ලොකුත්තරකුසලවණ්ණනා
මෙසේ භවත්‍රය පිළිබඳ සම්පත් නිපදවන කුසල් දක්වා දැන් සියලු භවයන් ඉක්මවීම පිණිස ලෝකෝත්තර කුසල් දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන් ගන්නා ලදී. එහි ලොකුත්තරං යනු කවර අර්ථයකින් ලෝකුත්තර ද, ලෝකය තරණය කරයි යනු = ලොකුත්තරය, ලෝකය එතර කරයි යනු = ලොකුත්තරය, ලෝකය සමතික්‍රමණය කොට මැඩගෙන සිටීනුයි = ලොකුත්තරය, ධ්‍යානය වඩයි යනුදු ඒකචිත්ත ක්‍ෂණික අර්පණාධ්‍යානය (වඩයි) උපදවයි. වර්ධනය කරයි.
ලොවින් නික්මයයි. වෘත්තයෙන් නික්මයයි යනු = නිය්‍යානිකය, මෙයින් නික්මවනු ලබයි හෝ = නිය්‍යානිකය, එයින් යුත් පුද්ගලයා වනාහි දුක විශේෂයෙන් දන්නේ නික්මෙයි, සමුදය දුරුකෙරෙමින් නික්මෙයි, නිරෝධය සාක්‍ෂාත් කෙරෙමින් නික්මෙයි. මාර්ගය වඩමින් නික්මෙයි. යම්සේ වනාහි ත්‍රෛභූමක කුශලය සසර චුති ප්‍රතිසන්ධීන් රැස්කෙරෙයි. වඩයි යනු = ආචයගාමී නම් වෙයි. මෙය එසේ නොවේ. මෙය වනාහි යම්සේ ආචයගාමී නම් වෙයි. මෙය එසේ නොවේ. මෙය වනාහි යම්සේ එක් පුරුෂයකු අටළොස් රියන් පවුරක් ගොඩනගද්දී අනෙකක් මහ මුගුරක් ගෙන ඔහු විසින් ගොඩනැගූ ගොඩනැගූ තැන් බිඳ දමමින් විනාශ කෙරෙමින්ම යෙයි ද, මෙපරිද්දෙන් ත්‍රෛභූමක කුශලය විසින් රැස්කරන ලද චුති ප්‍රතිසන්ධීන් ප්‍රත්‍යය විකල කිරීමෙන් විසුරුවමින් විනාශ කරමින් යයි යනු අපචය ගාමීය,
දිට්ඨිගතානං පහාණාය යන මෙහි දෘෂ්ටීහුම = දිට්ඨිගතයෝ ය. ගුථගතං මුපාගතං යන ආදිය මෙනි, දෙසැට දෘෂ්ටියෙහි හෝ දෘෂ්ටීන්ට හෝ ඇතුළත් හෙයින් දෘෂ්ටීන්හි ගියාහු යනුදු = දිට්ඨිගතාන්‍වය, දෘෂ්ටිසමාන ගමන් ඇත්තාහ. දෘෂ්ටීන් සමාන පැවතුම් ඇත්තාහ යන අර්ථයි. ඒකවරහු ද? සසම්ප්‍රයුක්ත වූ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස අපායගාමිනිය වූ රාග දෝස, මෝහ යන අකුසලයෝ ය, ඔවුහු වනාහි ප්‍රථම මාර්ග භාවනාව තෙක් පැවැත්ම සම්භාවිත හෙයින් දෘෂ්ටිසමාන පැවැත්ම ඇත්තාහයි කියනු ලබත්. මෙසේ දෘෂ්ටීහු ද දෘෂ්ටිගතයෝ ද = දිට්ඨිගතයෝ ය. ඔවුන්ගේ දිට්ඨිගතානං, පහාණාය යනු සිඳදැමීම් වශයෙන්ම දුරුකිරීම පිණිස ය. පඨමාය යනු ගණන වශයෙන් ද ප්‍රථම උත්පත්ති වශයෙන් ද ප්‍රථම වූ, භූමියා යනු ‘අනන්තර හිතාය භූමියා’ යන ආදීන්හි වනාහි මේ මහපොළොව භූමි යැයි කියනු ලැබේ. ‘සුඛභූමියං කාමාවචරෙ’ යන ආදීන්හි චිත්තොත්පාදයයි. මෙහි වනාහි ශ්‍රාමාණ්‍ය ඵලය අභිප්‍රේතයි. එය වනාහි සම්ප්‍රයුක්තයන්ට නිශ්‍රය බැවින් ඒ ධර්මයෝ මෙහි වෙත් යනු = භූමි ය. යම්හෙයකින් හෝ සමාන වූ ලෝකෝත්තර භාවයන් ඇති කල්හි තෙමේ ද උපදී. නිවන මෙන් පහළ නොවීමක් නොවේ. එහෙයින් ද භූමි යැයි කියනු ලැබේ. ඒ ප්‍රථම භූමියෙහි, පත්තියා යනු ශ්‍රෝතාපත්තිඵලසංඛ්‍යාත වූ ප්‍රථම ශ්‍රාමාණ්‍යඵලයට පැමිණීම පිණිස ප්‍රතිලාභය පිණිස යැයි මෙසේ මෙහි අර්ථය දතයුතුයි. විවිච්ච යනු සිඳදැමීම් වශයෙන් වන විවේකයෙන් විවේකයට පැමිණ වෙන්ව,
දැන් යම්හෙයකින් ලෞකික ධ්‍යානය ද ප්‍රතිපදාවෙන් තොරව සිද්ධ නොවේ නම්, එසේ ඇතිකල්හි ද මෙහිදී ශුද්ධික නය හැර ප්‍රතිපදාව සහිතවම ලෝකෝත්තර ධ්‍යානය ගරුකොට දේශනා කරනු කැමැත්තෙන් දුක්‍ඛාපටිපදං දන්‍ධභිඤ්ඤං යන ආදිය වදාළහ.
එහිදී යමෙක් මුලපටන්ම ක්ලේශයන් විෂ්කම්භනය කරමින් දුකින් සසංඛාරිකව ප්‍රයෝග සහිතව වෙහෙසෙනුයේ විෂ්කම්භනය කෙරේද, ඔහුට දුක්ඛාපටිපදා (වෙයි), විෂ්කම්භනය කරන ලද කෙලෙස් ඇති යමෙක් වනාහි විදර්ශනා පරිවාස වසනුයේ බොහෝ කලෙකින් මාර්ග පහළවීමට පත්වේද, ඔහුට දන්‍ධාභිඤ්ඤා වෙයි. මෙසේ කිසියම් වාරයක් දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා යැයි නම් කරන ලදී.
කවර නම් වාරයක් රුචි කරත් ද, යම්තැනක වරක් විෂ්කම්භනය කරන ලද ක්ලේශයෝ හැසිරෙත් ද, දෙවන වරද විෂ්කම්භනය කරන ලදුව නැවතත් හැසිරෙත් ද, තුන්වෙනු විෂ්කම්භනය කරන ලදුව වනාහි එසේ විෂ්කම්භනය කෙළේම කොට මාර්ගයෙන් වැනසීමට පැමිණෙයි. මේ වාරය රුචි කළහ. මේ වාරයට දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා යැයි නම් කරන ලදී. මෙපමණකින් වනාහි ප්‍රකට නොවේ. එහෙයින් මෙහිදී මෙසේ මුලපටන් විස්තරය දතයුතුයි. යමෙක් වනාහි සතර මහා භූතයන් පරීක්‍ෂා කොට උපාදා රූපය පරීක්‍ෂා කරයි, අරූපය පරීක්‍ෂා කරයි, රූපාරූපයන් පරීක්‍ෂා කරනුයේ වනාහි දුකින් කරදරයෙන් වෙහෙස වෙමින් (පරීක්‍ෂා කරන්නට හැකි වෙයි. ඔහුට දුක්ඛා පටිපදා නම් වෙයි. පරිග්‍රහණය කරන ලද රූපාරූපයන් පිළිබඳ විදර්ශනා පරිවාසයෙහි මාර්ගය පහළවීමේ දන්‍ධතාවෙන් දන්‍ධාභිඤ්ඤා නම් වෙයි.
යමෙක් රූපාරූපයන් පරිග්‍රහණය කොට නාමරූපයන් ව්‍යවස්ථාපනය කරනුයේ දුකින් කරදරයෙන් වෙහෙසෙමින්) ව්‍යවස්ථාපනය කරයි. නාමරූපයන් ව්‍යවස්ථාපනය කළ කල්හි ද විදර්ශනා පරිවාස කරනුයේ දීර්ඝ කාලයකින් මාර්ගය උපදවන්නට හැකිවෙයි. ඔහුට ද දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා වෙයි.
තවෙකෙක් නාමරූපයන් ද ව්‍යවස්ථාපනය කොට ප්‍රත්‍යයන් පරිග්‍රහණය කරනුයේ දුකින් කරදරයෙන් වෙහෙසෙමින් පරිග්‍රහණය කරයි. ප්‍රත්‍යයන් ද පරිග්‍රහණය කොට විදර්ශනා පරිවාසයෙහි වෙසෙනුයේ දීර්ඝ කාලයකින් මාර්ගය උපදවයි. මෙසේ ද දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා නම් වෙයි.
තවෙකෙක් ප්‍රත්‍යයන් ද පරිග්‍රහණය කොට ලක්‍ෂණයන් ප්‍රතිවේධ කරමින් දුකින් කරදරයෙන් වෙහෙසෙනුයේ ප්‍රතිවේධ කරයි. ප්‍රතිවේධ කරන ලද ලක්‍ෂණ ඇත්තේ ද විදර්ශනා පරිවාස වෙසෙනුයේ දීර්ඝ කාලයකින් මාර්ගය උපදවයි. මෙසේ ද දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා නම් වෙයි.
තවෙකෙක් ලක්‍ෂණයන් ද ප්‍රතිවේධ කොට විදර්ශනා ඥානය තියුණුව ශුරව ප්‍රසන්නව උසුලද්දී උපන් විදර්ශනාව පිළිබඳ දැඩි ආශාව හාත්පසින් මඩිමින් දුකින් කරදරයෙන් වෙහෙසෙමින් මැඩලයි. තෘෂ්ණාව ද මැඩලා විදර්ශන පරිවාසය වසනුයේ බොහෝ කලෙකින් මාර්ගය උපදවයි. මෙසේද දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා නම් වෙයි. මේ වාරය රුචි කළහ. මේ වාරයට මේ නම කරන ලදී. මේ උපායෙන් ද පර වශයෙන් ප්‍රතිපදා තුනක් දතයුතුයි.