2. රූප කාණ්ඩය
උද්දෙසවණ්ණනා
දැන් රූප කාණ්ඩය බෙදා දක්වන්නට නැවත කතමෙ ධම්මා අබ්‍යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි යට චිත්තෝත්පාද කණ්ඩයෙහි විපාක අව්‍යාකෘතය මෙන්ම ක්‍රියා අව්‍යාකෘතය ද කිසිත් ඉතිරි නොකොට බෙදන ලදී. රූප අව්‍යකෘත හා නිර්වාණ අව්‍යාකෘත නොකියන ලදී. ඒවා කියන්නට චතුර්විධ අව්‍යකෘතම සමෝධානය කොට දක්වා කුසලාකුසලානං ධම්මානං විපාකා යන ආදිය කීය. එහි කුසලා කුසලානං යනු චාතුර්භූමක කුශලයන්ගේ මෙන්ම අකුශලයන්ගේය. මෙසේ වනාහි විපාක අව්‍යකෘතය. කුශල විපාකය අකුශල විපාකය වශයෙන් පද දෙකකින් සම්පූර්ණයෙන් ගෙන දක්වන ලදී. යම්හෙයකින් වනාහි ඒ සියල්ලම කාමාවචර හෝ රූපාවචරාදී අතුරෙන් අන්‍යතරයක් හෝ වෙයි ද, එහෙයින්ම කාමාවචරා ආදී නයින් ඒ විපාක අව්‍යාකෘතයම භුම්‍යන්තර වශයෙන් ද විස්තර කොට දක්වන ලදී. එහෙයින් එය වනාහි වේදනා ස්කන්‍ධය ද වෙයි. -පෙ- විඥාන ස්කන්‍ධය ද වෙයි. එහෙයින් නැවත සම්ප්‍රයුක්ත චතුස්කන්‍ධ වශයෙන් විස්තරකොට දක්වන ලදී.
මෙසේ විපාක අව්‍යකෘතය කුශලාකුශල වශයෙන් ද භූම්‍යන්තර වශයෙන් ද සම්ප්‍රයුක්ත ස්කන්‍ධ වශයෙන් දැයි නය තුනකින් විස්තර වශයෙන් දක්වා නැවත ක්‍රියා ව්‍යාකෘතය දක්වමින් යෙ ච ධම්ම කිරියා යන ආදිය කීය. එහි කාමාවචරය රූපාවචරය අරූපාවචරය වේදනා ස්කන්‍ධය -පෙ විඥාන ස්කන්‍ධය යැයි ද කිවයුතු වන්නේය. යට වනාහි ගන්නා ලද්දේම යැයි නය දක්වා අත්හරින ලදී. දැන් නොබෙදන ලද්ද දක්වනුයේ සබ්බඤ්චෙ රූපං අසංඛතා ච ධාතු යැයි කීය. එහි සබඤ්චරූපං යන පදයෙන් පස්විසි රූප ද සයානූ රූප කොට්ඨාස ද නිෂ්ප්‍රදේශ වශයෙන් ගන්නා ලදැයි දතයුතුයි. අසංඛතා ච ධාතු යන පදයෙන් නිවන නිෂ්ප්‍රදේශ වශයෙන් ගන්නා ලදී. මෙපමණකින් අබ්‍යාකතා ධම්මා යන පදය නිමියේ වෙයි.
තත්‍ථ කතමං සබ්බං රූපං යන මෙය කවර හෙයින් ගන්නා ලදද, යට රූප අව්‍යාකෘතය සංක්‍ෂේපයෙන් කියන ලදී. දැන් එය ඒකක දුක තික චතුක්ක -පෙ- ඒකාදශක වශයෙන් විස්තර වශයෙන් බෙදා දක්වන්නට මෙය ගන්නා ලදී. ‘සබ්බඤ්ච රූපං අසංඛතා ච ධාතු’ යැයි කියන ලද්දේ එහි අර්ථයයි. ඒ පද දෙකෙහි සබ්බං රූපං යනු කුමක් ද? දැන් එය බෙදා දක්වමින් චත්තාරො මහාභූතා යන ආදිය කීය. එහි චත්තාරො යනු ගණන පරිච්ඡේදයකි. එයින් ඔවුන්ගේ අඩුවැඩි බව වළක්වයි. චකාරය සම්පිණ්ඩනාර්ථයි.
එයින් හුදෙක් රූපය යනු සතර මහා භූතයෝ පමණක් නොවෙති. අන්‍ය වූ ද උපාදා රූප ඇතැයි සම්පිණ්ඩනය කරයි. මෙහි මහාභූතා යනු මහත්ව පහළවීම් ආදී කාරණයන්ගෙන් මහාභූතයෝ යැයි දතයුතුයි. මේවා වනාහි මහත් සේ පහළවන හෙයින් මහාභූතයන්ට සමාන හෙයින් මහා පරිහාර ඇති හෙයින් මහාවිකාර හෙයින් ද මහත් වූ නිසා යන මේ කරුණුවලින් මහාභූත යැයි කියනු ලැබේ. එහි මහත්ත පාතුභාවතො යනු මේ මහාභූතයෝ වනාහි අනුපාදින්නක සන්තානයෙහිද (උපාදින්නක සන්තානයෙහිද) මහත්ව පහළවෙත්. අනුපාදින්නක සන්තානයෙහි ඔවුන්ගේ මහත්ව පහළවන බව මෙසේ දතයුතුයි. එක්සක්වළක් දිගින් ද පළලින් ද යොදුන් දොළොස් ලක්‍ෂ තුන්දාස් හාරසිය පනසකි. පරික්‍ඛෙපකො :-
සබ්බං සතසහස්සානි ඡත්තිංස පරිමණ්ඩලං
දස චෙව සහස්සානි අඩ්ඪුඩ්ඪානි සතානි ච
වටින් :- සමස්ත පරිමණ්ඩලය යොදුන් තිහය ලක්‍ෂ දසදහස් තුන්සිය පනසකි.
තත්‍ථ :-
දුවෙ සතසහස්සානි චත්තාරි නහුතානි ච
එත්තකං බහලත්තෙන සංඛාතායං වසුන්‍ධරා
එහි : මේ මහපොළොව ඝනත්වයෙන් (යොදුන්) දෙලක්‍ෂ සතළිස් දහසකැයි මෙපමණකින් ගණනය කරන ලදී.
තස්සායෙව සන්‍ධාරකං :-
චත්තාරි සතසහස්සානි අට්ඨෙ ච නහුතානි ච
එත්තකං බහලත්තෙන ජලං වාතෙ පතිට්ඨිතං
එහිම සන්‍ධාරකය :- බහුලත්‍වයෙන් යොදුන් හාරලක්‍ෂ අසූදහසක් පමණ වූ ජලය වාතයෙහි පිහිටියේ ය.
තස්සාපි සන්‍ධාරකං :-
නවසතසහස්සානි මාඵතො නභමුග්ගතො
සට්ඨ චෙව සහස්සානි එසා ලොකස්ස සණ්ඨිති
එහි ද සන්‍ධාරකය :- අහසට නැගුණු වාතය (යොදුන්) නවලක්‍ෂ හැටදහසකි. මේ ලෝකයේ පිහිටීමය.
එවා සණ්ඨිතො චෙත්‍ථ යොජනානං :-
චතුරාසීති සහස්සානි අජ්ඣොගාළ්හා මහණ්ණවෙ,
අච්චුගතො තාවදෙව සිනෙරුපබ්බතුත්තමො
නතො උපඩ්ඪුපඩ්ඪෙන පමාණෙන යථාක්කමං
අජ්ඣොගාළ්හුග්ගතා දිබ්බා නානාරතනචිත්තිතා
යුගන්‍ධරො ඊසධරො කරවීකො සුදස්සනො
නෙමින්‍ධරො විනතකො අස්සණ්ණො ගිරිබ්‍රහා
එතො සත්ත මහාසෙලා සිනෙරුස්ස සමන්තතො
මහාරාජාන මාවාසා දෙවයක්‍ඛ නිසෙවිතා
යොජනානං සතානුච්චො හිමවා පඤ්ච පබ්බතො
යොජනානං සහස්සාති තීනි ආයතවිත්‍ථතො
චතුරාසීති සහස්සෙහි කුටෙහි පතිමණ්ඩිතො
තිපඤ්චයොජනක්‍ඛන්‍ධ පරික්‍ඛෙපා නගවහ්යා
පඤ්ඤාස යොජනක්‍ඛන්‍ධ සාඛායාමා සමන්තතො
සතයොජන විත්‍ථිණ්ණො තාවදෙව ච උග්ගතො
ජම්බු යස්සානුභාවෙන ජම්බුදීපො පකාසිතො
මෙසේ පිහිටි මෙහි ද යොදුන් වශයෙන් :-
උතුම් වූ මහාමේරු පර්වතය මහා සාගරයෙහි (යොදුන්) අසූහාර දහසක් ගිලුණේය. එපමණම උඩට නැඟුණෝය.
පිළිවෙළින් ප්‍රමාණයෙන් එයින් අඩින් අඩ වූ දිව්‍යමය විවිධ රත්තයන්ගෙන් විසිතුරු වූ යුගන්ධර ඊසධර කරවීක සුදර්ශන නේමින්‍ධර විනතක සහ අශ්ව කර්ණ යන මහා පර්වතයෝ (සමුද්‍රයෙහි) ගිලුණාහු මෙන්ම උඩට නැගුණාහු ද වෙත්. (සිවුවරම්) මහරජවරුන්ගේ ආවාස වූ දෙවියන් හා යක්‍ෂයින් විසින් ඇසුරු කරනු ලබන මේ සප්ත මහා පර්වතයෝ මහමෙර හාත්පස වූහ.
හිමාලය පර්වතය යොදුන් පන්සියක් උසය. දිගින් හා පළලින් යොදුන් තුන්දහසකි. අසූහාර දහසක් කුටයන්ගෙන් ප්‍රතිමණ්ඩිතය. යොදුන් පසළොසක් කඳින් යුත් පර්වතයෝ පරික්‍ෂිප්ත වූහ.
පනස් යොදුන් කඳින් හා ශාඛාවලින් යුත් හාත්පසින් (යොදුන් සියයක් පැතිරුණු එපමණම උස් වූ දඹගසකි. එහි ආනුභාවයෙන් දඹදිව ප්‍රකාශයට පත්විය.)
අසුරයන්ගේ සිත්පළොල් රුක ද ගුරුළන්ගේ හිඹුල රුකක් අපරගෝයානයේ කොළොම් රුකක් උතුරුකරු දිවයිනෙහි කප්රුකත් පූර්ව විදේහයෙහි මහරි රුකත් තව්තිසා දෙව්ලොව පරසතු රුකත් දඹරුක පමණමය. එහෙයින් පෝරාණයෝ මෙසේ කීහ :-
පාටලි සිම්බලී ජම්බූ දෙවානං පාරිච්ඡත්තකො
කදම්බො කප්පරුක්‍ඛො ච සිරීසෙන භවති සත්තමං