දුතියමග්ගො
දැන් ද්විතීය මාර්ගාදීන් දැක්වීම පිණිස නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහිදී කාමරාග ව්යාපාදානං පතනුභාවාය යනු මේ ක්ලේශයන්ගේ තුනීකිරීම පිණිසය. එහි කරුණු දෙකකින් තුනී බව දතයුතුයි. හේතු රහිතව ඉපදීමෙන් හා නැගී සිටීමේ මන්දතාවෙනි. සකෘදාගාමියාට වනාහි සසර සැරිසරන මහජනයාට මෙන් කෙලෙස් නිතර නූපදී. ඉඳහිට උපදී. (උපදින්නේ ද) විරලාකාරව (උපදී) විරලව වපුරන ලද කෙතෙහි අංකුර මෙනි. උපදිනුයේ ද සසර සැරිසරන මහජනයාට මෙන් මර්දනය කෙරෙමින් පැතිරෙමින් වසමින් අන්ධකාර කරමින් නූපදී. මාර්ග දෙකකින් ප්රහීණ වූ හෙයින් මඳ මඳව උපදී. තුනී ආකාරයෙන් (උපදී) වලාපටලයක්මැසි පිහාටුවක් ද මෙනි.
එහිදී ඇතැම් තෙරවරු මෙසේ කියත්. සකෘදාගාමියාට බොහෝ කලකින් කෙලෙස් උපන්නත් බහලවම උපදී. එසේම ඔහුට දූපුත්තු ද පෙනෙත් යනුයි. මෙය වනාහි අප්රමාණය. දූපුත්තු වනාහි අඟපසඟ පිරිමැදීම් මාත්ර ද මෙනි. මාර්ග දෙකින් ප්රහීණ වූ හෙයින් කෙලෙසුන්ගේ බහලතාවක් නැත. හේතු රහිත උත්පත්තිය හා නැගිටීමේ වන්දනාව යන කරුණු දෙකින්ම කෙලෙසුන්ගේ තුනී බව දතයුතුයි.
දුතියාය යනු ගණන වශයෙන් ද දෙවන උත්පත්තිය වශයෙන් ද දුතියාය ය. භූමියා පත්තියා යනු මාර්ගඵල ප්රතිලාභය පිණිසය. තෘතීය චතුර්ථයන්හිද මේ නයමය. විශේෂ මාත්රයක් පමණක් කියමි.
අඤ්ඤින්ද්රියං යනු දන්නා ඉන්ද්රියයි. ප්රථම මාර්ගයෙන් අවබෝධ කරගත් සීමාව නො ඉක්මවා ඔවුන්ගේ ඒ මාර්ගයෙන්ම අවබෝධ කරගත් චතුරාර්ය සත්යය දක්වා ඉන්ද්රිය යැයි කියන ලද්දේ වෙයි. මෙහි නිර්දේශ වාරයෙහි ද මේ නයින්ම අර්ථය දතයුතුයි. කොට්ඨාස වාරයෙහි ද මෙය සමග ඉන්ද්රියයෝ නවදෙනෙක් වෙත්. සෙස්ස පළමු නයින්ම දතයුතුයි.
දෙවන මාර්ගය නිමියේ ය.
තතියචතුත්ථමග්ගා
තුන්වැන්නෙහි අනවස්සෙප්පහාණාය යනු සකෘදාගාමි මාර්ගයෙන් තුනී වූ ඒ සංයෝජනයන්ගේම නිරවශේෂ ප්රහාණය පිණිස,
සතරවැන්නෙහි රූපරාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජාය අනවසෙස පහාණාය යනු මේ පස්වැදෑරුම් උද්ධම්භාගීය සංයෝජනයන්ගේ නිරවශේෂ ප්රහාණය පිණිස, එහි රූපරාගො යනු රූපභවයෙහි ඡන්දරාගයයි. අරූපරාගො යනු අරූප භවයෙහි ඡන්දරාගයයි. මානො යනු අර්හත් මාර්ගයෙන් නැසිය යුතු මානයමය. උද්ධච්චාවිජ්ජා ද එසේය. මේ මාර්ග දෙකෙහි නවවැන්න අඤ්ඤින්ද්රියම වෙයි.
චතුමග්ගනයසහස්සං
සියලු මාර්ගයන්හි පද පිළිවෙළින් වූ සමසැටක් පද අපණ්ණකාංග සතරක් සමග සූසැටක් වෙයි. අසම්භින්න වශයෙන් වනාහි තිස්තුනකි. කොට්ඨාසවාර සුඤ්ඤත වාරයෝ ප්රකෘතියෙන් යුක්තයහ. ධර්මරාජන් වූ බුදුරජාණන් වහන්සේ ප්රථම මාර්ගයෙහි මෙන්ම ද්විතීයාදීන්හි ද මෙසේ නය දහසක්මයැයි සතර මාර්ගයන් නය සාරදහසකින් බෙදා දැක්වූ සේක.
සච්ච විභංගයෙහි වනාහි ලෝකෝත්තර නය සැටදහසක් මොවුන්ගේ වශයෙන්ම බහාලන ලදී. සතිපට්ඨාන විභංගයෙහි ලෝකෝත්තර නය විසිදහසක්, සම්යක්ප්රධාන විභංගයෙහි විස්සක් ඍද්ධිපාද විභංගයෙහි දෙතිසක් - බෝධ්යාංග විභංගයෙහි දෙතිසක් - මාර්ග විභංගයෙහි ලෝකෝත්තර නය විසිඅටදහසක් ද මොවුන්ගේ වශයෙන්ම බහාලන ලදී.
මෙහි මාර්ග සතරෙහි වනාහි නය සාරදහසක්මය. ඔවුනතුරෙන් ප්රථමධ්යානික ප්රථම මාර්ගයෙහි අෂ්ටාංග බෙදන ලදී. ද්විතීයාදීන්හි ද එසේමය. එහි ප්රථම මාර්ගයෙහි සම්යක් දෘෂ්ටිය දුරු කෙරේ යනු = සම්මා දිට්ඨි යයි. සම්යක් සංකල්ප ආදිය ද මිථ්යා සංකල්පාදීන් දුරුකිරීම් අර්ථයෙන්ම දතයුතුයි. මෙසේ ඇති කල්හි ප්රථම මාර්ගයෙන්ම දෙසැටක් දෘෂ්ටි සහගතයන් ප්රහීණ හෙයින් මතු මාර්ග තුනෙන් ප්රහීණ කළයුතු දෘෂ්ටි නම් නැත. එහි සම්මා දිට්ඨි යන නාමය කෙසේ වේ ද යත්, යම්සේ විසක් ඇතත් නැතත් බෙහෙත බෙහෙතම යැයි කියනු ලැබේ. මෙසේ මිථ්යා දෘෂ්ටිය ඇතත් නැතත් මෙය සම්යක් දෘෂ්ටියම නමි.