දුකඅත්ථුද්ධාරවණ්ණනා
හේතුගොච්ඡක නිර්දේශයෙහි තයො කුසලහෙතු යනාදී නයින් හේතුව දක්වා නැවත ඒ හේතූන්ම උත්පත්ති ස්ථාන වශයෙන් දක්වන්නට චතුසුභූමීසු කුසලෙසු උප්පජ්ජන්ති යනාදිය කියන ලදී. මෙම උපායෙන් සෙසු කාණ්ඩයන්හි ද දේශනා නය දතයුතුයි.
යත්‍ථ ද්වෙ තයො ආසවා එකතො උප්පජ්ජන්ති යන මෙහි තෙයාකාරයකින් ආශ්‍රවයන්ගේ එකට ඉපදීම දතයුතුයි. එහි සතර දෘෂ්ටි විප්‍රයුක්තයන්හි අවිද්‍යා ශ්‍රවයන් සමගද දෘෂ්ටි සම්ප්‍රයුක්තයන්හි දෘෂ්ට්‍යාශ්‍රව අවිද්‍යා ශ්‍රවයන් සමගදැයි කාමාශ්‍රමය දෙයාකාරයකින් එකට උපදී. භවාශ්‍රවය දෘෂ්ටි විප්‍රයුක්ත සතරෙහි අවිද්‍යාශ්‍රවය සමග එක් ආකාරයකින් එකට උපදී. මෙසේ මෙහි යම්තැනෙක සංයෝජන දෙක තුන එකට උපදී යැයි මෙහි ද සංයෝජනයන්ගේ උත්පත්තිය දශවිධව එකට වෙයි. මෙහිද කාමරාගය සතර ආකාරයකින් එකට උපදී. ප්‍රතිඝය තෙයාකාරයකින් උපදී. මානය ඒකවිධය. විචිකිච්ඡාව මෙන්ම භවරාගය ද එසේය. කෙසේ ද? කාමරාගය වනාහි මානය සංයෝජන අවිජ්ජා සංයෝජනයන් සමග මෙන්ම දිට්ඨි සංයෝජන අවිජ්ජා සංයෝජනයන් සමග ද සීලබ්බත පරාමාස අවිජ්ජා සංයෝජනයන් සමග ද අවිජ්ජා සංයෝජනය පමණක් සමග දැයි මෙසේ සතර අයුරකින් එකට උපදී. ප්‍රතිඝය වනාහි ඉස්සා සංයෝජන අවිජ්ජා සංයෝජනයන් සමග මෙන්ම මච්ඡරිය සංයෝජන අවිජ්ජා සංයෝජනයන් සමග එක අයුරකින් එකට උපදී. විචිකිච්ඡාව ද එසේය. එය වනාහි අවිජ්ජා සංයෝජනය සමග එකට උපදී. භවරාගයෙහි ද මේ නයම යැයි මෙසේ මෙහි සංයෝජන දෙක තුනක් එකට (එක්ව) උපදී.
නීවරණ ගොච්ඡකයෙහි යම්තැනෙක නීවරණ දෙක තුනක් එකට උපදී යැයි යමක් කියන ලදද, එහිද අට අයුරකින් නීවරණයන්ගේ එකට ඉපදීම දතයුතුයි. මොවුනතුරෙහි ද කාමච්ඡන්‍දය දෙවිදියකින් එකට උපදී. ව්‍යාපාදය සතර අයුරකිනි. උද්ධච්චය එක් අයුරකිනි. විචිකිච්ඡාව ද එසේය. කෙසේ ද? කාමච්ඡන්‍දය වනාහි අසංස්කාරික සිත්හි උද්ධච්ච නීවරණ අවිජ්ජා නීවරණ්‍යයන් සමග ද සසංඛාරික සිත්හි ථිනමිද්ධ උද්ධච්ච අවිජ්ජා නීවරණයන් සමග දෙයාකාරයකින් එකට උපදී. ද්වෙ තීණි යැයි යමක් කියන ලද ද, එය හෙට්ඨිම පරිච්ඡේද වශයෙන් කියන ලදී. එහෙයින් සතර දෙනෙකුට ද එකට උපදී යැයි යන වචනය යෙදේ. මෙසේ වනාහි ව්‍යාපාදය ද අසංස්කාරික සිතෙහි උද්ධච්ච නීවරණ අවිජ්ජා නීවරණයන් සමග ද සසංස්කාරිකයෙහි ථිනමිද්ධ උද්ධච්ච අවිජ්ජා නීවරණයන් සමග ද අසංස්කාරිකයෙහිම උද්ධච්ච කුක්කුච්ච අවිජ්ජා නීවරණයන් සමග ද සසංස්කාරිකයෙහිම ථීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච අවිජ්ජා නීවරණයන් සමගදැයි සතර අයුරකි. එකට උපදී. උද්ධච්චය වනාහි අවිජ්ජා නීවරණය සමග පමණක් එක් අයුරකින් එකට උපදී. විචිකිච්ඡා උද්ධච්ච අවිජ්ජා නීවරණයන් සමග එක් අයුරකින්ම එකට උපදී.
කිලේස සමූහයෙහි යත්‍ථ ද්වෙ තයො කිලෙසා එකතො උප්පජ්ජන්ති යැයි මේ යමක් කියන ලද ද, එහි කෙලෙස් දෙකක් අන් කෙලෙස් සමග ද කෙලෙස් තුනක් හෝ අන් කෙලෙස් සමග ද උපදීයැයි මෙසේ අර්ථය දතයුතුයි. කවර හෙයින් ද? දෙකක තුනකම එකට උත්තියක අභාවයෙනි.
එහි දස අයුරකින් කෙලෙසුන්ගේ එකට ඉපදීම වෙයි. මෙහි වනාහි ලෝභය සය අයුරකින් එකට උපදී. ප්‍රතිඝය දෙයාකාරයකිනි. මෝහය ද එසේයැයි දතයුතුයි. කෙසේද? අසංඛාරික දිට්ඨි විප්පයුත්ත ලෝභය වනාහි මෝහ උද්ධච්චඅහිරික අනොත්තප්පයන් සමගය. සසංස්කාරිකව ම ද මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්පයන් සමග උපදී. දිට්ඨි විප්පයුත්ත වූ අසංඛාරිකය වනාහි මෝහ උද්ධච්ච දිට්ඨි අහිරික අනොත්තප්පයන් සමග උපදී. සසංඛාරිකය මෝහ දිට්ඨි උද්ධච්ච අහිරික අනොත්තප්පයන් සමගදැයි සයාකාරයකින් එකට උපදී.
පටිඝය වනාහි අසංඛාරික වූයේ මෝහ උද්ධච්ච අහිරික අනොත්තප්පයන් සමගය. සසංඛාරිකය මෝහ ථීන උද්ධච්ච අහිරික අනොත්තප්පයන් සමගදැයි දෙඅයුරකින් එකට උපදී. විචිකිච්ඡා සම්ප්‍රයුක්ත මෝහය වනාහි විචිකිච්ඡා උද්ධච්ච අහිරික අනොත්තප්පයන් සමග උපදී. උද්ධච්ච සම්ප්‍රයුක්ත වූ උද්ධච්ච අහිරික අනොත්තප්පයන් සමග යැයි මෙසේ දෙයාකාරයකින් එකට උපදී. ශේෂය සියලු තැන්හි ප්‍රකට අර්ථ ඇත්තේමය යනුයි.
අත්‍ථිසාලිනී නම් ධර්මසංගණී අර්ථකථාවෙහි අර්ථකථා කාණ්ඩ වර්ණනාව නිමියේය.
නිගමන කථා
එත්තාවතා ච
චිත්ත රූපඤ්ච නික්‍ඛෙපං අත්‍ථුද්ධාරං මනොරමං
යං ලොකනාථො භාජෙන්තො දෙසෙසි ධම්ම සංගණිං
අභිධම්මස්ස සංගය්හ ධම්මෙ අනවස්සෙතො
ඨිතාය තස්සා ආරද්ධා යා මයා අත්‍ථ වණ්ණනා
අනාකුලාන මත්‍ථානං සම්භවා අත්‍ථසාලිනී
ඉති නාමෙන සා එසා සන්නිට්ඨාන මුපාගතා
එකූන චත්තාළීසාය පාළි භාණවාරතො
චිරට්ඨිතත්‍ථං ධම්මස්ස නිට්ඨපෙන්තෙන තං මයා
යං පත්තං කුසලං තස්ස ආනුභාවෙන පාණිනො
සබ්බෙ දසධම්ම රාජස්ස ඤත්‍වා ධම්මං සුඛාවහං
පාපුණන්තු විසුද්ධාය සුඛාය පටිපත්තියා
අසොකමනුපායාසං නිබ්බාණං සුඛමුත්තමං
චිරං තිට්ඨතු සද්ධම්මො ධම්මෙ හොන්තු සගාරවා
සබ්බෙපි සත්තා කාලෙන සම්මා දෙවො පවස්සතු
යථා රක්‍ඛිංසු පොරාණා සුරාජානො තථෙවිමං
රාජා රක්‍ඛතු ධම්මෙන අත්තනො ව පජං පජං
මෙපමණකින්
ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ විසින් චිත්තය රූපය නික්‍ෂේපය මනෝරම වූ අර්ථෝද්ධාරය යැයි බෙදමින් යම් ධර්ම සංගනියක් දේශනා කරන ලද ද,
අභිධර්මය පිළිබඳ ධර්මයන් නිරවශේෂයෙන් සංග්‍රහ කොට සිටි ඒ ධර්ම සංගනිය පිළිබඳ යම් අර්ථ වර්ණනාවක් මා විසින් පටන්ගන්නා ලද ද,
නිරවුල් අර්ථ සම්භවයෙන් යුතුව ඒ මේ අර්ථ වර්ණනාව අත්‍ථිසාලිනී නමින් නිමාවට පැමිණියේය.
පාළියෙන් එකුන් සාළිසක් බණවරින් යුතුව ධර්මයේ චිරස්ථිතිය පිණිස එය නිමවනු ලබන මා විසින්,
යම් කුසලයක් සිදුකරන ලද ද, එහි ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ සැප ගෙන දෙන ධර්මරාජයන් වහන්සේගේ ධර්මය දැනගෙන,
නිවන් සුවය පිණිස වූ පිරිසිදු ප්‍රතිපත්තියෙන් යුතුව ශෝක රහිත උපායාස රහිත උතුම් නිවන් සැපයට පැමිණෙත්වා.
සද්ධර්මය බොහෝ කලක් පවතීවා. සියලුම සත්ත්වයෝ ධර්මයෙහි ගෞරව සහිත වෙත්වා. සුදුසු කල්හි වර්ෂාව මනාව වසීවා.
පැරණි දැහැමි රජදරුවෝ මේ ප්‍රජාව යම්සේ ආරක්‍ෂා කළෝ ද, එපරිද්දෙන් රජ තෙමේ තම ප්‍රජාව දැහැමෙන් රකීවා.
අතිශයින් පිරිසිදු ශ්‍රද්ධා බුද්ධි වීර්යයන්ගෙන් ප්‍රතිමණ්ඩිත ශීලාචාර වූ ඍජු බව මෘදුබව ආදී ගුණ සමූහයෙන් යුක්ත වූ ස්වසමය සමයාන්තරයන් ඉගෙනීමට ඒවාට බැසගැනීමට සමර්ථ වූ ප්‍රඥාවෙන් වියත් බවෙන් යුත් අර්ථකථා සහිත ත්‍රිපිටක පර්යාප්ති ප්‍රභේද වූ ශාස්තෲ ශාසනයෙහි අප්‍රතිහත ඥානප්‍රභාවෙන් යුක්ත මහා ව්‍යාකරණඥයකු වූ කරණ සම්පත්තියෙන් ජනිත සුවයෙන් නික්මි මිහිරි උදාර වචන ලාවණ්‍යයෙන් යුත් යුක්ති මුක්තිවාදී වූ වාදීන්ගෙන් උතුම් වූ මහාකවි වූ ප්‍රසන්න ප්‍රතිසම්භිදා පරිවාර ෂඩභිඥා ප්‍රතිසම්භිදා ආදී භේද ගුණයන්ගෙන් යුත් උත්තරි මනුෂ්‍යධර්මයෙහි මනාව පිහිටි බුද්ධිය ඇති ස්ථවිර වංශයට ප්‍රදීප වූ මහාවිහාරවාසී ස්ථවිරයන් වහන්සේලාගේ වංශයට අලංකාරයක් වූ මහත් වූ පිරිසිදු බුද්ධියෙන් යුක්ත ගෞරවයෙන් ගත් බුද්ධඝෝෂ යන නම් ඇති ස්ථවිරයන් විසින් මේ අර්ථසාලිනී නම් ධර්මසංග්‍රහ අර්ථකථාව කරන ලදී.