දසමචිත්තං
දසවැන්න සසංඛාර හෙයින් අනුන් විසින් උත්සාහවත් කරනු ලැබූවකුට හෝ අනුන්ගේ අපරාධයක් සිහි කරන්නෙකුට හෝ අනුන්ගේ අපරාධයක් සිහිකරමින් කිපෙන්නෙකුට හෝ උපදී.
මෙහි ද පද පිළිවෙළින් විසිනවයක් ද අගෘහීත ග්‍රහණ වශයෙන් ද පද තුදුසක් වේමය. යේවාපනකයන්හි වනාහි ථිනමිද්ධය ද ලබයි. එහෙයින් මෙහි ඉස්සා මච්ඡරිය, කුක්කුච්ච යන සය හැර අපණ්ණකංග ද, ථීනමිද්ධය යන මේ සය හෝ ඉස්සා ආදීන් උපදනා කල්හි ඔවුන්ගෙන් අන්‍යතරයක් සමග යේවාපනක සක සත හෝ උපදිත්. සෙසු සියල්ල සියලු වාරයන්හි නවමය. සමානමය. මේ දොම්නස් සිත් දෙකෙහි සහජාතාධිපතිම ලැබෙයි. ආරම්මණාධිපති නොවේ. කිපි තැනැත්තේ කිසි කෙනෙකුටත් ගරු නො කරයි.
දසවැන්න යි.
එකාදසමචිත්තං
එකොළොස්වැන්න ෂඩාරම්මණයන්හි වේදනා වශයෙන් මධ්‍යස්ථවූවහුට සැකය පවත්නා කාලයෙහි උපදී. ඔහුගේ සමය ව්‍යවස්ථානයෙහි විචිකිච්ඡා සම්පයුත්තං යන පදය අපුබ්බය. එහි අර්ථය විචිකිච්ඡාය සම්පයුත්තං යනු = විචිකිච්ඡා සම්පයුත්තං ය. ධම්මුද්දෙසයෙහි විචිකිච්ඡා හොති යන පදය පමණක් විශේෂයයි. එහි පහවූ විචිකිච්ඡා යනු = විචිකිච්ඡා ය. ස්වභාවය සොයමින් මෙයින් දුකට පත්වෙයි ක්ලාන්ත වෙයි හෝ = විචිකිච්ඡා ය. එය සැකය ලක්‍ෂණකොට ඇත්තේ ය. කම්පනය රසය කොට ඇත්තේ ය. අවිනිශ්චය එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. අනේකාංශග්‍රාහය හෝ එළඹසිටි කාරණය කොට ඇත්තේය. නුනුවණින් මෙනෙහි කිරිම ආසන්න කාරණය කොට ඇත්තේ ය. ප්‍රතිපත්ති අන්තරාය කරයැයි දතයුතුයි.
මෙහි පද පිළිවෙළින් පද තෙවිස්සක් වෙයි. අගහීත ග්‍රහණයෙන් තුදුසෙකි. ඔවුන්ගේ වශයෙන් සවිභත්තික අවිභත්තික රාශි විනිශ්චය දතයුතුයි. මනසිකාර උද්ධච්ච වශයෙන් යේවාපනක දෙකක්මය.
මෙහි නිර්දේශවාරය පිළිබඳ චිත්තෙකාග්‍රතා නිර්දේශයෙහි යම්හෙයකින් මේ දුර්වල සිත ප්‍රවෘත්ති සර්වතිමාත්‍රයක්ම වේද, එහෙයින් සණ්ඨිති ආදීන් නො කියා චිත්තස්සඨිති යන එකම පදය කියන ලදී. එම කාරණයෙන්ම උද්දේසවාරයෙහි ද සමාධින්‍ද්‍රියං ආදිය නො කියන ලදී.
විචිකිච්ඡා නිර්දේශයෙහි සැක කිරීම් වශයෙන් = කඞ්ඛා යන සැකය ගෙන එයි යනු = කඞ්ඛාසනාය, පළමු සැකය වනාහි මතු සැකය ගෙන එන්නේ නම් වෙයි. ආකාර වශයෙන් හෝ මෙය කියන ලදී. සැකයෙන් යුක්ත වූ සිත සැකය ගෙන එන හෙයින් කඞ්ඛායිත නම් වෙයි. එහි භාවය = කඞ්ඛායිතත්තං ය, විමති යනු ප්‍රඥාව නැත යනුයි. විචිකිච්ඡාව කියන ලද අර්ථ ඇත්තේමය. තම්පනාර්ථයෙන් දෙයාකාරයකින් සැක කෙරේනුයි = දෙව උහකං ය, හැසිරීම වැළැක්වීමෙන් දෙමංසන්‍ධියක් මෙනි යනු = ද්විධා පථො ය, මෙය නිත්‍ය ද? නැතහොත් අනිත්‍යද? යන ආදී වශයෙන් ප්‍රවෘත්තියෙහි එක් ආකාරයකින් සිටින්නට අසමර්ථ හෙයින් හාත්පසින් සයනය කෙරේ යනු = සංසයො ය, එක් අංශයක් ගන්නට අසමර්ථ හෙයින් ඒකාංශග්‍රාහී නොවේ යනු = අනෙකංසගාගො ය, නිශ්චල කළ නො හැකිව අරමුණක් ඉවතට යයි යනු = ආසප්පනා ය, බැසගන්නට නො හැකිව (පරි) හාත්පස ඇවිදී යනු = පරියසප්පනා ය, සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීමට අසමර්ථ හෙයින් = අපරියොගාහණා ය, නිශ්චය වශයෙන් අරමුණෙහි පවතින්නට අසමර්ථ හෙයින් = ථම්භිතත්තය, සිතේ තදබව යනු අර්ථයි. විචිකිච්ඡාව වනාහි ඉපිද ඉපිද සිත තද කරයි, යම්හෙයකින් මේ විචිකිච්ඡාව උපදිනවිට අරමුණ ගෙන සිත පහුරු ගාන්නාක් මෙන් වේ, එහෙයින් මනො විලෙඛො යැයි කියන ලදී. සෙස්ස සියලු තැන්හි නො ගැඹුරු අර්ථ ඇත්තේමය.
එකොළොස් වැන්නයි.
ද්වාදසමචිත්තං
දොළොස්වැන්නට සමය ව්‍යවස්ථානයෙහි උද්ධච්චය සමග සම්ප්‍රයුක්ත වූයේ යනු = උද්ධච්ච සම්පයුත්තං ය, මේ සිත වනාහි ෂඩාරම්මණයන්හි වේදනා වශයෙන් මධ්‍යස්ථව උද්ධන වෙයි. (මෙහි) සමුද්දෙසයෙහි විචිකිච්ඡා ස්ථානයෙහි උද්ධච්චය වේයැයි ආවේය. පද පිළිවෙළින් පද අටවිස්සක් වෙයි. අගෘහීත ග්‍රහණයෙන් තුදුසකි. සවිභක්තික අවිභක්තිකයන්ගේ රාශි විධානය ඔවුන්ගේ වනයෙන් දතයුතුයි. අධිමොක්‍ඛ මනසිකාර යන දෙකම යේවාපනකයෝ ය.
නිර්දේශ වාරයාගේ උද්ධච්ච නිර්දේශයෙහි චිත්තස්ස යනු සත්ත්වයෙකුට නොවේ. පුරුෂයෙකුට නොවේ. උද්ධච්චං යනු නොසන්සුන් ආකාරයයි. නො සන්සිඳුණේ යනු = අවූපසමොය, සිත වික්‍ෂේප වේ යනු = චෙතසො වික්‍ඛෙපො ය, භන්තත්තං චිත්තස්ස යනු සිතේ භ්‍රාන්ත භාවයයි. භ්‍රාන්තයාන භ්‍රාන්ත ගොන් ආදීන් මෙනි. මෙයත් එක් අරමුණෙක විෂ්ඵන්‍දනයම කියන ලදී. උද්ධච්චය වනාහි එක් අරමුණෙක විෂ්ඵන්‍දනය වේ. විචිකිච්ඡාව නානාරම්මණයෙහි විෂ්ඵන්‍දනය වේ. සෙස්ස සියලු වාරයන්හි යට කියන ලද නයින්ම දතයුතුයි.
දැන් මේ සිත් දෙකෙහි ප්‍රකීර්ණක විනිශ්චය වෙයි. අරමුණෙහි පෙරළෙන සිත් කෙතෙක් නම් වේදැයි කීමෙහි දී වනාහි මේ දෙකම යැයි කිවයුතුයි. එහි විචිකිච්ඡා සහගත සිත ඒකාන්ත වශයෙන් පෙරළේ උද්ධච්ච සහගතය වනාහි ලබ්ධාධිවිමෝක්‍ෂ බැවින් ලබන ලද ප්‍රතිෂ්ඨාවෙන් පෙරළේ. යම්සේ වනාහි වටවූත් සතරැස් වූත් මැණික් දෙකක් අතුරෙන් බෑවුම් තැනෙක පෙරළා දැමූ වටමැණික ඒකාන්තයෙන්ම පෙරළෙයි. සිවුරැස් මැණික හිට හිට පෙරළෙයි. මෙය ද මෙබඳු යැයි දතයුතුයි. සියල්ලෙහිම හීනාදිභේදය මතුකොට නො දක්වන ලදී. සියල්ලම ඒකාන්ත හීන බැවින් සහජාතාධිපත ලැබෙද්දීත් යටදක්වන ලද නය ඇතිහෙයින් මතුකොට නො දක්වන ලදී. මෙහි වනාහි ඤාණාභාවය නිසා වීමලසාධිපති නම් නොවේ. පශ්චිම ද්වයෙහි සෙස්ස ද නැත්තේමය. කවර හෙයින් ද? කිසියම් ධර්මයක් ප්‍රධාන කොටගෙන නූපදනා හෙයිනුත් පට්ඨානයෙහි ද සිද්ධ කොට ඇති හෙයින්ය.
මේ දොළොස් අකුසල චිත්තයන් විසින් කර්ම රැස් කළ කල්හි උද්ධච්ච සහගත සිත හැර සෙසු එකොළොසම ප්‍රතිසන්‍ධිය දෙසට අදී. නො ලබන ලද අධිෂ්ඨාන ඇති දුර්වල වූ විචිකිච්ඡා සහගත සිත ප්‍රතිසන්‍ධිය දෙසට අදිද්දී ලබන ලද අධිෂ්ඨාන ඇති (බලවත්) උද්ධච්ච සහගත සිත කවර හෙයින් නො අදී ද යත්? සෝවාන් මාර්ග ඥානයෙන් පහකළ යුත්තක් නැති හෙයිනි. යම්හෙයකින් අදී ද, (ඒ පිළිබඳව) සෝවාන් මාර්ග ඥානයෙන් පහකළයුතු පද පිළිබඳ විභංගයෙහි එන්නේය. එහෙයින් එය හැර සෙසු එකොළොස ඇදගනී. ඔවුනතුරෙන් යම්කිසිවෙකු විසින් කර්මයන් රැකළ කල්හි ඒ චේතනාවෙන් සතර අපායෙහි ප්‍රතිසන්‍ධිය වෙයි. අකුසල විපාකයන් අතුරෙන් අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුව උපේක්‍ෂා සහගත ප්‍රතිසන්‍ධිය ගනී. අනෙකට ද මෙහිම ප්‍රතිසන්‍ධි දානය වන්නේය. යම්හෙයකින් වනාහි එය නැද්ද, එහෙයින් දස්සනෙන පහාතබ්බ පද විභාගයෙහි නාවේය.