දුතියචිත්තං
දෙවන සිතෙහි සසංඛාරෙන යන පදය ද විශේෂය. එය ද යට කියන ලද අර්ථ ඇත්තේමය. මේ සිත වනාහි ඇතැම්විට ෂඩාරම්මණයන්හි සොම්නසට පත්වූවහුට ලෝභය උපදවා සත්ත්වයෙක් සත්ත්වයෙක් යන ආදී නයින් පරාමර්ශනය කරන්නාට උපදී. එසේම සසංඛාරික හෙයින් ප්රයෝග සහිතව උපාය සහිතව උපදනා හෙයිනි. යම්කලෙක කුලපුත්රයෙක් මිථ්යාදෘෂ්ටික කුලයක කුමරියක පතයි ද, ඔවුහු ද තෙපි මිථ්යා දෘෂ්ටිකයහයි නොදෙත් ද, ඉක්බිති අන් නෑයෝ තෙපි යම් යම් දේ කරව් නම් මෙතෙමේ ද එය කරයි යැයි දෙවත්. හෙතෙම ඔවුන් සමග තීර්ථකයන් වෙත එළඹෙයි. මුලදීම විමතියට පත්වෙයි. කල් යත් යත්ම මොවුන්ගේ ක්රියා මනාපයැයි ලබ්ධිය රුචි කෙරෙයි. දෘෂ්ටිය ගනී. මෙවැනි කාලයේදී මෙය ලැබේයැයි දතයුතුයි.
මෙහි වනාහි යේවාපනකයන් අතුරෙහි ථිනමිද්ධය අධිකය. එහි මැළිබව = ථීනය, නිදිමත බව = මිද්ධ ය, උත්සාහ නොවන බව ශක්තිය විනාශවීම යනු අර්ථයි. ථීනය ද මිද්ධය ද ථිනමිද්ධං ය. එහි ථිනය උත්සාහය ලක්ෂණ කොට ඇත. වීර්යය දුරුවීම රසය කොට ඇත්තේ ය. කිඳාබැසීම එළඹ සිටි කාරණයයි. මිද්ධය අකර්මණ්යතාව ලක්ෂණකොට ඇත. වෙළීම රසයයි. සැඟවුණු බව එළඹසිටි කාරණයයි. නිදාවැටීම නින්ද හෝ එළඹසිටි කාරණයයි. දෙකම අරතිය නිදිමත ඈනුම්යෑම ආදීන්හි අයෝනිසෝ මනසිකාරය ආසන්න කාරණය කොට ඇත.
දෙවැන්නයි.
තතියචිත්තං
තුන්වැන්න ෂඩාරම්මණයන්හි සොම්නසට පැමිණ ලෝභය උපදවා සත්ත්වයෙක් සත්ත්වයෙක් ආදී නයින් පරාමර්ශනය කරන්නාට රාජ මල්ල යුද්ධ නෘත්ය උත්සව ආදිය බලන්නාට මනාප ශබ්ද ඇසීම ආදියෙහි යෙදුණාහුට හෝ උපදී. මෙහි මානය සමග පංච අපණ්ණකාංගයෝ වෙත්. එහි හරීනුයි = මානො ය. එය උන්නතිය ලක්ෂණකොට ඇත. තමා ඔසවා තැබීම රසයකොට ඇත්තේය. ප්රසිද්ධිය කැමතිවීම එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. දෘෂ්ටියෙන් තොර ලෝභය ආසන්න කාරණය කොට ඇත්තේ ය. උමතුව මෙනැයි දතයුතුයි.
තුන්වැන්නයි.
චතුත්ථචිත්තං
උක්තප්රකාර ස්ථානයන්හිදීම යම් අවස්ථාවෙක හිසෙහි කෙළ ගසත්ද, පයින් පස් විසුරුවත් ද, එකල්හි ඒ ඒ ක්රියාවන් පවත්වා ගැනීම පිණිස ස්වෝත්සාහයෙන් අතරතුරින් බලන්නවුන්ටද රාජනාටකාදීන් නික්මෙද්දී පිරිස ඉවත්කරන විට ඒ ඒ අවසරයෙන් බලන්නවුන්ට ද ආදී ස්ථානයන්හි ද සතරවැන්න උපදී. මෙහිදී වනාහි ථීනමිද්ධයන් සමග සප්ත යේවාපනකයෝ වෙත්. දෙතැනදීම මිථ්යා දෘෂ්ටිය පිරිහෙයි. එය හැර සෙස්සන්ගේ වශයෙන් ධර්ම ගණනය දතයුතුයි.
සතරවැන්නයි.
පඤ්චමචිත්තං
ෂඩාරම්මණයන්හි වේදනා වශයෙන් මධ්යස්ථ වූවහුට ලෝභය උපදවා සත්ත්වයෙක් සත්ත්වයෙක් යන ආදී නයින් පරාමර්ශනය කරන්නාට පස්වැන්න (උපදී) මෙහිදී වනාහි (සොම්නස් තැන) උපේක්ෂා වේදනාව වෙයි. ප්රීතිපදය පිරිහෙයි. සෙසු සියල්ල පළමු සිත සමානමය.
පස්වැන්නයි.
ඡට්ඨචිත්තාදි
සවන සත්වන අටවන සිත් ද වේදනාව හැර ප්රීතිපදය ද පිරිහෙළා දෙවන තුන්වන සතරවන සිත්වලදී කියන ලද නයින්ම දතයුතුයි. ලෝභ සහගත සිත් අටෙහි සහජාතාධිපති ආරම්මණාධිපති යන අධිපතීහු දෙදෙනාම ලැබෙත්.
නවමචිත්තං
නවවැන්න ෂඩාරම්මණයන්හි දොම්නස්ව පටිඝය උපදවන්නා උපදී. ඔහුට සමය ව්යවස්ථාපන වාරයෙහි වනාහි දුෂ්ට මතයක් වේ. හීන වේදනා ඇති හෙයින් නින්දිත මනසක් හෝ වේ යනු = දුම්මනො ය. නො සතුටු සිත් ඇත්තහුගේ භාවය = දොමනස්සං ය. එයින් යුක්ත වූයේ යනු = දොමනස්ස සහගතං ය. අප්රිය වන අයුරෙන් අරමුණෙහි ගැටේ යනු = පටිඝං ය. එයින් සම්ප්රයුක්ත වූයේ යනු = පටිඝ සම්පයුත්තං ය.
ධර්මෝද්දේශයෙහි ස්ථාන තුනෙහිදීම දෝමනස්ස වේදනාවම ආවේය. එහි වේදනාපදයේ අර්ථය කියන ලද්දේමය. දුක්ඛ දෝමනස්ස පදයෝ ද එසේමය. දොම්නස වනාහි ලක්ෂණාදි වශයෙන් අනිෂ්ටාරම්මණානුභවනය ලක්ෂණකොට ඇත්තේය. කෙසේ හෝ අනිෂ්ටාකාර සම්භෝගය රසයකොට ඇත්තේය. චෛතසිකාබාධය එළඹසිටි කාරණය කොට ඇත්තේය. ඒකාන්තයෙන්ම හෘදයවස්තුව ආසන්න කාරණය කොට ඇත්තේ ය.
පළමු සිත්වල යම්සේ ලෝභය වේද මූලකර්ම පථයන්හි අභිධ්යව වේයැයි ආයේ ය. මෙසේ ද්වේෂය වෙයි. ව්යාපාදය වෙයි යැයි කියන ලදී. එහි එයින් දූෂ්ය වෙත්. තෙමේ හෝ දූෂ්ය වෙයි. එය දූෂ්ය මාත්රයක්මය යනු = දොසො ය. එය චණ්ඩි බව ලක්ෂණකොට ඇත්තේ ය. පහර ලද සර්පයකු මෙනි. දැඟලීම රසයකොට ඇත්තේය. විෂ නිපාතයක් මෙනි. තමාගේ නිශ්රයෙන් දැවීම හෝ රසයකොට ඇත්තේ ය. ලැව්ගින්නක් මෙනි. දූෂ්යවීම එළඹ සිටි කාරණයයි. අවකාශ ලත් සතුරකු මෙනි. ආඝාත වස්තුව ආසන්න කාරණය කොට ඇත්තේය. විෂ සමග හැනූ ගවමුත්ර මෙන් ද දතයුතුයි.