ආරම්මණපටිපදාමිස්සකං
දැන් ආරම්මණා ප්‍රතිපදා මිශ්‍රක සෝළසවාර නය දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි පළමු නයෙහි කියන ලද ධ්‍යානය දුක්ඛාපටිපදා හෙයින් ද දන්‍ධාභිඥා හෙයින් ද පරිත්ත හෙයින් ද පරිත්තාරම්මණ හෙයින්දැයි කරුණු සතරකින් හීනය, සොළොස්වන නයෙහි කියන ලද ධ්‍යානය සුඛාපටිපදා හෙයින් ද ඛිප්පාභිඤ්ඤා හෙයින් ද අප්‍රමාණ හෙයින් ද අප්‍රමාණ ආරම්මණ හෙයින්දැයි කරුණු සතරකින් ප්‍රණීතය. සෙසු දහහතරෙහි කරුණු එකෙන් දෙකක් තුනෙන් හා සතරෙන් හීනප්‍රණීත බව දතයුතුයි.
කවරහෙයින් වනාහි මේ නය දේශනා කරන ලදීද? යත්, ධ්‍යානෝත්පත්ති කාරණයෙනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනාහි පඨවි කසිණයෙහි ශුද්ධිකධ්‍යානය චතුෂ්කනය වශයෙන් ද (පංචකනය වශයෙන් ද) දක්වන ලදී. එසේම ශුද්ධික ප්‍රතිපදාවත් ශුද්ධිකාරම්මණයත් දක්වන ලදී. එහි යම් දේවතා කෙනෙක් චතුෂ්කනය වශයෙන් දේශනා කරනු ලබන පඨවි කසිණයෙහි ශුද්ධිකධ්‍යානය අවබෝධ කරගන්නට හැකිවෙත්ද, ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් ශුද්ධිකධ්‍යානයෙහි චතුෂ්කනය දේශනා කරන ලදී. යම් දේවතා කෙනෙක් පංචකනය වශයෙන් දෙසීම අවබෝධ කරගන්නට හැකිවෙත්ද ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් පංචකනය දේශනා කරන ලදී. යම් දේවතා කෙනෙක් ශුද්ධික ප්‍රතිපදාවෙහි -පෙ- ශුද්ධිකාරම්මණයෙහි චතුෂ්කනය වශයෙන් දෙසීම අවබෝධ කරගන්නට හැකි වෙත්ද ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් (ශුද්ධික ප්‍රතිපදාවෙහි) ශුද්ධිකාරම්මණයෙහි චතුෂ්කනය දේශනා කරන ලදී. යම් දේවතා කෙනෙක් පංචකනය වශයෙන් දෙසීම අවබෝධ කරගන්න හැකිවෙත්ද, ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් පංචකනය දැයි මෙසේ යට පුද්ගලාධ්‍යාශය වශයෙන් දේශනා කරන ලදී.
දේශනා විලාසප්‍රාප්ත ප්‍රතිසම්භිදා ප්‍රභේදගත දශබල චතුර් වෛශාරද්‍යායෙහි පිරිසිදු ඥාන ඇති සර්වඥයන් වහන්සේ ධර්මයන් යථාවසරස ලක්‍ෂණ මනාව අවබෝධ කරගත් හෙයින් ද ධර්මප්‍රඥප්ති කුශලතාවෙන් ද යම් යම් නය ලැබේ නම් ඒ ඒ නය වශයෙන් දේශනා නියම කරන්නට හැකිවන සේක. එහෙයින් උන්වහන්සේ විසින් මේ දේශනා විලාස ප්‍රාප්තියේ දී ද පඨවි කසිණයෙහි ශුද්ධික චතුෂ්කනයාදී වශයෙන් දේශනා කරන ලදී.
යම්හෙයකින් වනාහි යම්කිසි කෙනෙක් ධ්‍යානය උපදවත් නම්, ඔව්හු ආරම්මණ ප්‍රතිපදාවෙන් තොරව උපදවන්නට නො හැකි වෙත්. එහෙයින් නියම වශයෙන් ධ්‍යානෝත්පත්ති කාරණ හෙයින් මේ මේ සෝළස වාර නය දේශනා කරන ලදී.
මෙපමණකින් ශුද්ධික නවකය ප්‍රතිපදා නවක සතර ආරම්මණ නවක සතර සහ මේ සොළොස් නවකදැයි පස්විසි නවක කියන ලද්දේ වෙයි. එහි එක් එක් නවකයෙහි චතුෂ්ක පංචක වශයෙන් නය දෙක දෙක දැයි නය පනසෙකි. එහි පස්විසි වතුෂ්ක නයෙහි සියයෙකි. පහත් ධ්‍යාන සිත් වෙයි. පංචක නයෙහි වනාහි චතුෂ්ක නයක් ඇතුළත් හෙයින් අර්ථ වශයෙන් සිත් එකසිය විසිපසම වෙයි. පෙළෙහි යම් ඒ දෙසිය විසිපනස් සිත් වේද, නිර්දේශයෙහි ඔවුනතුරෙන් එක එකට ධර්ම ව්‍යවස්ථානාදී මහාචාර තුන තුන බැගින් වෙයි. ඒවා වනාහි ඒ ඒ තැන්හි නය මාත්‍රයෙන් දක්වා සංක්‍ෂේප කරන ලදී.
පඨවි කසිණය නිමියේ ය.
දැන් යම්හෙයකින් ආපෝ කසිණාදියෙහි ද මේ ධ්‍යානයෝ උපදිත් ද, එහෙයින් ඔවුන් දැක්වීම පිණිස නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි සියලු පාළි නය ද අර්ථ විස්තර ද සිත් ගණනය ද වාර සංක්‍ෂේපය ද පඨවි කසිණයෙහි කියන ලද නයින්ම දතයුතුයි. කසිණ පරිකර්මය ආදිකොට ඇති සියලු භාවනා නය වනාහි විශුද්ධි මාර්ගයෙහි ප්‍රකාශ කරන ලද්දේමය. දස කසිණයෝ වනාහි මහා සකුලුදායි සූත්‍රයෙහි කියන ලදහ. ඔවුනතුරෙහි විඤ්ඤාණ කසිණය ආකාශයෙහි පවත්වන ලද මහග්ගත විඤ්ඤාණය ද එහි කසිණ පිරියම් කොට උපදවන ලද විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ද වේයැයි සර්වප්‍රකාරයෙන්ම ආරුප්ප දේශනයම භජනය කරයි. එහෙයින් මෙතැනදී නො කියන ලදී.
ආකාස කසිණය යනු වනාහි කසිණුග්ඝාටික ආකාශය ද එය අරමුණු කොට පැවති ස්කන්‍ධ ද බිත්ති සිදුරු ආදී යම්කිසි තැනක ගතයුතු නිමිත්තේ පරිච්ඡේද ආකාසය ද එය අරමුණු කොට උපන් සතරවන පස්වන ධ්‍යාන ද කියනු ලැබේ. එහි පළමුනය ආරුප්ප දේසනය භජනය කරයි. අවසන් නය රූපාවචර දේසනය භජනය කරයි. මෙසේ මිශ්‍ර හෙයින් මෙය රූපාවචර දේශනයට ආරූඪ නො කරන ලදී. පරිච්ඡේදාකාසයෙහි උපන් ධ්‍යානය වනාහි අරූපෝත්පත්තියට මාර්ගය වෙයි. එහෙයින් එය ගතයුතුයි. එහි වනාහි චතුෂ්ක පංචකධ්‍යානම උපදී. අරූප ධ්‍යානය නූපදී. කවර හෙයින්? කසිණුක්‍ෂුටනයට නො ලැබෙන හෙයිනි. එය වනාහි නැවත නැවත උසාටනය කරනු ලැබුවත් ආකාසය වේ යනුයි. එහි කසිණුග්ඝාටනය නො ලබයි. එහෙයින් එහි උපන් ධ්‍යානය මෙලොව සැප විහරණය සඳහා පවතී. අභිඥාපාදක නොවේ. විදර්ශනා පාදක වේ. නිරෝධ පාදක නොවේ. මෙහි අනුපූර්ව නිරෝධය වනාහි පංචමධ්‍යානය තෙක් ලැබේ. වට්ටපාදක වේමය. මෙය යම්සේ ද පළමු කසිණයන්හි උපන් ධ්‍යානය ද එසේමය. මෙහි නිරෝධ පාදක භාවය වනාහි වෙනසයි. මෙහි සෙස්ස ද ආකාස කසිණයෙහි කිවයුතු යමක් වේ නම් ඒ සියල්ල ද විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය.