ඡක්කාදිනිද්දෙසවණ්ණනා
ඡබ්බිධාදී සංග්‍රහ තුනෙහි අවසාන පදයාගේ භේදයක් නැති හෙයින් මුලපටන් නො විමසාම නිර්දේශය කරන ලදී. එහි චක්‍ෂුර්විඥානයෙන් දැනගත හැකි යනු = චක්‍ඛු විඤ්ඤෙය්‍යං -පෙ- මනෝවිඥානයෙන් දැනගත හැකි යනු = මනොවිඤ්ඤෙය්‍යං ය. ත්‍රිවිධ මනෝවිඥානධාතුවෙන් දැනගත හැකි යනු = මනොධාතු විඤ්ඤෙය්‍යං ය. සබ්බං රූපං යන මෙහි මනෝ විඥාන ධාතුවෙන් දත නොහැකි එකම රූපයක්වත් නැති හෙයින් සබ්බං රූපං යැයි කියන ලදී. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනාහි අභිධර්මයට පැමිණ නය කරන්නට යුතු තැන නය නො කරන ලද්දේ නම් නැත. මනෝවිඥාන ධාතුවෙන් නොදත යුතු එකම රූපයකුදු නැති හෙයින් මෙයද නය කරන්නට යුතු තැනක් නම් වෙයි. එහෙයින් නය කරනුයේ සබ්බං රූපං යැයි වදාළහ.
සුඛ සම්ඵස්සො යනු සුඛවේදනා ප්‍රතිලාභයට හේතු වූ, දුක්‍ඛ සම්ඵස්සො යනු දුක්වේදනා ලැබීමට හේතු වූ මෙහි ද සුඛදුඃඛ පිළිබඳ ස්පර්ශාරම්මණය වර්ණනා කිරීමට මේ නය දෙන ලදී.
නවකාදිනිද්දෙසවණ්ණනා
[missing trans] එහිම (සප්පඝ) අප්පටිඝතාවෙන් දසකයෙහි නය දෙන ලදී. එකාදසකයෙහි අඩ්ඪොකාදස ආයතන බෙදන ලදී. ඔවුන්ගේ නිර්දේශවාර යට කියන ලද නයින්ම විස්තර වශයෙන් දතයුතුයි. සෙස්ස සියලු තැන්හි ප්‍රකට අර්ථ ඇත්තේමය.
පකිණ්ණකකථා
මේ (රූපයන්හි) වනාහි අසම්මෝහය පිණිස ‘සමොධානං සමුට්ඨානං පරිනිප්ඵන්නඤ්ච සංඛතං’ යන මේ ප්‍රකීර්ණකය දතයුතුයි.
එහි සමෝධානය යනු මේ සියලුම රූපය සමෝධාන වශයෙන් චක්‍ෂුරායතනය -පෙ- කබළිකාර ආහාරය පොට්ඨබ්බායතනය ආපෝධාතුව යන පස්විසි ගණනක් වෙයි. එය වස්තු රූපයත් සමග ගණනින් විසිහයක් දතයුතුයි. මෙයින් අන්‍ය වූ රූපයක් නම් නැත. ඇතැම් කෙනෙක් වනාහි මිද්ධරූපය නම් රූපයක් ඇතැයි කියති. ඔව්හු ‘අද්ධා මුනිසි සම්බුද්ධො නත්‍ථි නීවරණා තවා’ යනාදිය කියා මිද්ධරූපය නම් රූපයක් නැතැයි ප්‍රතිෂේධ කළයුත්තාහ. ඇතමෙක් වනාහි බලරූපය සමග සත්විස්සක් ද සම්භව රූපය සමග අටවිස්සක් ද ජාතිරූපය සමග විසිනවයක් ද රෝග රූපය සමග රූප සමතිසක්දැයි කියති. ඔව්හු ද එහි අභාවය වෙන් වශයෙන් දක්වා ප්‍රතික්‍ෂේප කළ යුත්තාහ. වායෝධාතුව ගත් කල්හි (බලරූපය ගන්නා ලද්දේමය. අන්‍ය වූ) බලරූපයක් නම් නැත. ආපෝ ධාතුවෙන් යම් භව රූපයත් උපචය සන්තතීන්ගෙන් ජාතිරූපයත් ජරතා අනිච්චතා වලින් රෝග රූපයක් ගන්නා ලද්දේමය. අන්‍ය වූ රෝග රූපයක් නම් නැත. කර්ණරෝගාදී යම් ආබාධයක් වේ නම්, එයද විෂම ප්‍රත්‍යයෙන් හටගත් ධාතු මාත්‍රයක්මය. එහි අන්‍ය වූ රෝගයක් නම් නැත. එය සමෝධානයෙන් රූප සවිස්සක්මය.
සමුට්ඨාන රූප යනු කෙතෙක්ද, ඒකසමුට්ඨාන දසයකි. ද්විසමුට්ඨාන එකකි. තිසමුට්ඨාන තුනකි. චතුසමුට්ඨාන නවයකි. කිසිවකිනුත් දෙකක් නොහටගැනේ.
එහි චක්‍ෂුප්‍රසාදය -පෙ- ජීවිතේන්‍ද්‍රිය යන මේ අට ඒකාන්තයෙන් කර්මයෙන් හටගනී. කායවිඤ්ඤත්ති වචී විඤ්ඤත්ති යන දෙක ඒකාන්තයෙන් සිතින් හටගනීයැයි මේ දහය ඒකසමුට්ඨාන නමි. ශබ්දය ඍතුවෙනුත් සිතිනුත් හටගනීයැයි එකක් ද්විසමුට්ඨාන නම් වෙයි. එහි අවිඥානක ශබ්දය ඍතුවෙන් හටගනී. සවිඥානක ශබ්දය සිතින් ද, ලහුතාදී තුන වනාහි ඍතු චිත්ත ආහාරයන්ගෙන් හටගනීයැයි මේ තුන තිසමුට්ඨාන නම් වේ. අවශේෂ නවරූප ඔවුන්ගෙනුත් කර්මයෙනුත් දැයි සතරකින් හටගනීයැයි (මේ) නවය චතුසමුට්ඨාන නමි. ජරතා අනිච්චතා දෙක වනාහි මේ එකකින්වත් නූපදී. මේ දෙක කිසිවකිනුත් නො හටගනී නම්, කවර හෙයින් ද? නො හටගන්නා හෙයිනි. මේවා නොහට ගනී. කවර හෙයින් ද? පාකභේදය නිසාය. උපන්නා වූ රූපය හෝ අරූපය බිඳේ යන මෙය වනාහි අවශ්‍යයෙන් පිළිගත යුතුය. උපන්නා වූ රූපයේ හෝ අරූපයේ ක්‍ෂය වීමක් පෙනේ. යම්තාක් නො බිඳිදේ ද එතෙක් එහි පාරිපාකය වේ යන මෙය සිදුවෙයි. හටගත්තහුගේ පාකභේදත්‍වයෙන් යනුයි. ඉදින් ඒවා උපදී නම් ඒවායේ පාකභේදය වන්නේය. පැසුණේ නො පැසෙයි. බිඳුණේ හෝ නො බිඳෙයි යන හටගත්තහුගේ පාකභේදයෙන් මේ දෙක හට නො ගනී.