අරියපුග්ගලසංසන්දනපරිහානිවණ්ණනා
දැන් ආර්ය පුද්ගල සංසන්දනය අරඹන ලදී. එහි ඇතමෙක් රහතන් වහන්ගේ පරිහානිය දකිති. ඇතමෙක් අනාගාමියාගේ ද ඇතමෙක් සකදාගාමියාගේ ද දකිති. සෝවාන් වූවහුගේ පරිහානිය සියල්ලෝම නොදකිති. යම් රහත් කෙනෙක් පිරිහී අනාගාමි සකදාගාමි භවයෙහි සිටියේ, ඔවුන්ගේ පිරිහීම දකිති. අනිත් අනාගාමි සකදාගාමීන්ගේ නොවේ. ඔව්හු සෝවාන් වූවහුගේ පිරිහීම සියළු කාලයෙහිම කැමති නොවෙති. එහෙයින් සංක්‍ෂේපයෙන් විචාරණ කථා. එහි ඔවුන්ගේ ලබ්ධි වශයෙන් පිළිගැනීම ද ප්‍රතික්‍ෂේපය ද දතයුතුය. පරිහායති අනාගාමි අනාගාමි ඵලා යන ප්‍රශ්නයෙහි යමෙක් අනාගාමියාගේ පිරිහීම කැමති නොවෙති. ඔවුන්ගේ වශයෙන් ප්‍රතික්‍ෂේපය වේ. ඇතමෙක් ප්‍රකෘති අනාගාමි හෝ රහත්හු පිරිහී සිටි අනාගාමි හෝ පිරිහීම දකිති. ඔවුන්ගේ වශයෙන් පිළිගැනීම වේ යනු මෙය මෙහි නය මුඛයයි. ඒ අනුසාරයෙන් සියළු සංක්‍ෂේප අර්ථයෙන් දතයුතුය.
මෙහි සෝවාන් පලයේ අතර රහත්බව අවබෝධ කෙරේයයි කියන ලදී. එය පරිහීනයාගේ නැවත උත්සාහයෙන් රහත්බවට පැමිණීම සඳහා කියන ලදී. අනිත් තැනැත්තා සෝවාන් පලයෙන් අනතුරුව රහත්බවක් නැති නිසා ප්‍රතික්‍ෂේප කරයි.
ඉන්පසු පරිහානි නම් මෙතෙමේ කෙලෙස් ප්‍රහානයට හෝ උත්සාහ අඩු වන්නේය. මාර්ග භාවනාදියේ හෝ අඩු බැවින්, සත්‍යයන් හෝ නො දැකීමෙන් මේ ආදි වශයෙන් යෙදීමට කස්ස බහුතුරා කිලෙසා පහීනා යනාදිය කියන ලදී. ඒ සියල්ල පැහැදිලි අදහස් ඇත්තේ වේ. සූත්‍රවල අර්ථය ආගමාර්ථ කථාවල (නිකාය අටුවා) කියන ලද නයින්ම දතයුතුය.
සමය විමුත්තො අරහත්තා පරිහායති යන මෙහි මෘදු ඉන්‍ද්‍රිය ඇත්තා සමය විමුත්තය. තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇත්තා අසමය විමුත්ත වේ යනු ඔවුන්ගේ ලබ්ධියයි. ස්ව සමය වනාහි වසීප්‍රාප්ත නොවූ ධ්‍යානලාභියා සමය විමුත්ත වේ. වසීප්‍රාප්ත ධ්‍යානලාභියා ද සියළු ආර්ය පුද්ගලයෝ ආය විමෝක්‍ෂයෙහි අසමය විමුත්ත යයි නිශ්චය වේ. හේ වනාහි තමාගේ ලබ්ධිය ගෙන සමය විමුත්තො පරිහායති ඉතරො න පරිහායති යයි කීය. මෙහි සෙසු අය නොගැඹුරුය.
අරිය පුද්ගල සංසන්දනය නිමි.
සුත්තසාධනපරිහානිවණ්ණනා
දැන් සූත්‍ර ශෝධනය වේ. එහි උච්චාවචා යන උතුම් හීන භේදයෙන් (උච්චා ච අවචා ච) උසස් වූ ද පහත් වූ ද, පටිපදා ප්‍රතිපදාව. සමණෙන පකාසිතා බුද්ධ ශ්‍රමණයා විසින් එළිය කරන ලදී. සැප ප්‍රතිපදාවේ වහා අවබෝධ කරන්නා උසස්ය. දුක් ප්‍රතිපදාවේ පසුබටව අවබෝධ කරන්නා පහත්ය. සෙස්සෝ දෙකේ එක් අංගයකින් උසස්ය. එකකින් පහත්ය. පළමුව කියන ලද්දාම උච්චය. ඉතිරි තිදෙනාම අවචය. න පාරං දිගුණං යන්ති එක් මගින් එක් මගකින් නිවණට දෙවරක් නොයයි යන අර්ථයයි. කුමක් හෙයින්ද? යම් මගකින් සියළු කෙලෙස් ප්‍රහීන නොවේද, මෙයින් එක මගකින්ම රහත්බව දක්වයි.
අත්‍ථි ජිනස්ස ඡෙදීයන්ති යනු සිඳිනු ලැබූ කෙලෙස් නැවත සිඳිය යුතු කිසිවක් ඇතිදැයි අසයි. අනිත් තැනැත්තා තීක්‍ෂණ ඉන්‍ද්‍රිය සඳහා ප්‍රතික්‍ෂේප කොට නැවත විචාරණ ලද්දේ මෘදු ඉන්‍ද්‍රිය සඳහා ප්‍රතික්‍ෂේප කොට නැවත විචාරණ ලද්දේ මෘදු ඉන්‍ද්‍රිය සඳහා පිළිගනී. සකවාදියා සූත්‍රය දක්වා නැති බව පෙන්වයි. එහි ඔඝපාසො යනු කෙලෙස් සැඩපහර මෙන්ම කෙලෙස් තොණ්ඩුව ද වේ.