නවමචිත්තං
නවවැන්න ෂඩාරම්මණයන්හි දොම්නස්ව පටිඝය උපදවන්නා උපදී. ඔහුට සමය ව්යවස්ථාපන වාරයෙහි වනාහි දුෂ්ට මතයක් වේ. හීන වේදනා ඇති හෙයින් නින්දිත මනසක් හෝ වේ යනු = දුම්මනො ය. නො සතුටු සිත් ඇත්තහුගේ භාවය = දොමනස්සං ය. එයින් යුක්ත වූයේ යනු = දොමනස්ස සහගතං ය. අප්රිය වන අයුරෙන් අරමුණෙහි ගැටේ යනු = පටිඝං ය. එයින් සම්ප්රයුක්ත වූයේ යනු = පටිඝ සම්පයුත්තං ය.
ධර්මෝද්දේශයෙහි ස්ථාන තුනෙහිදීම දෝමනස්ස වේදනාවම ආවේය. එහි වේදනාපදයේ අර්ථය කියන ලද්දේමය. දුක්ඛ දෝමනස්ස පදයෝ ද එසේමය. දොම්නස වනාහි ලක්ෂණාදි වශයෙන් අනිෂ්ටාරම්මණානුභවනය ලක්ෂණකොට ඇත්තේය. කෙසේ හෝ අනිෂ්ටාකාර සම්භෝගය රසයකොට ඇත්තේය. චෛතසිකාබාධය එළඹසිටි කාරණය කොට ඇත්තේය. ඒකාන්තයෙන්ම හෘදයවස්තුව ආසන්න කාරණය කොට ඇත්තේ ය.
පළමු සිත්වල යම්සේ ලෝභය වේද මූලකර්ම පථයන්හි අභිධ්යව වේයැයි ආයේ ය. මෙසේ ද්වේෂය වෙයි. ව්යාපාදය වෙයි යැයි කියන ලදී. එහි එයින් දූෂ්ය වෙත්. තෙමේ හෝ දූෂ්ය වෙයි. එය දූෂ්ය මාත්රයක්මය යනු = දොසො ය. එය චණ්ඩි බව ලක්ෂණකොට ඇත්තේ ය. පහර ලද සර්පයකු මෙනි. දැඟලීම රසයකොට ඇත්තේය. විෂ නිපාතයක් මෙනි. තමාගේ නිශ්රයෙන් දැවීම හෝ රසයකොට ඇත්තේ ය. ලැව්ගින්නක් මෙනි. දූෂ්යවීම එළඹ සිටි කාරණයයි. අවකාශ ලත් සතුරකු මෙනි. ආඝාත වස්තුව ආසන්න කාරණය කොට ඇත්තේය. විෂ සමග හැනූ ගවමුත්ර මෙන් ද දතයුතුයි.
එයින් සිත නපුරු බවට පැමිණෙයි. කුණු බවට පැමිණෙයි. නපුරුබවට පමුණුවයි. විනය ආචාරය රූප සම්පත්තිය හිතසුව ආදිය විනාශයට පත්කරයි යනු = ව්යාපාදය, මෙය වනාහි අර්ථ වශයෙන් ද්වේෂයම ය. මෙහි (පද) පිළිවෙළින් පද විසිනවයක් වෙයි. අගහිත ග්රහණයෙන් තුදුසක් වෙයි. ඔවුන්ගේ වශයෙන් සවිභක්තික අවිභක්තික රායිභේදය දතයුතුයි.
යේවාපනකයන් අතුරෙන් ඡන්ද දෝස අධිමොක්ඛ මනසිකාර උද්ධච්ච යන නියතයෝ ඉස්සා මච්ඡරිය කුක්කුච්චයන් අතුරෙන් අන්යතරයක් සමග පසක් පසක්ව උපදිත්. මෙසේ මේ ධර්ම තුන වනාහි අනියත යේවාපනක නමි. ඔවුනතුරෙන් අනුන්ගේ යහපත නො ඉවසයි යනු = ඉස්සා ය. එය අනුන්ගේ සම්පත් නො ඉවසීම ලක්ෂණකොට ඇත්තේ ය. එහි නො ඇලීමම රසයකොට ඇත්තේ ය. එයින් ඉවත බැලීම එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. අනුන්ගේ සම්පත ආසන්න කාරණය කොට ඇත්තේ ය. සංයෝජන යැයි දතයුතුයි. මාත්සර්යයෝ භාවය = මච්ඡරියං ය, එය ලැබුණු හෝ ලැබිය යුතු තමාගේ සම්පත් සැඟවීම ලක්ෂණ කොට ඇත්තේය. එම සම්පත්තීන්ම අන්යයන් හා සාධාරණවීම නො කැමති රසය කොට ඇත්තේ ය. කෝපවීම එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. රළුබව සන්නාහය කරගැනීම හෝ එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. ආන්ම සම්පත්තිය ආසන්න කාරණය කොට ඇත්තේ ය. සිතෙහි විරූප බව යැයි දතයුතුයි. නින්දිත ලෙස කරන ලද්දේ = කුහක ය. එහි භාවය = කුක්කුච්චං ය. එය පසුව තැවීම ලක්ෂණය කොට ඇත්තේ ය. කළ නොකළ දෙය අනුව ශෝක වීම රසයකොට ඇත්තේ ය. විපිළිසරය එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. කළ නො කළ දෙය ආසන්න කාරණය කොට ඇත්තේ ය. දාසබව මෙනැයි දතයුතුයි. මේ වනාහි උද්දේශ වාරයෙහි විශේෂයයි.
නිර්දේශ වාරයෙහි වේදනා නිර්දේශයෙහි අසාතං සාතයට - සැපයට ප්රතිපක්ෂ වශයෙන් දතයුතුයි.
ද්වේෂ නිර්දේශයෙහි දූෂ්ය වේ යනු = දොසො ය. දුස්සනා යනු දූෂ්යවන ආකාරයයි. දුස්සිතත්තං යනු දූෂිත බවයි. ප්රකෘතිභාවය අතහරිනා අර්ථයෙන් ව්යාපාදයට පත්වීම = බ්යාපත්ති ය, බ්යාපජ්ජනා යනු ව්යාපාදයට පත්වන ආකාරයයි. විරුද්ධ වේ යනු = විරොධො ය, නැවත නැවත විරුද්ධ වේ යනු = පටිවිරොධො ය. විරුද්ධාකාර හෝ ප්රතිවිරුද්ධාකාර වශයෙන් මෙය කියන ලදී. චණ්ඩ වූ තද පුද්ගලයා චණ්ඩික්ක යැයි කියනු ලැබේ. ඔහුගේ භාවය = චණ්ඩික්ක ය. මොහු විසින් වචන මනාව වඩනා ලද්දේ නොවේ නපුරු ලෙස කියන ලද්දේය. අසම්පූර්ණවම කියන ලද්දේ වෙයි යනු = අසුරා පො ය. කිපුණු කල වනාහි පරිපූර්ණ වචනයක් නම් නැත. යම්කිසිවෙකුට ඇතත් එය ප්රමාණවත් නොවේ. තවත් කෙනෙක් වනාහි කඳුළු උපදවන හෙයින් කඳුළු රෝපණය කරන හෙයින් අස්සුරොපො යැයි කියත්. එය කාරණයක් නොවේ. සොම්නසට පත්වූවහුට ද කඳුළු උපදනා හෙයිනි. යට කියන ලද සතුටු සිත් ඇති බවට ප්රතිපක්ෂ හෙයින් සතුටු සිත් ඇති බව නොවේ යනු = අනත්තමනතා ය, එය වනාහි යම්හෙයකින් සිතටම ද, සත්ත්වයාට නොවේ ද, එහෙයින් චිත්තස්ස යැයි කියන ලදී. මෙහි සෙස්ස සංග්රහ ශුන්යතා වාරයන්හි ද යට කියන ලද නයින්ම දතයුතුයි.