දුකනිද්දෙසවණ්ණනා
උපාදාභාජනීයකථා
දැන් ද්විධ සංග්රහ ආදියෙහි අත්ථිරූපං උපාදා අත්ථි රූපං නො උපාදා යැයි මෙසේ බෙදීම් වශයෙන් විචාරීම් පෙරදැරි කරගත් පද බෙදීම දක්වමින් කතමං තං රූපං උපාදා, යනාදිය කීය. එහි දැඩිව ගනී යනු උපාදාය. මහාභූතයන් ගෙන ඔවුන් නො මුදා ඔවුන් ඇසුරු කොට පවතී යනු අර්ථයි. දැන් ඔවුන් ප්රභේද වශයෙන් දක්වමින් චක්ඛායතනං ආදිය කීය.
මෙසේ ඒ විසිවැදෑරුම් උපාදා රූප සංක්ෂේපයෙන් උදෙසා නැවත එයම විස්තර වශයෙන් නිර්දේශ කරමින් කතමං තං රූපං චක්ඛායතනං යනාදිය කීය. එහි (ඇස) මසැස පැණැසයැයි දෙවැදෑරුම්ය. ඔවුනතුරෙන් පැණැස බුදුඇස, සමතැස නැණැස දිවැස සහ දහම් ඇස යැයි පස්වැදෑරුම්ය. එහි ‘මහණෙනි, මම බුදු ඇසින් ලොව බලන්නෙම් මද කෙලෙස් ඇත්තා වූ ද -පෙ- අවබෝධ කරවීමට දුෂ්කර වූ ද සත්ත්වයන් දුටිමි’ යන මේ බුදුඇස නමි. ‘සියල්ල දත් නුවණ සමන්තචක්ඛු යැයි කියනු ලැබේ’ යන මේ සමතැස නමි. ‘චක්ඛුං උදපාදි ඤාණං උදපාදි’ යන මේ නැණැස නමි. ‘අද්දසං ඛො අහං භික්ඛවෙ, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙනා’ යන මේ දිවැස නමි. ‘තස්මිං යෙවාසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි’ යන යට මඟ තුන නම් වූ මේ (ඥානය) දහම් ඇස නමි.
මසැස ද සසම්භාර චක්ඛු පසාද චක්ඛු යැයි දෙයාකාර වේ. එහි යට ඇස්වල ඇටයෙන් ද මත්තෙහි බැම ඇටයෙන් ද දෙපස අක්ෂි කූටයන්ගෙන් ද අතර හිස්මොලයෙන් පිටත ඇස්ලොමින් පිරිසිඳිනා ලද යම් මස්පිඩුවක් වේද එය සංක්ෂේපයෙන් සතරධාතුය. වර්ණය ගන්ධය රසය ඕජාය සම්භවය සණ්ඨානය ජීවිතය භාවය කායප්රසාදය චක්ෂු ප්රසාදය යන තුදුස් සම්භාර ද විස්තර වශයෙන් සතරධාතු තදාශ්රිත වර්ණ ගන්ධ රස ඕජා සණ්ඨාන යන සයදැයි මේ දහය චතුසමුට්ඨානික හෙයින් සතළිසක් වෙයි. ජීවිතය භාවය කායප්රසාදය චක්ෂුප්රසාදය යන ඒකාන්ත කර්ම සමුස්ථාන සතර යන මේ සූසාළිස් රූපයන්ගේ වශයෙන් සූසාළිස් සම්භාරය ද, ලෝකයා ඇස සුදුය පළලය විශාලයැයි යම් ඇසක් ඇඳිනගනුයේ ඇස හැඳින ගනුයේ නොවෙයි. වස්තුව ඇස වශයෙන් හැඳිනගනී. ඒ මාංශපිණ්ඩය අත්ථිකූපයෙහි පිහිටියේය. නහර හුයෙන් හිස්මොලයෙහි බැඳුණෝය. එහි සුදුපැහැය ද කළු පැහැය ද ලේ පැහැය ද පෘථුවි ධාතුව ද ආපෝ ධාතුව ද තේජෝ ධාතුව ද වායෝධාතුව ද ඇත. එය සෙම බහුල හෙයින් සුදු වූයේ ද පිත බහුල හෙයින් කළුවූයේ ද රිහිරි බහුල හෙයින් ලේවන් වූයේ ද පෘථුවි බහුල හෙයින් පැතුරුණේ ද වෙයි ද ආපෝ බහුල හෙයින් වැගිරේ ද, තේජෝ බහුල හෙයින් දැවේ ද, වායෝ බහුල හෙයින් භ්රමණය වෙයි ද, මෙය සසම්භාර චක්ඛු නමි.
මෙහි යමක් සුදු ද මෙහි බැඳුණු සතර මහා භූතයන්ගේ උපාදාය ප්රසාදයක් වේ ද, මෙය ප්රසාදචක්ෂු නමි. මෙය ඒ සසම්භාර චක්ෂුසෙහි සෙවන මණ්ඩලයෙන් වටවුණු කෘෂ්ණා මණ්ඩලය මැද ඉදිරියෙහි සිටියවුන්ගේ ශරීර සටහන් උත්පාදන ප්රදේශය වූ දෘෂ්ටි මණ්ඩලයෙහි පුලුන්පටල සතෙක ඉසින ලද තෙල පුලුන්පටල (පැතිර පවත්නා) මෙන් ඇස්පටල සතෙහි පැතිර කිරිමවුන් සතරදෙනකුන් විසින් දැරීම නෑවීම සැරසීම පවන් සැලීම යන කෘත්යයන්ගෙන් රජකුමරකු මෙන් දැරිම බැඳීම පැසවීම කම්පනය යන කෘත්යයන්ගෙන් සතරධාතුන් විසින් කරන ලද උපකාර ඇතිව ඍතු චිත්තාහාරයන් විසින් උපස්ථම්භනය කරනු ලබමින් ආයුෂය විසින් පාලනය කරනු ලබමින් වර්ණගන්ධරසාදීන් විසින් පිරිවරන ලදුව ප්රමාණයෙන් උකුණුහිසක් පමණැතිව චක්ෂුර්විඥානාදීන්ට සුදුසු පරිදි වස්තුද්වාරභාවය සිදුකරමින් සිටී. මෙය දම්සෙනවි සැරියුත් තෙරුන් විසින් ද කියන ලදී.
යෙන චක්ඛුප්පසාදෙන රූපානි මනුපස්සති
පරිත්තං සුඛුමං චෙතං ඌකායිරසමූපමනති
පරිත්තං සුඛුමං චෙතං ඌකායිරසමූපමනති
යම් චක්ෂුප්රසාදයක් විසින් රූප දක්නා ලැබේ ද, එය කුඩාය සියුම්ය උකුණුහිසකට බඳු උපමා ඇත්තේය.
චක්ෂුවත් එයයි. ආයතනයත් එයයි යනු = චක්ඛායතනයයි. යං චක්ඛු චතුන්නං මහාභූතානං උපාදාය පසාදො යැයි මෙහිද උපයෝගාර්ථයෙහි සාමිවචනයමය. සතර මහා භූතයින් දැඩිව ගෙන පවත්නා ප්රසාදය යන අර්ථයි. මෙයින් ප්රසාදචක්ෂුවම ගනී. සෙසු චක්ෂුව ප්රතික්ෂේප කරයි. ඉන්ද්රිය ගෝචර සූත්රයෙහි ‘එකං මහාභූතං උපාදාය පසාදො පඨවිධාතුයා තීහි මහාභූතෙහි සුසංගහීතො ආපොධාතුයා ච තෙජොධාතුයා ච වායොධාතුයා ච’ (කියා ද) චතුපරිවත්ත සූත්රයෙහි ‘ද්වින්නං මහාභූතානං උපාදාය පසාදො (චක්ඛුමෙව ගණ්හාති සෙසු චක්ඛුං) පඨවි ධාතුයා ච ආපොධාතුයා ච ද්වීහි මහාභූතෙහි සුසංගහිතො තෙජොධාතුයා ච වායොධාතුයා ච’ යැයි යමක් කියන ලද ද, එය පර්යාය වශයෙන් කියන ලදී. මේ වනාහි සූත්රාන්තික කථා නම් පර්යාය දේශනාය, සතරමහාභූතයන්ගේ යම් උපාදාය ප්රසාදයක් වේද එය ඔවුනතුරෙන් එකෙකුට එකෙකුට ද දෙදෙනෙකුට දෙදෙනෙකුට ද ප්රසාදය වේ මැයි මේ පර්යායයෙන් දේශනාව ආවේය. අභිධර්මය වනාහි නිෂ්පර්යාය දේශනා නම් වේ. එහෙයින් චතුන්නං මහාභූතානං උපාදාය පසාදො යැයි කියන ලදී.
බාලජනයා විසින් මේ මාගේ ආත්මය යැයි ගන්නා ලද හෙයින් ශරීරයක් ස්කන්ධ පංචයත් අත්තභාවය යැයි කියනු ලැබේ. එහි අන්තර්ගත වූයේය. එය ඇසුරු කරන ලද්දේය යනු = අත්තභාව පරියාපත්තො ය. ප්රතිඝට්ටනය උරාගැනීම මෙහි සිදුවේ යනු = අනිදස්සනො ය. ප්රතිඝට්ටනය උරාගැනීම මෙහි සිදුවේ යනු = සප්පටිඝය,
යෙන යනාදියෙහි මේ සංක්ෂේපාර්ථයයි. හේතභූත යම් ඇසකින් මේ සත්ත්වයා කියන ලද ආකාර ඇති මේ රූපය අතීතයේ දුටුයේ හෝ වර්තමානයේ දක්නේ හෝ අනාගතයේ දකින්නේ හෝ වේ ද, ඔහුට අසම්භින්න චක්ෂුසක් වන්නේ ද, ඉක්බිති ආපාථගත රූපය දක්නේ හෝ අතීත රූපය අතීත ඇසින් දුටුයේ හෝ වේ ද, වර්තමාන රූපය වර්තමාන ඇසින් දක්නේ හෝ වේ ද, අනාගත රූපය අනාගත ඇසින් බලන්නේ හෝ වේ ද, ඒ රූපය ඇස් හමුවට පැමිණේ ද ඇසින් රූපය බලන්නේය යන මෙය මෙහි පරිකල්පන වචනයයි. දර්ශන පරිතායකාර්ථයෙන් මෙය චක්ඛුය. ස්වජාතීන් එක්රැස් කිරීම් අර්ථයෙන් මෙය චක්ඛායතන ද වේ. ශුන්යතා ස්වභාවයෙන් නිස්සත්වාර්ථයෙන් මෙය චක්ඛුධාතු ය. දර්ශන ලක්ෂණයෙහි අධිපති අර්ථය කරවයි යනු මෙය = චක්ඛුන්ද්රියයි. බිඳෙන චිනාශවන අර්ථයෙන් මෙය = ලොකො ය. වලඤ්ජනාර්ථයෙන් මෙය = ද්වාර ද වෙයි. නොපිරවිය හැකි යන අර්ථයෙන් මෙය = සමුද්ද ද වෙයි. පරිශුද්ධාර්ථයෙන් මෙය පණ්ඩර ද වෙයි. ස්පර්ශාදීන්ගේ හටගැනීම් අර්ථයෙන් මෙය ඛෙත්ත ද වෙයි. ඔවුන්ටම ප්රතිෂ්ඨානයක යන අර්ථයෙන් මෙය වත්ථු ද වෙයි. සමවිසම දක්වන ආත්මභාවය පමුණයි යනු මෙය = නෙත්ත ද වෙයි. එම අර්ථයෙන්ම මෙය නයන ද වෙයි. සක්කායයෙහි අන්තර්ගත හෙයින් මෙය ඔරිමංතීරං ය. බහුසාධාරණ අර්ථයෙන් ද අස්වාධිකාර්ථයෙන් ද මෙය සුඤ්ඤොගාමො ද වෙයි. යැයි