146. කම්මූපචය කථා
දැන් කම්ම උපචය කථා නම් වේ. එහි යමෙකුගේ කර්මය උපචය නම් කර්මයෙන් අනිකක් වූ චිත්ත විප්‍රයුක්ත වූ අව්‍යාකෘත අනාරම්මණයකැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ ද සම්මුතියද මෙනි. ඔවුන් සඳහා අඤ්ඤං කම්මං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් කර්මූපචය කර්මයෙන් අනිකක් නම්, ඵස්ස උපචය ද ඵස්සාදියෙන් අනිකක් විය යුතුයයි චෝදනා කිරීමට අඤ්ඤො ඵස්සො යනාදිය කීය. අනිකා ලබ්ධියෙන් නැති බැවින් ප්‍රතික්‍ෂේප කරයි.
කම්මෙන සහජාතො යයි ප්‍රශ්නවල චිත්ත විප්‍රයුක්තය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. චිත්ත සම්ප්‍රයුක්තය සඳහා පිළිගනී. කුසලො යයි ප්‍රශ්නවලද විප්‍රයුක්තය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සම්ප්‍රයුක්තය සඳහා පිළිගනී. අකුසලො යන ප්‍රශ්නවල ද මෙම නයම වේ.
සාරම්මණො යයි විචාරණ ලද්දේ ඒකාන්ත අනාරම්මණම කැමති වේ. එහෙයින් ප්‍රතික්‍ෂේප කරයි. චිත්තං භිජ්ජමානං සිත බිඳුණුවිට කර්මය බිඳේ යන අර්ථය වේ. මෙයම හෝ පාඨයයි. එහි යම්හෙයකින් සම්ප්‍රයුක්තය බිඳේ. විප්‍රයුක්තය නොබිඳේ. එහෙයින් පිළිගැනීම ද ප්‍රතික්‍ෂේපය ද වේ.
කම්මම්හි කම්මූපචයො කර්මය ඇති කල්හි කර්මූපචය වේ. කර්මය පිහිටි කල්හි හෝ කර්මූපචය වේ. කර්ම රැස්කිරීමෙන්ම විපාකය ඇතිවේ. ඒ කර්මය නිරුද්ධ වූ විට, අංකුරය ඇතිවීමෙන් බීජය මෙන් විපාකය ඇතිවීමෙන් කර්ම රැස්කිරීම පවතී යයි ලබ්ධි වේ. එහෙයින් පිළිගනී. තඤ්ඤෙව කම්මං සො කම්මූපචයො සො කම්මවිපාකො යයි යම්හෙයකින් කර්මය කර්ම උපචය වේ. එයද විපාක දෙනතුරු පවතීයයි ලබ්ධි වේ. එහෙයින් ඒ තුනම එකක්දැයි ඔහුගෙන් විචාරයි. විපාකො සාරම්මණො යන මෙය විපාකය මෙන් විපාක ධර්ම ස්වභාවය ද අරමුණ හා බැඳී ඇතැයි චෝදනා කිරිම පිණිස විචාරයි. අනිකා වනාහි ලබ්ධි වශයෙන් එකක් පිළිගනී. එකක් ප්‍රතික්‍ෂේප කරයි. ප්‍රතිලෝමයෙහිද මෙම නයයි.
පසළොස් වන වර්ගය නිමයි.
තුන්වැනි පණ්ණාසකය නිමියේය.
16. සොළොස්වැනි වර්ගය
147. නිග්ගහ කථා
දැන් නිග්ගහ කථා නම් වේ. එහි ලෝකයේ බලවත් වූ වශීභූත වූ යමෙක් ඇත. ඔහුට අනුන්ගේ සිත් නිග්‍රහ කිරීමට නොහැකි වන්නේ නම් ඔහුගේ බලවත්වීමෙන් වශීභූත වීමෙන් ප්‍රයෝජනය කුමක්ද? බලවත් වූ වශීභාවයෙන් අනුන්ගේ සිත් තිගැස්ම කරන්නා වූ බලවතෙක් ඇත්තේය යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා පරොපරස්ස යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. එහි නිග්ගණ්ගාති යනු සංක්ලේශයෙන් වලකාලීමය. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවන්න. පග්ගහ කථාව ද මෙම නයම වේ.
148. සුඛානුප්පදාන කථා
දැන් සැප ප්‍රදාන කථා නම් වේ. එහි ‘බහූනං වත නො භගවා සුඛ ධම්මානං උපහත්තතා’ යන සූත්‍රය නිසා අන්‍යයෙක් අන්‍යයාට සැප ප්‍රදානය කරයි යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදි නිකායිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. දුක්‍ඛං අනුප්පදෙති යයි විචාරණ ලද්දේ එබඳු සූත්‍ර පද නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. අත්තනො සුඛං යනාදි ප්‍රශ්නයෙහි තමාගේ හෝ අනුන්ගේ හෝ යමක් ඇත්නම් එය ප්‍රදානය කිරිමට නොහැකිය. යමක් ඔහුටමය. එහි ප්‍රදානය නම් කුමක්දැයි ප්‍රතික්‍ෂේප කරයි. නෙවත්තනො යනාදි ප්‍රශ්නයෙහි වනාහි එබඳු වූ යමක් නොවේ නම් එය නොදීමට සුදුසු වේ යයි ලබ්ධියෙන් පිළිගනී. නො වත රෙ යයි එබඳු වූ සැපයක් නැතැයි කියන ලදී. සුඛ ධම්මානං උපහත්තති යන වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් අනුන්ගේ සැපයට ප්‍රත්‍යවන බව දක්වන ලදී. ආහාරාදිය මෙන් සැපය ප්‍රදානය නොවේ. එහෙයින් සාධක නොවේ.
149. අධිගය්හ මනසිකාර කථා
දැන් අධිගය්හ මනසිකාර කථා නම් වේ. එහි නයතො ආරම්මණතො යයි මනසිකාර දෙකකි. එහි එක සංස්කාරයක් ද අනිත්‍ය වශයෙන් දැකීමෙන් සියළු සංස්කාර අනිත්‍ය යයි අවසේස සංස්කාර පැමිණවීම නයතො මනසිකාර වේ. අතීත සංස්කාර මෙනෙහි කරන්නේ අනාගතයේ සංස්කාර මෙනෙහි කිරිමට හැකි නොවේ. අතීතාදියෙහි කිසිවක් මෙනෙහි කරන්නාට ආරම්මණාතො මනසිකාර වේ. එහි වර්තමානයෙහි මෙනෙහි කරන්නේ යම් සිතකින් ඒවා මෙනෙහි කෙරේද එය වර්තමාන ක්‍ෂණයෙහි මෙනෙහි කිරීමට නොහැකි වේ. එහි යමෙකුගේ ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ යනු වචනය නිසා ආරම්මණ මනසිකාරය පමණක් ගෙන මෙනෙහි කරන්නේ හැම සංස්කාර එකවිට මෙනෙහි කෙරේයයි ලබ්ධි වේ. පුබ්බසේලිය අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය.