4. අට්ඨකථා කාණ්ඩය
තිකඅත්ථුද්ධාරවණ්ණනා
දැන් නික්‍ෂේප කණ්ඩයන්ට අනතුරුව තබන ලද අර්ථකථා කාණ්ඩයේ වර්ණනා ක්‍රමය පැමිණියේය. කවර හෙයින් මෙය වනාහි අට්ඨකථා කාණ්ඩය නම් වීද, ත්‍රිපිටක බුද්ධ වචනයේ අර්ථය උදුරා තැබූ හෙයිනි. පිටක තුනෙහිම වනාහි ධර්මයට අනතුරුව ආවත් අට්ඨකථා කණ්ඩයෙන්ම පිරිසිඳ විනිශ්චය කරන ලද්දේ මනාව නිශ්චය කරන ලද්දේ නම් වෙයි. සියලු අභිධර්ම පිටකයෙහි නයමාර්ගය මහා ප්‍රකරණයෙහි ප්‍රශ්නෝද්ධාරය හා ගණවාරය නොසලකන්නකු විසින් ද අට්ඨකථා කාණ්ඩයෙන්ම ගෙනහැර දක්වන්නට වටී.
මෙය කොතැනකින් ප්‍රභව වීද යත්, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ප්‍රභව විය. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වනාහි නික්‍ෂේප කාණ්ඩයෙහි අර්ථෝද්ධාරය සලකා ගන්නට නොහැකි වූ තමාගේ සද්ධිවිහාරිකයෙකුට අර්ථකථා කාණ්ඩය කියවා දුන්හ. මහ අටුවාවෙහි වනාහි මෙය ප්‍රතික්‍ෂේප කොට මෙසේ කියන ලදී. අභිධර්මය නම් ශ්‍රාවක විෂය නොවේ. ශ්‍රාවක ගෝචර නොවේ. මෙය බුද්ධ විෂයය. බුද්ධගෝචරය. දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ වනාහි සද්ධිවිහාරිකයා විසින් විචාරන ලදුව ඔහු රැගෙන බුදුන් වෙත ගොස් සම්මා සම්බුදුන්ට කීහ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවට අර්ථකථා කාණ්ඩය කියවා දුන් සේක. කෙසේ ද? භාග්‍යවතුන් වහන්සේ වනාහි ‘කතමෙ ධම්මා කුසලා’ යැයි විචාළ සේක. කුශල ධර්මයෝ නම් කවරහ යැයි සැලකූහ යනු අර්ථයි. ඉක්බිති තුෂ්ණීභූත වූ ඔහුට මා විසින් ‘කතමෙ ධම්මා කුසලා යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති’ යනාදී නයින් භූමි නිර්දේශයෙන් යම් කුසලයක් දක්වන ලද නොවේද? ඒ සියල්ල සතර භූමින්හි කුශලය, ‘ඉමෙ ධම්මා කුසලා’ යැයි මේ නයින් කර්ණික කර්ණිකා වශයෙන් ගුළි ගුළි කොට පොකුරු පොකුරු කොට අර්ථෝද්ධාර වශයෙන් කුශලාදී ධර්මයන් දේශනා කරන සේක් කියවා දුන්හ.
එහි චතුසු යනු කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකුත්තරයන්හි කුසලං යනු ස්පර්ශාදී භේද ඇති කුශලය, ඉමෙ ධම්මා කුසලා යනු ඒ ඒ භුමින්හි කියන ලද මේ සියලුම ස්පර්ශාදී ධර්මයෝ කුශලයෝ නම්භ.
අකුශලයන්ට වනාහි භූමි වශයෙන් භේදයක් නැති හෙයින් ද්වාදස අකුසල චිත්තුප්පාදා යැයි වදාළහ. එහි උපදී යනු = උප්පාදො ය. සිතම උත්පාදය වූයේ = චිත්තුප්පාදො ය. මෙය දේශනා ශීර්ෂයක්මය. යම් සේ වනාහි රජ ආවේය යැයි කී කල්හි අමාත්‍යාදීන්ගේ පැමිණීම කියන ලද්දේම වෙයි. මෙසේ චිත්තුප්පාදො යැයි කී කල්හි ඔවුන් හා සම්ප්‍රයුක්ත ධර්මයෝද කියන ලද්දෝම වෙත් යැයි සියලු තැන්හිම චිත්තෝත්පාද ග්‍රහණයෙන් සම්ප්‍රයුක්ත ධර්ම සහිත සිත ගන්නා ලදැයි දතයුතුයි. මින් පසුව චතුසු භූමීසු විපාකො යනාදී සියලුම තික දුක භාජනීය පදයන්ගේ අර්ථයන් වේදනාත්‍රිකාදීන්හි සුඛාදීන්ගේ අර්ථයන් නොකිවයුතු හෙයින් යට කියන ලද නයින්ම පාළියේ අර්ථය විමසා දතයුතුයි. විශේෂ මාත්‍රයක් පමණක්ම කියමි.
එහි පරිත්තාරම්මණත්තිකයෙහි වනාහි සබ්බො කාමාවචරස්ස. විපාකො යනු මෙහි දෙපස් විඥානයෝ චක්‍ෂුප්‍රසාදාදීන් නිසා නියමයෙන්ම ඉෂ්ටා නිෂ්ටාදී භේද ඇති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් අරබයා පවතිත් යනු = පරිත්තාරම්මණ ය. කුශලාකුශල විපාක මනෝධාතු දෙක හදවත ඇසුරු කොට චක්‍ෂුර් විඥානාදීන්ට අනතුරුව නියමයෙන් රූපාදීන්ම අරබයා පවතී යනු = පරිත්තාරම්මණා ය. කුසලවිපාක අහේතුක මනෝවිඥාන ධාතුව හා සෝමනස්ස සහගතයෝ ද පංච ද්වාරයෙහි සන්තීරණ වශයෙන් ෂට් ද්වාරයන්හි තදාරම්මණ වශයෙන් යන නියමයෙන් රූපාදි සය පරිත්තාරම්මණයන්ම අරබයා පවතිත් යැයි = පරිත්තාරම්මණා ය. උපේක්‍ෂා සහගත කුශලාකුශල විපාක අහේතුක මනෝවිඥාන ධාතු දෙක පංච ද්වාරයෙහි සන්තීරණ වශයෙන් ෂට්ද්වාරයන්හි තදාරම්මණ වශයෙන් නියම හෙයින් රූපාදී පරිත්තාරම්මණ සය අරබයා පවතී. ප්‍රතිසන්ධි වශයෙන් පවත්නේ ද පරිත්ත කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අරමුණ කරයි. ප්‍රවෘත්තියෙහි භවංග වශයෙන් ද පර්යාවසානයෙහි චුති වශයෙන් පවත්නේ ද එයම අරමුණු කරයි යනු = පරිත්තාරම්මණං ය. සහේතුක විපාක චිත්තෝත්පාද අට වනාහි මෙහි කියන ලද නයින්ම තදාරම්මණ වශයෙන් ප්‍රතිසන්ධි භවාංග චුති වශයෙන් ද පරිත්ත ධර්මයන්ම අරබයා පවතී. කිරිය මනෝධාතුව පංචද්වාරයෙහි රූපාදිය අරබයා පවතී. සොම්නස් සහගත අහේතුක කිරිය මනෝවිඥාන ධාතුව ෂට්ද්වාරයත් පවතිද්දී මනෝද්වාරයෙහි අතීතානාගතයන්හි ද පරිත්ත රූපාදී ධර්මයන්ම අරබයා ක්‍ෂීණාශ්‍රවයන්ට සතුටු ආකාරයක් කරමින් පවතී යන පරිත්තාරම්මණ ය. මෙපරිද්දෙන් පස්විසි චිත්තෝත්පාදයෝ ඒකාන්තයෙන්ම පරිත්තාරම්මණයෝ යැයි දතයුත්තාහ.
විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ධර්මයෝ (තමාගේ) තමාගේ යටම සමවත අරබයා පවත්නා හෙයින් මහග්ගතාරම්මණා ය. මාර්ගඵල ධර්මයෝ නිර්වාණාරම්මණ හෙයින් අප්පමාණාරම්මණා ය.
කුශල වශයෙන් සතරක් ද කිරිය වශයෙන් සතරක්දැයි ඥානවිප්‍රයුක්ත අසත්කෘත්‍යදාන ප්‍රත්‍යක්‍ෂණ ධර්මශ්‍රවණාදීන්හි කාමාවචර ධර්මයන් අරබයා පැවති කාලයෙහි පරිත්තාරම්මණා ය. ඒ කාරණයෙන්ම සප්තවීසති මහද්ගත ධම්මයන් අරබයා පැවති කාලයෙහි මහග්ගතාරම්මණා ය, අතිප්‍රගුණ ප්‍රථම ධ්‍යනාදීන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයේදී මහග්ගතරම්මණා ය. කසිණ නිමිත්තාදී ප්‍රඥප්ති ප්‍රත්‍යවේක්‍ෂණ කාලයෙහි නවත්තාබ්බාරම්මණා ය. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සතර අකුශල චිත්තෝත්පාදයෝ පස්පනස් කාමාවචර ධර්මයන්ට සත්ත්වයාය සත්ත්වයා යැයි පරාමර්ශන ආස්වාදන අභිනන්‍දන කාලයෙහි පරිත්තාරම්මණා ය. එම ආකාරයෙන් සප්තවිංශති මහද්ගත ධර්මයන් අරබයා පවත්නා කාලයෙහි මහග්ගතාරම්මණා ය. ප්‍රඥප්ති ධර්මයන් අරබයා පවත්නා කාලයෙහි නවත්තබ්බාරම්මණා වන්නේය. දෘෂ්ටි විප්‍රයුක්තයන්ට එම ධර්මයන්ම අරබයා හුදෙක් ආස්වාදන අභිනන්දන වශයෙන් ද ප්‍රතිඝ සම්ප්‍රයුක්තයන්ගේ ප්‍රවෘත්තියෙහි දෝමනස්ස වශයෙන් ද විචිකිච්ඡා සම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයට අනිට්ඨං ගත වශයෙන් ද උද්ධච්ච සහගතයාට වික්‍ෂේපන වශයෙන් ද වන්නේය. අවූපසම වශයෙන් පැවැත්මේදී ද පරිත්ත මහග්ගත නවත්තබ්බාරම්මණතාව දතයුතුයි.