පඤ්චකනයො
දැන් කතමෙ ධම්මා කුසලා යැයි පංචක නය පටන්ගන්නා ලදී. කෙසේද යතහොත්? පුද්ගලාධ්‍යාසය වශයෙන් හා දේශන විලාසයෙන් රැස්ව සිටි දෙව් පිරිසෙහි වනාහි ඇතැම් දෙවියන්ට විතර්කයම ඕළාරිකව වැටහිණ. විචාර පීති සුඛ ඒකග්ගතා ශාන්තව වැටහිණ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් චතුරංගික වූ විතර්ක රහිත අවිචාර මාත්‍ර ද්විතීය ධ්‍යානය බෙදා දැක්වූ සේක. ඇතැම් අයෙකුට විචාරය ඕළාරික වශයෙන් වැටහිණ. ප්‍රීති සුඛ චිත්තෙකාග්‍රතා ශාන්තව වැටහිණ. ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් ත්‍රයංගික තෘතීය ධ්‍යානය බෙදා දැක්වූ සේක. ඇතැම් දෙවි කෙනෙකුන්ට ප්‍රීතිය ඕළාරික වශයෙන් වැටහිණ. සුඛ චිත්තෙකාග්‍රතා ශාන්තව වැටහිණ. ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් ද්වංගික චතුර්ථ ධ්‍යානය බෙදා දැක්වූ සේක. ඇතැම් දෙවි කෙනෙකුන්ට සුඛය ඕළාරිකව වැටහිණ. උපේක්‍ෂා හා චිත්තෙකාග්‍රතා ශාන්ත වශයෙන් වැටහිණ. ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් ද්වංගික පංචමධ්‍යාන බෙදා දැක්වූ සේක. මේ වනාහි පුද්ගලාධ්‍යාසයයි.
යම් ධර්මධාතුවක් මනාව ප්‍රතිවේධ කළ හෙයින් වනාහි දේශනා විලාසප්‍රාප්ත නම් වෙයි. තථාගතයන් වහන්සේ විසින් එය මනාව අවබෝධ කරන ලදී. එහෙයින් ඥාන මහන්තත්‍වය නිසා දේශනා විධානයෙහි දක්ෂ වූ දේශනා විලාසප්‍රාප්ත වූ ශාස්තෲන් වහන්සේ යම් යම් අංගයක් ලබයි ද, ඒ ඒ වශයෙන් යම් යම් අයුරකින් කැමති වේද, ඒ ඒ අයුරින් දේශනාව නියම කරන සේක යනුයි. උන්වහන්සේ මෙහිදී පංචාංගික වූ ප්‍රථම ධ්‍යානය බෙදා දැක්වූහ. චතුරංගික වූ අවිතර්ක විචාරමාත්‍ර වූ ද්විතීය ධ්‍යානය බෙදා දැක්වූහ. ත්‍රයංගික තෘතීය ධ්‍යානය බෙදා දැක්වූ සේක. ද්වංගික චතුර්ථ ධ්‍යනය ද ද්වංගිකම වූ පංචමධ්‍යානය ද බෙදා දැක්වූ සේක. මේ දේශනා විලාස නමි.
තවද භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, සවිතර්ක සවිචාර සමාධිය අවිතර්ක විචාරමාත්‍ර සමාධිය අවිතර්ක අවිචාර සමාධිය’ යැයි සූත්‍රාන්තයෙහි යම් සමාධි තුනක් දේශනා කරන ලදද, ඔවුනතුරෙන් යට සවිතක්ක සවිචාර සමාධිය ද අවිතර්ක අවිචාර සමාධිය ද බෙදා දක්වන ලදී. අවිතර්ක විචාරමාත්‍ර සමාධිය නො දක්වන ලදී. එය දක්වන්නට ද මේ පංචක නය පටන්ගන්නා ලදැයි දතයුතුයි.
එහි ද්විතීය ධ්‍යාන නිර්දේශයෙහි ස්පර්ශාදියෙහි විතර්කමාත්‍රය පිරිහෙයි. කොට්ඨාශවාරයෙහි චතුරංගික ධ්‍යානය වෙයි. චතුරංගික මාර්ගය වෙයි යන මෙයම විශේෂයයි. සෙසු සියල්ල ප්‍රථමධ්‍යනය සමානමය. චතුෂ්ක නයෙහි යම් ද්විතීය තෘතීය චතුෂ්කයෝ වූ නම් ඔව්හුම මෙහි තෘතීය චතුෂ්ක පංචමයෝය. ඔවුන්ගේ අධිගම පිළිවෙළ දැක්වීම පිණිස මේ නය දතයුතුයි.
එක් ඇමති පුත්‍රයෙක් වනාහි රජුට උපස්ථාන කරන්නට ජනපදයෙන් නගරයට පැමිණියේය. හෙතෙම එකම දවසක් රජු දැක පානව්‍යසනයෙන් (සුරාපීමෙන් සියලු සම්පත් සමූහය විනාශ කෙළේය. එක්දිනෙක සුරාමදයෙන් මත් වූ ඔහු නිරුවත් කොට දිරූ කලාලයකින් වසා පානාගාරයෙන් බැහැර කළහ. ශරීර ලක්‍ෂණ බලා ශුභාශුභ කියන්නෙක් කසළ ගොඩෙහි වැදහෙව නිදන ඔහු දැක මේ පුරුෂයා මහජනයාට උපකාර කරන්නෙක් වන්නේය. මෙතෙම පිළිදැගුම් කළයුත්තේ යැයි නිශ්චය කොටගෙන මැටියෙන් (මැටිගා) නහවා ස්ථූල සළු යුවලක් අඳවා නැවත සුවඳ දියෙන් නහවා සියුම් දුහුල් යුවලක් අඳවා පහයට නංවා මනා බොජුන් අනුභව කරවා මෙපරිද්දෙන් ඔහු පිරිවරව් යැයි පිරිවර ජනයාට පවරා ගියේය. ඉක්බිති ඔවුහු සයනයකට නැංවූහ. පානාගාරයට යෑම වැළැක්වීම සඳහා සතරදෙනෙක් අත්පා සතරින් ඔහු දැඩිව ගෙන සිටියාහුය. එක් පුරුෂයෙක් හා පිරිමැද්දේය. එක් පුරුෂයෙක් තල්වැටක් ගෙන පවන් සැලීය. එක් පුරුෂයෙක් වීණාවක් වයමින් ගයමින් හුන්නේය.