නිද්දෙසවාරකථා
නිර්දේශ වාරයෙහි චිත්තෙකාග්රතා නිර්දේශයෙහි වනාහි සණ්ඨිති අවට්ඨිති යන මේ දෙක ඨිති යන්නට පර්යාය වචනමය. යමක් වනාහි කුශල නිර්දේශයෙහි අරමුණට බැසගෙන පිවිසගෙන සිටීනුයි = (අවට්ඨිති) යැයි කියන ලදී. මෙහිදී එය නො ලැබෙයි. අකුශලයෙහි වනාහි චිත්තෙකාග්රතාව දුර්වලයැයි යට දක්වන ලද්දේමය.
උද්ධච්ච විචිකිච්ඡා වශයෙන් පැවති විසාහාරයට ප්රතිපක්ෂ වශයෙන් අවිසාහාර යැයි මෙබඳු අර්ථයක් ද මෙහිදී ලැබෙයි. සහජාත ධර්මයන් එක් නොකෙරේ නුයි = – අවිසාහාරො ය. වික්ෂේප නොකෙරේ යනු අවික්ඛෙපො ය. අකුශල චිත්තෙකාග්රතා වශයෙන් එක් නොවූ මනසෙහි භාවය = අවිසාහටමානසතා ය. සහජාත ධර්මයන්හි කම්පා නොවේනුයි = සමාධි බලයයි. අයථා සමාධානයෙන් මිච්ඡා සමාධියැයි මෙහිදී මෙසේ අර්ථය දතයුතුයි.
වීරියෙන්ද්රිය නිර්දේශයෙහි යට කියන ලද යම් නිෂ්ක්රමයක් වේනම් එයද කාමානංපනූදතාය යන ආදී නයක් වේ ද එය ද මෙහි නොලැබේ. සහජාත ධර්මයන්හි කම්පා නො වන අර්ථයෙන්ම විරිය බලය දතයුතුයි.
මිථ්යාදෘෂ්ටි නිර්දේශයෙහි අයථා දර්ශනය යන අර්ථයෙන් මිථ්යා දෘෂ්ටියයි. දෘෂ්ටිගත මේ දර්ශනය දෙසැටක් දෘෂ්ටීන්හි ඇතුළත් හෙයින් දිට්ඨිගතය. යට ද මෙහි අර්ථය කියන ලද්දේමය. දෘෂ්ටියම දුරතික්රමාර්ථයෙන් ඉක්මවීම දුෂ්කරය යන අර්ථයෙන් දිට්ඨිසහගතය. තිණාගහන වනගහන පබ්බත ගහනයන් මෙනි. සැක සහිතය. බිය සහිතය යන අර්ථයෙන් = දිට්ඨිකන්තාර, සොරුන්ගෙන් යුත්කාන්තාරය ව්යාඝ්රාදීන් යුත් කාන්තාරය වැලි කාන්තාරය ජල රහිත කාන්තාරය දුර්භික්ෂ කාන්තාරය මෙනි. සම්යක් දෘෂ්ටිය විනිවිද යන අර්ථයෙන් ද විරුද්ධ වන අර්ථයෙන් ද = දිට්ඨි විසූකාසිකය, මිථ්යා දෘෂ්ටිය උපදිත්ම සම්යක් දර්ශනය විනිවිද යයි. එසේම එයට විරුද්ධ වෙයි. කලෙක ශාස්වත දෘෂ්ටියේ ද කලෙක උච්ඡේද දෘෂ්ටියේ ද ග්රහණයෙන් දෘෂ්ටියේ විරූප වීමක් චලනයක් ඇතිවේ යනු = දිට්ඨි විප්ඵන්දිතය, දෘෂ්ටිගතික වූයේ වනාහි එකක පිහිටීමට නො හැක්කේ වෙයි. ඇතැම්විටෙක ශාස්වත දෘෂ්ටියට වැටෙයි. ඇතැම් විටෙක උච්ඡේද දෘෂ්ටියට වැටෙයි. බන්ධනාර්ථයෙන් දෘෂ්ටියම සංයෝජනය වේනුයි = දිට්ඨි සංයෝජනය,
කිඹුල් ආදීන් පුරුෂයකු මෙනි. අරමුණ දැඩිව ගනී යනුයි = ගාහො ය. ස්ථිරව පිහිටන අර්ථයෙන් = පතිට්ඨාහය, මෙය වනාහි බලවත්ව පවත්නා බැවින් ස්ථිරව පිහිටා ගනී. නිත්යාදි වශයෙන් ඇතුළු වේනුයි –= අභිනිවෙසො ය, ධර්ම ස්වභාවය ඉක්මවා නිත්යාදී වශයෙන් පරාමර්ශනය කෙරේනුයි = පරාමාසො ය, අනර්ථ ගෙන දෙන හෙයින් නින්දිත මාර්ගය හෝ නින්දිත වූ අපායන්ට මාර්ගය යනු = කුම්මග්ගො යනු අයථා මාර්ගයක් හෙයින් = මිච්ඡාපථො ය, යම්සේ වනාහි දිසා මුළාවූවෙකු මේ අසවල් නම් ගමට මාර්ගය යැයි ගන්නා ලද්දේ නමුදු ඒ ගමට නො පැමිණේ. මෙසේ දෘෂ්ටිගතිකයා සුගති මාර්ගය යැයි ගන්නා ලද දෘෂ්ටිය සුගතියට නො පමුණුවයි යනුයි. අයථා මාර්ගය = මිච්ඡා පථො ය. මිථ්යා ස්වභාවය හෙයින් = මිච්ඡත්තං ය. එහිම පරිභ්රමණයෙන් මෙහි බාලයෝ එතර වෙත් යනු = තිත්ථය, මෙය තීර්ථය මෙන්ම අනර්ථයන්ට ආයතනය යි යනු = තිත්ථායතනං ය. තීර්ථකයන්ගේ උපන් දේශය හෝ වාසස්ථානය යන අර්ථයෙන් ද ආයතනය යනු ද = තිත්ථායතනං ය. විපර්යාශ වූ ග්රාහය (විපර්යාය වශයෙන් හෝ ග්රාහය යනු) විපරියෙස ගාහො ය. විපර්යාශ ග්රාහය යන අර්ථයි.
අහිරික අනොත්තප්ප නිර්දේශයන්හි හිරොත්තප්ප නිර්දේශ විපර්යාශ වශයෙන් අර්ථය දතයුතුයි. සහජාත ධර්මයන්හි වනාහි අකම්පානාර්ථයෙන් අහිරික බලයත් අනොත්තප්ප බලයත් දතයුතුයි.
ලෝභ මෝහ නිර්දේශයන්හි ලෝභ කෙරේ යනු = ලොභො ය. ලුබ්භනා යනු ලෝභ කරන ආකාරයයි. ලෝභ සම්ප්රයුක්ත සිත හෝ පුද්ගලයා ලුබ්භිතය. ලුබ්භිතගේ භාවය ලුබ්භිතත්තං ය, ඇලෙයි යනු = සාරාගො ය. සාරජ්ජනාකාරය = සාරජ්ජනා ය. සාරජ්ජිතයාගේ භාවය සාරජ්ජිතත්තං ය. දැඩිව ලෝභ කිරීම් අර්ථයෙන් = අභිජ්ඣා ය, නැවත ලෝභය කීමේ කාරණය කියන ලදමය. අකුසලය වූයේත් මූලය වූයේත් එයයි. අකුසලයන්ගේ මූලය හෝ එයයි යනු = අකුසල මූලං ය.
ඥානදර්ශනයට ප්රතිපක්ෂ හෙයින් අඤ්ඤාණය අදස්සනය, ඉදිරියට අවුත් ධර්මයන් සමනය නො කෙරෙයි. එක්තැන් නොවෙයි යනු = අනභිසමය ය, සුදුසු පරිදි ධර්මයන් අවබෝධ කෙරේ යනු = අනුබෝධෝ ය, එය ප්රතික්ෂේප බැවින් අනනුබොධො ය. අනිත්යදිය සමග යොදා අවබෝධ නො කෙරේ යනු = අසම්බොධො ය. නැත්තක් අසම වූවක් අවබෝධ කෙරේ යනු ද = අසම්බොධො ය. චතුස්සත්ය ධර්මය ප්රතිවේධ නොකෙරේ යනු = අප්පටිවෙධො ය. රූපාදීන් අතුරෙන් ඒක ධර්මයක්වත් අනිත්යාදී ශ්රමණ ධර්ම වශයෙන් නො ගනී යනු = අසංගහණා ය. එම ධර්මය නොබැස ගනී = අපරියොගහණා ය. සමව නොබලයි යනු = අසමපෙක්ඛණා ය. ධර්මයන්ගේ ස්වභාවය අනුව නොබලයි යනු = අපච්චවෙක්ඛණා ය,