16. සොළොස්වැනි වර්ගය
147. නිග්ගහ කථා
දැන් නිග්ගහ කථා නම් වේ. එහි ලෝකයේ බලවත් වූ වශීභූත වූ යමෙක් ඇත. ඔහුට අනුන්ගේ සිත් නිග්‍රහ කිරීමට නොහැකි වන්නේ නම් ඔහුගේ බලවත්වීමෙන් වශීභූත වීමෙන් ප්‍රයෝජනය කුමක්ද? බලවත් වූ වශීභාවයෙන් අනුන්ගේ සිත් තිගැස්ම කරන්නා වූ බලවතෙක් ඇත්තේය යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා පරොපරස්ස යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. එහි නිග්ගණ්ගාති යනු සංක්ලේශයෙන් වලකාලීමය. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවන්න. පග්ගහ කථාව ද මෙම නයම වේ.
148. සුඛානුප්පදාන කථා
දැන් සැප ප්‍රදාන කථා නම් වේ. එහි ‘බහූනං වත නො භගවා සුඛ ධම්මානං උපහත්තතා’ යන සූත්‍රය නිසා අන්‍යයෙක් අන්‍යයාට සැප ප්‍රදානය කරයි යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදි නිකායිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. දුක්‍ඛං අනුප්පදෙති යයි විචාරණ ලද්දේ එබඳු සූත්‍ර පද නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. අත්තනො සුඛං යනාදි ප්‍රශ්නයෙහි තමාගේ හෝ අනුන්ගේ හෝ යමක් ඇත්නම් එය ප්‍රදානය කිරිමට නොහැකිය. යමක් ඔහුටමය. එහි ප්‍රදානය නම් කුමක්දැයි ප්‍රතික්‍ෂේප කරයි. නෙවත්තනො යනාදි ප්‍රශ්නයෙහි වනාහි එබඳු වූ යමක් නොවේ නම් එය නොදීමට සුදුසු වේ යයි ලබ්ධියෙන් පිළිගනී. නො වත රෙ යයි එබඳු වූ සැපයක් නැතැයි කියන ලදී. සුඛ ධම්මානං උපහත්තති යන වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් අනුන්ගේ සැපයට ප්‍රත්‍යවන බව දක්වන ලදී. ආහාරාදිය මෙන් සැපය ප්‍රදානය නොවේ. එහෙයින් සාධක නොවේ.
149. අධිගය්හ මනසිකාර කථා
දැන් අධිගය්හ මනසිකාර කථා නම් වේ. එහි නයතො ආරම්මණතො යයි මනසිකාර දෙකකි. එහි එක සංස්කාරයක් ද අනිත්‍ය වශයෙන් දැකීමෙන් සියළු සංස්කාර අනිත්‍ය යයි අවසේස සංස්කාර පැමිණවීම නයතො මනසිකාර වේ. අතීත සංස්කාර මෙනෙහි කරන්නේ අනාගතයේ සංස්කාර මෙනෙහි කිරිමට හැකි නොවේ. අතීතාදියෙහි කිසිවක් මෙනෙහි කරන්නාට ආරම්මණාතො මනසිකාර වේ. එහි වර්තමානයෙහි මෙනෙහි කරන්නේ යම් සිතකින් ඒවා මෙනෙහි කෙරේද එය වර්තමාන ක්‍ෂණයෙහි මෙනෙහි කිරීමට නොහැකි වේ. එහි යමෙකුගේ ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ යනු වචනය නිසා ආරම්මණ මනසිකාරය පමණක් ගෙන මෙනෙහි කරන්නේ හැම සංස්කාර එකවිට මෙනෙහි කෙරේයයි ලබ්ධි වේ. පුබ්බසේලිය අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය.
ඉක්බිති ඔහුට යම්හෙයකින් සියල්ල එකවිට මෙනෙහි කරන්නා විසින් යම් සිතකින් ඒවා මෙනෙහි කෙරේද එයද මෙනෙහි කළයුතු වේ. එහෙයින් ඒ සිත බැවින් චෝදනා කිරීමට තෙන චිත්තෙන යනාදිය කීය. අනිත් තැනැත්තා අරමුණුකොට දැනගැනීමට නොහැකියි ප්‍රතික්‍ෂේප කරයි. මෙබඳු ලක්‍ෂණ සිත යයි දැනගන්නා ලද බැවින් ඒ සිතද දන්නේ වේයයි පිළිගනී. නොහොත් එයම එහි අරමුණු නොවේයයි ප්‍රතික්‍ෂේප කරයි. ‘සබ්බෙ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති’ යනාදිය නිසා උපන් ලබ්ධි වශයෙන් පිළිගනී. සෙසු ප්‍රශ්න දෙකෙහිද මෙම නයම වේ. තෙන ඵස්සෙන යනාදියෙහි සූත්‍රයෙහි යථා ස්වරූපය නොදක්නේ ප්‍රතික්‍ෂේපය. අතීතාදි ප්‍රශ්නවල යට කියන ලද නයින්ම ප්‍රතික්‍ෂේප ප්‍රතිඥා දතයුතුය. සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය. සබ්බෙ සංඛාරා යනාදි වචනය නයෙන් දැකීම සඳහා කියන ලදී. ආරම්මණ වශයෙන් ඒකක්‍ෂණයෙහි නොවේ. එහෙයින් සාධක නොවේ.
150. රූපං හෙතුති කථා
දැන් රූපය හේතුයයි කථා නම් වේ. එහි හේතු යනු කුසල මූලාදි හේතුවටත් කිසියම් ප්‍රත්‍යයටත් නමකි. මේ විභාගය නොකොට ‘චත්තාරො මහාභූතා හෙතු’ යන වචන මාත්‍රය නිසා අවිශේෂයෙන් රූපය හෙතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. අලොභො හෙතු යයි කිම ඔබගේ රූපය අලෝභ සංඛ්‍යාතයෙන් හේතුදැයි විචාරයි. අනෙකා ප්‍රතික්‍ෂේප කරයි. සෙස්සෙහි ද මෙම නයයි. මහාභූතා උපාදාය රූපානං උපාදාය හෙතු යන මෙහි ප්‍රත්‍යාර්ථයෙන් හේතූභාවය කියන ලදී. මූලාර්ථයෙන් නොවේ. එහෙයින් අසාධක වේ.
151 රූපං සහෙතකන්නි කථාවේ ද මෙම නයින්ම අර්ථය දතයුතුය.
152. රූපං කුසලාකුසලන්ති කථා
දැන් රූපය කුසල අකුසල යයි කථා නම් වේ. එහි ‘කායකම්මං වචී කම්මං කුසලම්පි අකුසලම්පි’ යන වචනය නිසා කාය වචී සංඛ්‍යාත කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති රූපය කුසල ද අකුසලදැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහිංසාසකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා රූපං කුසලං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබේ රූපය කුසල වේද, මෙයාකාරයෙන් එයද විය යුතුයයි සාරම්මණං යනාදිය කීය. පසුව අකුසල ප්‍රශ්නයෙහි ද මෙම නයම වේ. මෙහි සෙස්ස පැහැදිලිය.