පඨමමග්ගවීසතිමහානයො
දැන් යම්හෙයකින් ලෝකෝත්තර කුශලය භාවනා කරන්නා හුදෙක් නිතර නිතර සිහිකිරීම් වශයෙන් ධ්යානයම වඩන්නේ නොවෙයි. සසරින් නික්ම යෑමේ අර්ථයෙන් මාර්ගය ද වඩයි. එළඹ සිටීම් අර්ථයෙන් සතිපට්ඨානය ද උත්සාහ කිරීම් අර්ථයෙන් සම්යක්ප්රධානය ද, සමෘද්ධවීම් අර්ථයෙන් ඍද්ධිපාදය ද ආධිපත්යයෙන් ඉන්ද්රිය ද අකම්ප්යාර්ථයෙන් බලය ද, අවබෝධ කිරීම් අර්ථයෙන් බෝධ්යාංගද, තථාර්ථයෙන් සත්යය ද, වික්ෂිප්ත නොවීම් අර්ථයෙන් සමථය ද, ශුන්යතාර්ථයෙන් නිස්සත්ථාර්ථයෙන් ධාතු ද, ප්රත්යාර්ථයෙන් ආහාරය ද, ස්පර්ශනාර්ථයෙන් ස්පර්ශය ද, වේදයිතාර්ථයෙන් වේදනාව ද, හැඳිනගැනීම් අර්ථයෙන් සංඥාව ද, චේතයිතාර්ථයෙන් චේතනාවද, විජානනාර්ථයෙන් සිත ද වඩයි. එහෙයින් එකුන්විසි නය දැක්වීම පිණිස නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය දේශනා කරන ලදී. මෙසේ මෙයත් වඩයි. මෙයත් වඩයි යැයි පුද්ගලාධ්යාශය වශයෙන් ද දේශනා විලාසයෙන් ද නය විස්සක් දේශනා කරන ලද්දේ වෙයි. බණ ඇසීමට උන් පිරිසෙහි වනාහි යම් අයෙක් උපනිධ්යානාර්ථයෙන් ලෝකෝත්තර ධ්යානය යැයි කී කල්හි අවබෝධ කරගනිත් ද? ඔවුන්ට සත්ප්රාය වශයෙන් ධ්යානය යැයි වදාරන ලදී. -පෙ යමෙක් විජානනාර්ථයෙන් චිත්තයැයි කී කල්හි අවබෝධ කරගනිත් ද? ඔවුන් සත්ප්රාය වශයෙන් චිත්තං යැයි වදාරන ලදී. මේ මෙහි පුද්ගල අදහසයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි තමන්වහන්සේගේ බුද්ධ සුබෝධිතාවෙන් දශබල චතුර් වෛශරාද්යය චතුප්රතිසම්භිදාතාවෙන් ෂට් අසාධාරණාඥානයෙන් ද දේශනාව යදිච්ඡකව නියමකොට දක්වන සේක. කැමතිවන සේක් ලෝකෝත්තර ධ්යානය උපනිධ්යානාර්ථයෙන් යැයි දක්වන සේක. කැමතිවන සේක් සසර දුකින් නික්මීම් අර්ථයෙන් -පෙ- විජානනාර්ථයෙන් ලෝකෝත්තර සිතයැයි දැයි මේ දේශනා විලාස නමි. එහි ලෝකෝත්තර ධ්යානයැයි කී තැන යම්සේ දසනයක් බෙදන ලදද, මෙසේ මාර්ග ආදියෙහි ද ඒ නයම දතයුතුයි. මෙසේ විසිතැනෙක දහය දහය කොට නය දෙසියයක් බෙදන ලද්දේ වෙයි.
දැන් අධිපතිභේදය දක්වන්නට නැවත කතමෙ ධම්මා කුසලා?යි ආදිය පටන්ගන්නා ලදී. එහි ඡන්දය ප්රධාන කොට ජ්යෙෂ්ඨ කොට පූර්වාංගම කොට උපදවන ලද ලෝකෝත්තර ධ්යානය ඡන්දාධිපතෙය්ය නමි. සෙස්සෙහි ද මේ නයමය. මෙසේ ධර්මරාජයන් වහන්සේ පුරිම ශුද්ධිකයෙහි නය දෙසියයකි. ඡන්දාධිපති ආදීන්හි ද දෙක දෙක යැයි නය දහසකින් බෙදා ප්රථම මාර්ගය දැක්වූ සේක.
ප්රථම මාර්ගයයි.
දුතියමග්ගො
දැන් ද්විතීය මාර්ගාදීන් දැක්වීම පිණිස නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහිදී කාමරාග ව්යාපාදානං පතනුභාවාය යනු මේ ක්ලේශයන්ගේ තුනීකිරීම පිණිසය. එහි කරුණු දෙකකින් තුනී බව දතයුතුයි. හේතු රහිතව ඉපදීමෙන් හා නැගී සිටීමේ මන්දතාවෙනි. සකෘදාගාමියාට වනාහි සසර සැරිසරන මහජනයාට මෙන් කෙලෙස් නිතර නූපදී. ඉඳහිට උපදී. (උපදින්නේ ද) විරලාකාරව (උපදී) විරලව වපුරන ලද කෙතෙහි අංකුර මෙනි. උපදිනුයේ ද සසර සැරිසරන මහජනයාට මෙන් මර්දනය කෙරෙමින් පැතිරෙමින් වසමින් අන්ධකාර කරමින් නූපදී. මාර්ග දෙකකින් ප්රහීණ වූ හෙයින් මඳ මඳව උපදී. තුනී ආකාරයෙන් (උපදී) වලාපටලයක්මැසි පිහාටුවක් ද මෙනි.
එහිදී ඇතැම් තෙරවරු මෙසේ කියත්. සකෘදාගාමියාට බොහෝ කලකින් කෙලෙස් උපන්නත් බහලවම උපදී. එසේම ඔහුට දූපුත්තු ද පෙනෙත් යනුයි. මෙය වනාහි අප්රමාණය. දූපුත්තු වනාහි අඟපසඟ පිරිමැදීම් මාත්ර ද මෙනි. මාර්ග දෙකින් ප්රහීණ වූ හෙයින් කෙලෙසුන්ගේ බහලතාවක් නැත. හේතු රහිත උත්පත්තිය හා නැගිටීමේ වන්දනාව යන කරුණු දෙකින්ම කෙලෙසුන්ගේ තුනී බව දතයුතුයි.
දුතියාය යනු ගණන වශයෙන් ද දෙවන උත්පත්තිය වශයෙන් ද දුතියාය ය. භූමියා පත්තියා යනු මාර්ගඵල ප්රතිලාභය පිණිසය. තෘතීය චතුර්ථයන්හිද මේ නයමය. විශේෂ මාත්රයක් පමණක් කියමි.