ද මෙම නයින්ම අර්ථය දතයුතුය.
152. රූපං කුසලාකුසලන්ති කථා
දැන් රූපය කුසල අකුසල යයි කථා නම් වේ. එහි ‘කායකම්මං වචී කම්මං කුසලම්පි අකුසලම්පි’ යන වචනය නිසා කාය වචී සංඛ්‍යාත කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති රූපය කුසල ද අකුසලදැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහිංසාසකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා රූපං කුසලං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබේ රූපය කුසල වේද, මෙයාකාරයෙන් එයද විය යුතුයයි සාරම්මණං යනාදිය කීය. පසුව අකුසල ප්‍රශ්නයෙහි ද මෙම නයම වේ. මෙහි සෙස්ස පැහැදිලිය.
153. රූපං විපාකොති කථා
දැන් රූපය විපාකයයි කථා නම් වේ. එහි කර්මය කළ බැවින් උපන් චිත්ත චෛතසිකයන් මෙන් කර්මය කළ බැවින් උපන් රූපයද විපාකයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ රූපය විපාක වේ නම් මෙයාකාරයෙන් එයද විය යුතුයයි චෝදනා කිරීමට සුඛවෙදනීයං යනාදිය කීය. සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය.
154. රූපං රූපාවචරං අරූපාවචරන්ති කථා
දැන් රූපය රුපාවචර යයි කථා නම් වේ. එහි කාමාවචර කර්මය කළ බැවින් යම් රූපයක් කාමාවචර වේ ද එහෙයින් රූපාවචර අරූපාවචර කර්ම කළ බැවින් රූපය රූපාවචර අරූපාවචර වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අත්‍ථිරූපං රූපාවචරං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස යට කියන ලද නයින් දතයුතුය.
155. අරූපධාතු පරියාපෙන්නති කථා
දැන් රූප රාගය රූප ධාතුවම ඇතුළත්ය. අරූප රාගය අරූප ධාතුවට ඇතුළත් යයි කථා නම් වේ. එහි යම්හෙයකින් කාමරාගය කාම ධාතුවට ඇතුළත් වේද, එහෙයින් රූපාරූප රාගද රූපාරූපධාතුවලට ඇතුළත් විය යුතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය. එහි හුදකලාව රූප ධාතු අත්නොහැර පවතී. අරූප ධාතු අත්නොහැර පවතී යන පද විශේෂයයි. ඒ ලබ්ධි වේ. අන්ධකයන්ගේ ද සම්මිතියන්ගේද වේ. මෙය අන්ධකයින්ගේමය.
සොළොස්වැනි වර්ගය නිමයි.
17. සතළොස්වන වර්ගය
156. අත්‍ථි අරහතො පුඤ්ඤූපචයොති කථා
දැන් රහතන් වහන්සේ පින් රැස්කිරීම යයි කථා නම් වේ. එහි යමෙකුගේ රහතන් වහන්සේගේ දාන සංවිභාග චේතිය වන්දනාදි කර්ම දැක රහතන් වහන්සේට පින් රැස්කිරීම ඇතැයි ලබධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට රහතන් වහන්සේ නම් ප්‍රහීන කළ පින්පව් ඇත්තේ වේ. ඉදින් උන්වහන්සේ පින් කරන්නේ නම් පව්ද කරන්නේ යයි චෝදනා කිරීමට අපඤ්ඤූපචයො යයි කීය. අනෙක් ප්‍රාණඝාතාදි කර්ම නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. පුඤ්ඤාභි සංඛාරං යනාදියෙහි භවගාමී කර්ම රහතන් වහන්සේට නැතැයි ප්‍රතික්‍ෂේප කරයි. දානං දදෙය්‍ය යනාදියෙහි කිරිය සිතින් දානාදිය පවත් ස්වභාවයෙන් සකවාදියා පිළිගනී. අනෙකා සිත නොගෙන ක්‍රියා පවත් මාත්‍රය දැකීමෙන්ම ලබ්ධිය පිහිටුවයි. එය වනාහි අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටුවන ලද්දේ වේමය.