ලොකුත්තරකුසලං පකිණ්ණකකථා
මේ එහි ප්‍රකීර්ණකයයි :-
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච රූපාරූපෙසු පඤ්චසු
සත්තට්ඨංග පරිණාමං නිමිත්තං පටිපදා පතී ති
ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද පංචවිධ රූපයන්හි සප්ත අෂ්ට අංගයන්ගේ පරිණාමය ද වුට්ඨාන නිමිත්ත ද ප්‍රතිපදාවන්ගේ හා අධිපතීන්ගේ චලතාචලනය (හැසිරීම) ද දතයුතුයි.
ලෝකෝත්තර මාර්ගයෙහි ආධ්‍යාත්මය පිහිටා ආධ්‍යාත්මයෙහි නැඟිටී. ආධ්‍යාත්මයෙහි පිහිටා පිටත නැඟිටී. පිටත පිහිටා පිටත නැඟිටී. පිටත පිහිටා ආධ්‍යාත්මයෙහි නැඟිටී. රූපයෙහි පිහිටා රූපයෙන් නැඟිටී. රූපයෙහි පිහිටා අරූපයෙන් නැඟිටී. අරූපයෙහි පිහිටා අරූපයෙන් නැගිටී. අරූපයෙහි පිහිටා රූපයෙන් නැඟිටී. එක්වරම පංචස්කන්‍ධයෙන් නැඟිටී.
සත්තට්ඨාංග පරිණාමං යනු ඒ මේ මාර්ගය වනාහි අෂ්ටාංගික ද වෙයි. සප්තාංගික ද වෙයි. බොජ්ඣංගයෝ ද සතක් හෝ හයක් වෙත්. ධ්‍යානය වනාහි පංචාංගික හෝ චතුරංගික හෝ තිවංගික හෝ (දුවංගික) වේ. මෙසේ සප්ත අෂ්ටාදී අංගයන්ගේ පරිණාමය දතයුතුයි යන අර්ථයි.
නිමිත්තං පටිපදා පති යන තුනෙහි නිමිත්තං යනු යමකින් (නියත) නැගිටීමක් වේද, පටිපදා පති යනු ප්‍රතිපදාවේද අධිපතීහුගේ චලනාචලනය දතයුතුයි.
එහි අජ්ඣත්තං අභිනිවිසිත්‍වා අජ්ඣත්තං වුට්ඨාති යන ආදීන්හි වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් පළමුවෙන්ම ආධ්‍යාත්මික පංචස්කන්‍ධයෙහි පිහිටයි. පිහිටා ඒ පංචස්කන්‍ධයන් අනිත්‍යාදී වශයෙන් බලයි. යම්හෙයකින් වනාහි පිරිසිදු ආධ්‍යාත්ම දර්ශන මාත්‍රයෙන් මාර්ගයෙන් නැඟිටීමක් නොවේ. පිටත ද දැකිය යුතුමය. එහෙයින් අන්‍යයාගේ ස්කන්‍ධයන්හි ද අනුපාදින්න සංස්කාරයන්හි ද අනිත්‍යය දුක්ඛ අනාත්මය යැයි දකී. හෙතෙම කලක ආධ්‍යාත්මය සම්මර්ශනය කරයි. කලෙක පිටත සම්මර්ශනය කරයි. මෙසේ සම්මර්ශනය කරන ඔහු ආධ්‍යාත්මය සම්මර්ශනය කරන කාලයෙහි විදර්ශනාව මාර්ගය සමග හැඟෙයි. මෙසේ ආධ්‍යාත්මයට පිවිස ආධ්‍යාත්මයෙන් නැගිටී නම් වෙයි. යම්හෙයකින් වනාහි ඔහු පිටත සම්මර්ශනය කරන කාලයෙහි විදර්ශනාව මාර්ගය සමග ගැටෙයි. මෙසේ ආධ්‍යාත්මයට පිවිස පිටත නැඟිටී නම් වෙයි. පිටත පිවිස පිටත මෙන්ම ආධ්‍යාත්මයෙහි ද නැගිටීමෙහි ද මේ නයමය.
තවෙකෙක් මුලින් ද රූපයෙහි පිවිසෙයි. (පිහිටයි) පිවිස භූතරූපයන් ද උපාදාය රූපයන් ද පිරිසිඳ අනිත්‍යාදී වශයෙන් දකී. යම්හෙයකින් වනාහි ශුද්ධරූප දර්ශන මාත්‍රයෙන්ම පිහිටීම නොවේ. අරූප ද දැකිය යුතුය. එහෙයින් රූපය අරමුණුකොට උපන් වේදනාව සංඥාව සංස්කාර හා විඥානය ද මේ අරූපය යැයි පිරිසිඳ අනිත්‍යාදී වශයෙන් දකී. හෙතෙම කලකදී රූපය සම්මර්ශනය කරයි. කලකදී අරූපය සම්මර්ශනය කරයි. ඔහු මෙසේ රූප සම්මර්ශනය කරන කාලයෙහි විදර්ශනාව මාර්ගය සමග ගැටෙයි. රූපයෙහි පිහිටා රූපයෙන් නැගිටී යනු මෙසේය. ඉදින් වනාහි අරූප සම්මර්ශනය කරන කාලයෙහි ඔහුගේ විදර්ශනාව මාර්ගය සමග ගැටේ නම් එසේ වීම අරූපයෙහි පිහිටා අරූපයෙන් නැගිටී නම්, අරූපයෙහි පිහිටා අරූපයෙන් නැගිටීම ද රූපයෙහි පිහිටා රූපයෙන් නැගිටීමේදී ද මේ නයමය.
හටගැනීම ස්වභාවකොට ඇති කිසිවක් වේ නම් ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇතැයි මෙසේ පිහිටි මෙපරිද්දෙන්ම නැඟිටිනා කල්හි වනාහි එකපැහැරම පංචස්කන්‍ධයගෙන් නැඟිටී නම් මේ තීක්‍ෂණ විදර්ශක මහා ප්‍රාඥ භික්‍ෂුවගේ විදර්ශනාවයි.
යම්සේ සයින් පෙළෙන ආධ්‍යාත්මයක් ඇති පුරුෂයෙකු ඉදිරිපිට අශූචි පිඩක් තබා නොයෙක් අග්‍ර රස භෝජනයෙන් පිරුණු පාත්‍රයක් ඉදිරිපත් කරන්නහු ද, හෙතෙම අතින් ව්‍යඤ්ජන විසුරුවන්නේ ඒ අශූචි පිඩ දැක මෙය කුමක්දැයි විචාරා අශූචි පිඩකැයි කී කල්හි චී චී මෙය ඉවත් කරව් යැයි බතෙහි ද පාත්‍රයෙහි ද නිරාලය වේ ද, මෙය ද මෙසේ යැයි දතයුතුයි.
මේ භික්‍ෂුව බාල පෘථග්ජන කාලයෙහි පංචස්කන්‍ධයන් මමය මාගේයැයි ගත් කාලය භෝජන පාත්‍රය දැකීමේදී ඔහු ප්‍රීතියට පත් කාලය මෙනි. ත්‍රිලක්‍ෂණ සලකන ලද කාලය අශූචි පිඩ දුටු කාලය මෙනි. තීක්‍ෂණ විදර්ශක මහා ප්‍රාඥ භික්‍ෂුව යංකිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධධම්මං යැයි පඤචස්කන්‍ධයන්ගෙන් එකපැහැර නැඟිටි කාලය බතෙහි ද පාත්‍රයෙහි ද නිරාලය කාලය මෙනැයි දතයුතුයි.
සත්තට්ඨංග පරිණාමං යන මෙහි මේ කියන ලද ප්‍රභේද ඇති අංග පරිණාමය යම්සේ වේද, එසේ දතයුතුයි. සංස්කාරුපේක්‍ෂා ඥානයම වනාහි ආර්ය මාර්ගයාගේ බෝධ්‍යංග මාර්ගාංග හා ධ්‍යානාංග විශේෂ නියම කරයි. ඇතැම් තෙරවරු බෝධ්‍යාංග මාර්ගාංග ධ්‍යානාංග විශේෂ පාදක ධ්‍යානය නියම කෙරේ යැයි කියත්. ඇතැම් කෙනෙක් විදර්ශනාවට අරමුණු වූ ස්කන්‍ධයෝ නියම කෙරෙත්යැයි කියත්. ඇතැම් කෙනෙක් පුද්ගලාධ්‍යාශය නියම කරයි යැයි කියත්. ඔවුන්ගේ වාදයන් අතුරෙන් ද මේ සංස්කාරුපේක්‍ෂා සංඛ්‍යාත පූර්වභාග වත්‍ථානගාමිනී විදර්ශනාවම නියම කෙරේ යැයි දතයුතුයි.
මේ එහි පිළිබඳ කථාවයි. විදර්ශනා නියමයෙන් වනාහි ශුෂ්ක විදර්ශකයාට උපන් මාර්ගයත් සමාපත්තිලාභියාට ධ්‍යානය පාදක නොකොට උපන් මාර්ගයක් ප්‍රථම ධ්‍යානය පාදක කොට ප්‍රකීර්ණක සංස්කාරයන් සම්මර්ශනය කොට උපදවන ලද මාර්ගයත් ප්‍රථමධ්‍යානිකම වෙයි. සප්තබෝධාංග අෂ්ට මාර්ගාංග පංචධ්‍යානාංග සියලෙහි වෙයි. ඔවුන්ගෙන් ද පූර්වභාග විදර්ශනාව වනාහි සොම්නස් සහගතව ද උපේක්‍ෂා සහගතව ද වී වුට්ඨාන කාලයෙහි සංස්කාරූපේක්‍ෂභාවයට පැමිණ සොම්නස් සහගතම වෙයි.
පංචකනයෙහි ද්විතීය ධ්‍යාන තෘතීය ධ්‍යාන චතුර්ථ ධ්‍යනයන් පාදක කොටගෙන උපදවන ලද මාර්ගයන්හි පිළිවෙළින්ම ධ්‍යානය චතුරංගික තිවංගික දුවංගික ද වෙයි. සප්ත මාර්ගාංගයෝ වනාහි සියල්ලෙහි වෙත්. බෝධ්‍යාංග සයක් සතරවැන්නෙහි වෙයි. මේ වෙනස පාදකධ්‍යාන නියමයෙන් ද විදර්ශනා නියමයෙන් ද වෙයි. ඔවුන්ගෙන් ද පූර්වභාග විදර්ශනාව වනාහි සොම්නස් සහගතව ද උපේක්‍ෂා සහගතව ද වෙයි.