දුතියජ්ඣානං
දුතිය ධ්‍යාන නිර්දේශයෙහි විතක්ක විචාරානං වූපසමා යනු විතර්ක විචාර යන මේ දෙදෙනාගේ සංසිඳීමෙන් දුරලීමෙන් ද්විතීය ධ්‍යාන ක්‍ෂණයෙහි නො පහළවන හෙයින් යැයි කියන ලද්දේ වෙයි. එහි ද්විතීය ධ්‍යානයෙහි කිසිසේත් සියලුම ප්‍රථම ධ්‍යාන ධර්මයෝ නැත්තාහ. ප්‍රථමධ්‍යානයෙහි ස්පර්ශාදීහු අන්‍යයෝමය. මෙහි අන්‍යයෝ ය. ඔළාරික වූ අංගයාගේ දුරලීමෙන් ප්‍රථමධ්‍යානයෙන් අන්‍ය වූ ද්විතීය ධ්‍යනාදීන්ගේ අධිගමය වේයැයි දැක්වීම පිණිස විතක්ක විචාරානං වූපසමා යැයි මෙසේ කියන ලදැයි දතයුතුයි. අජ්ඣත්තං යැයි මෙහි ස්වකීය ආධ්‍යාත්මය අභිප්‍රේතයි. විභංගයෙහි වනාහි ‘අජ්ඣත්ත පච්චත්තං’ යන මෙපමණක්ම කියන ලදී. යම්හෙයකින් ස්වකීය ආධ්‍යාත්මය අභිප්‍රේත ද එහෙයින් තමා කෙරෙහි හටගත් තමාගේ සන්තානයෙහි උපන් යන මෙය මෙහි අර්ථයි.
සම්පසාදනං යනු සම්පසාදන නම් ශ්‍රද්ධාව යැයි කියනු ලැබේ. සම්පසාදන යනු යෙදීමෙන් ධ්‍යානය ද සම්පසාදනය, නීල වර්ණය යෙදීමෙන් නීල වස්ත්‍රය මෙනි. යම්හෙයකින් හෝ ඒ ධ්‍යානය සම්ප්‍රසාදනයෙන් යුක්ත හෙයින් ද විතර්ක විචාර කැළඹීමෙන් හා සංසිඳවීමෙන් ද සිත පහදවයි ද එහෙයින් ද සම්පසාදන යැයි කියන ලදී. මෙහි ද අර්ථ යෙදීමේ දී සම්පසාදනං චෙතසො යැයි මෙසේ පද සම්බන්ධය දතයුතුයි. පළමු අර්ථ යෙදීමේදී චෙතසො යන මෙය එකොදිහාවෙන යන්න සමග යෙදිය යුතුයි.
මේ එහි අර්ථ යෝජනාවයි. ශ්‍රේෂ්ඨව උදාවෙයි යනු = එකොදි ය, විතර්ක විචාරයන් ආරූඪ නොවූ හෙයින් අග්‍රව ශ්‍රේෂ්ඨව උදාවෙයි යන අර්ථයි. ලෝකයෙහි ශ්‍රේෂ්ඨයා ද ඒක යැයි කියනු ලැබේ. විතර්ක විචාර විරහිතව හෝ හුදකලාව අසහායව යැයි කියන්නට වටී. නොහොත් සම්ප්‍රයුක්ත ධර්මයන් උදා කෙරේනුයි = උදිය, නැගිටුවයි යන අර්ථයි. ශ්‍රේෂ්ඨාර්ථයෙන් ඒක වූයේ ද උදි වූයේ ද හෙතෙමේනුයි එකොදිය මේ සමාධියට නමකි. මෙසේ මෙය එකෝදිස භාවනා කරය. වඩයි යැයි මේ ද්වතීය ධ්‍යානය එකොධිභාවය ඒ මේ එකෝදිය යම්හෙයකින් සිත පිළිබඳ ද සත්ත්වයෙකුට නොවේ ද, ජීවයකට නොවේ ද, එහෙයින් එහෙයින් මෙය චෙතසො එකොදිභාවං යැයි කියන ලදී.
මේ ශ්‍රද්ධාව ප්‍රථම ධ්‍යානයෙහි ද ඇත්තේ නොවේ ද, මෙයද එකොදිභාවනාමක සමාධියකි. එසේනම් කවර හෙයින් මෙයම සම්පසාදනං චෙතසො එකොදිභාං ච යැයි (කියන ලදද) කියනු ලැබේද? මේ ප්‍රථම ධ්‍යානය වනාහි විතර්ක විචාරයන්ගෙන් කැළඹීමෙන් රළ පතරින් ගැවසුණු ජලයක් මෙන් සුප්‍රසන්න නොවේ. එහෙයින් ශ්‍රද්ධාව ඇති කලද සම්පසාදන යැයි නොකියන ලදී. සුප්‍රසන්න නොවන හෙයිනි. මෙසේ මෙහි සමාධිය ද මනාව ප්‍රකට නොවේ. එහෙයින් එකොදිභාවං යනු ද නො කියන ලදී. මේ ධ්‍යානයෙහි වනාහි විතර්ක විචාර පළිබෝධයන්ගේ අභාවයෙන් ලබන ලද අවකාශ ඇති බලවත් ශ්‍රද්ධාවගේ සහාය ලැබීමෙන්ම සමාධිය ද ප්‍රකටය. එහෙයින් මෙයම කියන ලදැයි දතයුතුයි. විභංගයෙහි වනාහි ‘සම්පසාදනන්ති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො, චෙතසො එකොදිභාවන්ති යා චිත්තස්ස ඨිති -පෙ- සම්මා සමාධිය’ යන මෙපමණක්ම කියන ලදී. මෙසේ කියන ලද මෙයත් සමග වනාහි මේ අර්ථ වණනාව යම් සේ විරුද්ධ නොවේ ද, අන් අයුරකින් සංසන්දනය කරත් නමුදු සමවන්නේ යැයි මෙසේ දතයුතුයි.
අවිතක්කං අවිචාරං යනු භාවනාවෙන් ප්‍රහීණ වූ හෙයින් මෙහි හෝ මෙයට විතර්කය නැත යනු අවිතක්කය මේ නයින්ම ම අවිචාරය විභංගයෙහි ද (මෙසේ) කියන ලදී. මෙසේ මේ විතර්කයත් මේ විහාරයත් ශාන්තවෙත්ද සමනය වෙත් ද සංසිඳුණෝ වෙත් ද අස්තයට ගියෝ වෙත්ද විශේෂයෙන් අස්තයට ගියාහුද සමාධිගත වූවාහුද විශේෂයෙන් සමාධිගත වූවාහු ද වියළන ලද්දාහුද විශේෂයෙන් වියළන ලද්දාහුද විශේෂයෙන් දුරුකරන ලදහ. එහෙයින් අවිතක්කය අවිචාර යැයි කියනු ලැබේ’ යනුයි.