චතුක්කනයො පඨමජ්ඣානං
දැන් රූපාවචර කුශලය දැන්වීමට කතමෙ ධම්මා කුශලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි රූපූපපත්තියා මග්ගං භාවෙති යන මෙහි රූපභාවය රූපය යැයි කියනු ලැබේ. උප්පත්ති යනු ඉපදීමයි. හටගැනීමයි. විශේෂයෙන් හටගැනීමයි. මග්ගො යනු උපායයි. මෙහි වචනාර්ථය වනාහි ඒ උත්පත්තිය සොයයි. ගවේෂණය කරයි. උපදවයි. නිෂ්පාදනය කරයිනුයි මග්ගය, මෙය කියන ලද්දේ වෙයි. යම් මාර්ගයකින් රූප භවයෙහි උත්පත්තියත් නිබ්බත්තියත් හටගැනීමත් විශේෂයෙන් හටගැනීමත් වේද ඒ මාර්ගය වඩයි යනුයි. කිම මේ නියමයෙන් වනාහි රූප භවයෙහි උත්පත්තිය වේද? නොවෙයි. ‘මහණෙනි, සමාධිය වඩව්. සමාධියට පත්වූයේ තත්වාකාරය දැනගනී දකි’ යැයි මෙසේ කියන ලද නිර්වේදභාගිය මාර්ගයෙන් වනාහි රූපභවය ඉක්මවීමක් ද වේ. රූප භවයෙහි ඉපදීම පිණිස වනාහි මෙයින් අන්‍ය වූ මාර්ගයක් නම් නැත. එහෙයින් කියන ලදී. ‘රූප භවයෙහි ඉපදීම පිණිස මාර්ගය වඩයි’ යන අර්ථයෙන් මාර්ගය නම් චේතනාව ද වෙයි. වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝත් යන ඒ දෙකක්මත් වෙයි. ‘සාරිපුත්‍රය, මම නිරයත් නිරයගාමී මාර්ගයත් දනිමි’ යන මෙහි වනාහි මාර්ගය නම් චේතනාවයි.
සද්ධා හිරියං කුසලං ච දානං
ධම්මා එතෙ සප්පුරිසානුයාතා
එතං හි මග්ගං දිවියං වදන්ති
එතෙන හි ගච්ඡති දෙවලොකන්ති
‘ශ්‍රද්ධාව හිරිය කුසලය සහ දානය ද යන මේ ධර්මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කරන ලදහ. මේ මාර්ගය වනාහි දිව්‍යායැයි කියත්. මෙයින් වනාහි දෙව්ලොවට යන්නේ ය.’ යනුයි.
මෙහි චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෙන් මාර්ග නමි. ‘මහණෙනි, මේ මාර්ගයයි. මේ ප්‍රතිපදාවයි’ යන සංස්කාරෝත්පත්ති සූත්‍රාදියෙහි චේතනා ද චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද මාර්ග නමි. මේ ස්ථානයෙහි වනාහි නිධානය යන වචනයෙන් චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝ අභිප්‍රේතයහ. යම්හෙයකින් වනාහි ධ්‍යාන චේතනාව ප්‍රතිසන්ධිය ඇදගනීද, එහෙයින් චේතනාවත් චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝත් සුදුසු වෙත්මය.
භාවෙති යනු ජනනය කරයි. උපදවයි. වඩයි. මෙහි මෙය වනාහි භාවනාවෙහි අර්ථයි. අන් තැන්හි වනාහි උපසර්ග වශයෙන් සම්භාවනා පරිභාවනා විභාවනා යැයි (ද වේ) මෙසේ වෙනත් අයුරින් ද අර්ථය වෙයි. එහි ‘උදායි, මේ ශාසනයෙහි මාගේ ශ්‍රාවකයෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිල්වත්ය. පරම වූ ශීලස්කන්‍ධයෙන් යුක්තයහ. අධිශීලයන් වර්ණනා කරත් ද’, යන මේ සම්භාවනා නමි. විශ්වාස කිරීම යන අර්ථයි. ‘ශීලය වඩනා ලද්දේ සමාධිය මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. සමාධිය වඩනා ලද්දේ ප්‍රඥාව මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. ප්‍රඥාව වඩනා ලද සිත මනාකොට ආශ්‍රවයන්ගෙන් මිදෙයි’ යන මේ පරිභාවනා නම් වාසනා යන අර්ථයි. ‘එසේනම් රූපය අතුරුදන් කරන්න වේදනාව සංඥාව සංස්කාර විඥානය අතුරුදන් කරන්න’ යනු මේ විභාවනා නමි. අතුරුදන් කිරීම යන අර්ථයි. ‘උදායි, නැවත අනිකක් කියමි. මා විසින් ශ්‍රාවකයන් ප්‍රතිපදාව කියන ලදී. ඒ අනුව පිළිපන් මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන් වඩත්’ යන මෙය වනාහි උත්පාදන වර්ධන අර්ථයෙන් භාවනා නමි. මේ ස්ථානයේ ද මෙයම අදහස් කරන ලදී. එහෙයින් මෙය කියන ලදී. ‘භාවෙති යනු ජනනය කරයි. උපදවයි. වඩයි’ යනුයි.
මෙහිදී වනාහි කවරහෙයකින් කාමාවචර කුශල නිර්දේශයෙහි ධර්ම පූර්වාංගමව දේශනාව කළ පරිදි නොකොට පුද්ගල පූර්වාංගමව කරන ලද ද ? යනුයි. ප්‍රතිපදාවෙන් සිද්ධ කළයුතු බැවිනි. මෙය වනාහි චතුර්විධ ප්‍රතිපදා අතුරෙන් එක්තරා ප්‍රතිපදාවකින් සිද්ධ කළයුතුයි. කාමාවචර කුශලය මෙන් ප්‍රතිපදාවෙන් තොරව නූපදී. මේ ප්‍රතිපදාව නම් පිළිවදනවුන් ඇති කල්හි වේය යන මේ කාරණය දැක්වීමට පුද්ගල පූර්වාංගම දේශනාව කරන සේක් රූපූපපත්තියා මග්ගං භාවෙති යැයි වදාළහ.
විවිච්චෙව කාමෙහි යනු කාමයන්ගෙන් තොරව වෙන්ව පහව, මෙහි වනාහි යම් ඒවකාරයක් වේද එය නියමාර්ථය යැයි දතයුතුයි. යම්හෙයකින් නියමාර්ථය වේද එහෙයින් එසමයෙහි ප්‍රථම ධ්‍යානය පැමිණ වාසය කරන කල්හි අවිද්‍යාමාන වූ කාමයන් ඒ ප්‍රථම ධ්‍යානයට ප්‍රතිපක්‍ෂභාවයක් කාම පරිත්‍යාගයෙන් ඔහුගේ අධිගමයත් දක්වයි. කෙසේද? විවිච්චෙව කාමෙහි යැයි මෙසේ නියමය කරවන කල්හි වනාහි මෙය පැනේ. මේ ධ්‍යානයට කාමයෝ ප්‍රතිපක්‍ෂ නොවූවෝ ද? යම් ධර්මයන් ඇති කල්හි මෙය නොපවතීද? අන්‍ධකාරය ඇති කල්හි ප්‍රදීපාලෝකය මෙනි. ඔවුන්ගේ පරිත්‍යාගයෙන්ම එහි අධිගමය වෙයි. මෙතෙර පරිත්‍යාගයෙන් පරතෙරට මෙනි. එහෙයින් නියමය කෙරේ යනුයි.