විමොක්ඛකථා
දැන් යම්හෙයකින් මේ රූපාවචර කුශලය නම් හුදෙක් ආරම්මණ සංඛ්යාත ආයතනයන් අභිභවනය කරන හෙයින්ම අභිභායතන වශයෙන් උපදනේ නොවේ. තවද විමෝක්ෂ වශයෙන් ද උපදී. එහෙයින් ඒ නය ද දැක්වීමට යළිත් කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී.
කිනම් අර්ථයකින් විමෝක්ෂය දතයුතු ද? අධිමුඤ්චනාර්ථයෙනි. මේ අධිමුඤ්චනාර්ථය නම් කවරේ ද? විරුද්ධ ධර්මයන්ගෙන් මනාව නිදහස් වීම යන අර්ථයයි. අරමුණෙහි ද අභිරති වශයෙන් මනාව පිහිටීම යන අර්ථයි. පියාගේ ඇකයෙහි විසුරුවන ලද අඟපසඟ ඇති දරුවාගේ සයනය මෙන් නිග්රහ නොකරන ලද බැවින් ද සැක නැති බැවින් ද යුතුව අරමුණෙහි පවතී යැයි කියන ලද්දේ වෙයි. විමෝක්ෂභාවප්රාප්ත රූපාවචර කුශලය වනාහි මෙවැනි ලක්ෂණ ඇත්තේ යැයි දක්වන්නට මේ නය පටන්ගන්නා ලදී.
එහි රූපී යනු ආධ්යාත්මික තේශාදියෙහි උපදවන ලද රූප ධ්යානය රූපයයි. එය මොහුට ඇත යනු = රූපී ය. ආධ්යාත්මය පිළිබඳ නීල පරිකර්මය කරනුයේ වනාහි කේශයෙහි හෝ පිතෙහි හෝ ඇසේ ඉංගිරියාවේ හෝ කරයි, පීත පරිකර්මය කරනුයේ මේදයෙහි හෝ සිවියෙහි හෝ ඇස්වල කහ පැහැති තැන්වල හෝ කරයි. ලෝහිත පරිකර්මය කරනුයේ මසෙහි හෝ ලෙයෙහි හෝ දිවෙහි හෝ අතුල්පතුල්වල හෝ ඇස්වල රතු පැහැති තැන්වල හෝ කරයි. ඕදාත පරිකර්මය කරනුයේ ඇටවල හෝ දත්වල හෝ නියවල හෝ ඇස්වල සුදු තැන්හි හෝ කරයි. මෙසේ කර්ම කොට උපන් ධ්යානයෙන් යුක්ත අය සඳහා මෙය කියන ලදී. රූපානි පස්සති යනු පිටත ද නීලකසිණාදී රූප ධ්යාන ඇසින් බලයි. මෙයින් ආධ්යාත්මික බාහිර වස්තූන් පිළිබඳ කසිණයන්හි ධ්යාන ප්රතිලාභය දක්වන ලදී.
අජ්ඣත්තං අරූපසඤ්ඤී යනු ආධ්යාත්මයෙහි රූපසංඥා නැත්තේය. තමාගේ කේශාදියෙහි නූපදවන ලද රූපාවචර ධ්යාන ඇත්තේ යන අර්ථයි. මෙයින් බාහිර පරිකර්ම කොට බාහිරම ලබන ලද ධ්යාන ඇති බව දක්වන ලදී.
සුභං යන මෙයින් ඉතා පිරිසිදු වූ නීලාදී වර්ණ කසිණයන්හි ධ්යාන දක්වන ලදී. එහි කිසිසේත් අර්පණාව ඇතුළත සුභයැයි සිතාබැලීමක් නැත. යමෙක් වනාහි ඉතා පිරිසිදු ශුභ කසිණය අරමුණු කොට වාසය කෙරේ ද, හෙතෙම යම්හෙයකින් ශුභ යැයි -පෙ- ප්රථම ධ්යානයට පැමිණ වාසය කෙරේද එසේම ද්විතීය ධ්යානාදියට පැමිණ වාසය කෙරේද, එහෙයින් මෙසේ දේශනා කරන ලදී. පටිසම්භිදා මග්ගයෙහි වනාහි ‘සුභය යනුම අධිමුත්ත නම් වේනම් විමොක්ඛ යනු කෙසේ ද? මේ ශාසනයෙහි භික්ෂු තෙම මෛත්රී සහගත සිතින් එක් දිසාවක් -පෙ- වාසය කෙරේ ද, මෛත්රිය භාවනා කළ හෙයින් සත්ත්වයෝ අප්පටිකූල වෙත්, කරුණා මුදිතා - උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් -පෙ- වාසය කරයි. උපේක්ෂාව භාවනා කළ හෙයින් සත්ත්වයෝ අප්පටිකූල වෙත්. මෙසේ සුභ යනුම අධිමුත්ත වෙයි. විමොක්ඛ’ වෙයි කියන ලදී. මෙහි මත්තෙහි වනාහි පාළියෙහිම බ්රහ්මවිහාරයන් ආ හෙයින් ඒ නය ප්රතික්ෂේප කොට සුනීලක සුපීතක සුලෝහිතක සූංදාතක පාරිශුද්ධනීලක පාරිශුද්ධපීතක පාරිශුද්ධ ලෝහිතක පාරිශුද්ධංදාතක වශයෙන්ම ශුභ විමෝක්ෂය අනුදන්නා ලදී. මෙසේ කසිණය යනු හෝ අභිභායතන යනු හෝ විමෝක්ෂ යනු හෝ රූපාවචර ධ්යානයමය. එය වනාහි අරමුණෙහි සාකල්යාර්ථයෙන් කසිණ නමි. අරමුණු අභිභවනය කරන අර්ථයෙන් අභිභායතන නමි. අරමුණ දැඩිව ගන්නා අර්ථයෙන් ද ප්රතිවිරුද්ධ ධර්මයන්ගෙන් මිදෙන අර්ථයෙන් ද විමෝක්ෂ (නම්) යැයි ද කියන ලදී. එහි කසිණ දේසනාව අභිධර්ම වශයෙනි. වෙනත් දේසනා සූත්රාන්ත වශයෙන් කියන ලදැයි දතයුතුයි. මෙය මෙහි අපූර්ව පද වර්ණනාවයි. එක් එක් විමෝක්ෂයෙහි වනාහි පඨවි කසිණයෙහි මෙන් පස්විස්ස පස්විස්ස වශයෙන් කොට සැත්තෑපහක් නවකයෝ දතයුත්තාහ යනුයි.
විමෝක්ෂ කථා නිමියේ ය.
බ්රහ්මවිහාරකථා
දැන් මෙත්තාදී බ්රහ්මවිහාර වශයෙන් පවත්නා රූපාවචර කුසලය දක්වන්නට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි මෙත්තා සහගතා යනු මෛත්රියෙන් යුක්ත, පරව එන කරුණා-කරුණා සහගතාදියෙහි ද මේ නයමය. මෙතෙම වනාහි යම් විධානයකින් අනුව පිළිපන්නේ මෛත්රිය සහගත ආදී ධ්යානයන්ට පැමිණ වාසය කරයි ද, මෛත්රී ආදීන් පිළිබඳ ඒ සියලු භාවනා විධාන විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය. අවශේෂ පාළියෙහි අර්ථය පඨවි කසිණයෙහි කියන ලද නයින්ම දතයුතුයි.