තතියජ්ඣානං
තෘතීය ධ්‍යාන නිර්දේශයෙහි පීතියා ච විරාගා යැයි විරාගය නම් කියන ලද ආකාර ඇති ප්‍රීතිය පිළිකුල් කිරීම හෝ ඉක්මවීමයි. දෙදෙනා අතර ච ශබ්දය සම්පිණ්ඩනාර්ථය, එය වූපසමය පිඬු කිරීම හෝ කරයි. විතක්ක විචාරයන්ගේ සංසිඳීම හෝ කරයි. එහිදී යම්කලෙක වූපසමයම පිඬු කෙරේ ද එකල්හි ප්‍රීතියෙන් වෙන්වීමෙන් ද මඳක් හෝ බොහෝසයින් සංසිඳීමෙන්දැයි මෙසේ යෝජනාව දතයුතුයි. මේ යෝජනාවේදී විරාගය ජිගුච්ඡනාත්‍ථි වෙයි. එහෙයින් ප්‍රීතියෙනුත් පිළිකුල් කිරීමෙනුත් සංසිඳීමෙන්දැයි මේ අර්ථය දතයුතුයි. යම්කලෙක වනාහි විතර්ක විචාරයන්ගේ සංසිඳීම පිඬු කෙරේ ද එකල්හි ප්‍රීතියෙන් වෙන්වීමෙන් ද මදක් හෝ බොහෝසෙයින් විතර්ක විචාරයන්ගේ ද සංසිඳීමෙන්දැයි මෙසේ ද යෝජනාව දතයුතුයි. මේ යෝජනයෙන් ද විරාග යනු සමතික්කමාර්ථය වේය. එහෙයින් ප්‍රීතිය ඉක්මවීමෙන් ද විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් යැයි මේ අර්ථය දතයුතුයි.
ඒකාන්තයෙන් මේ විතර්ක විචාරයෝ ද්විතීය ධ්‍යානයේ දී ම සංසිඳෙත්. මේ ධ්‍යානයාගේ වනාහි මාර්ගය දැක්වීම පිණිසද වර්ණනාව කීම සඳහා ද මෙය කියන ලදී. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් යැයි කී කල්හි ද මෙය පැනේ. විතක්ක විචාරයන්ගේ වූපසමය මේ ධ්‍යානයට මාර්ගය නොවේද? යම්සේ වනාහි තුන්වන ආර්ය මාර්ගයේදී අප්‍රහීණ වූ සක්කාය දිට්ඨි ආදී පංච ඕරම්භාගීය සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් යැයි මෙසේ ප්‍රහාණය කියනුයේ වර්ණාභරණය වෙයි. එය අධිගමය පිණිස උත්සාහ කරන්නවුන්ට උත්සාහ ජනකය, මෙපරිද්දෙන් මෙහි නොසන්සිඳුණු විතර්ක විචාරයන්ගේ ද සංසිඳීම කියනු ලබනුයේ වර්ණාභණනය වෙයි. එහෙයින් ප්‍රීතිය දුරලීමෙන් ද විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන්දැයි යන මේ අර්ථය කියන ලදී.
උපෙක්‍ඛා ච විහරති යන මෙහි වෙතට පැමිණීම වශයෙන් බලානුයි = උපෙක්‍ඛාය, සමව බලයි. අපක්‍ෂපාතීව බලයි යන අර්ථයි. පිරිසිදු වූ මහත් වූ වීර්යයෙන් යුක්ත බැවින් තෘතීය ධ්‍යානයෙන් යුක්ත උපේක්‍ෂකයා යැයි කියනු ලැබේ.
උපේක්‍ෂාව වනාහි දශවිධ වෙයි. ඡළංගුපෙක්‍ඛා බ්‍රහ්මවිහාරුපෙක්‍ඛා බෙජ්ඣංගුපෙක්‍ඛා විරියුපෙක්‍ඛා සංඛාරුපෙක්‍ඛා වෙදනානුපෙක්‍ඛා විපස්සනානුපෙක්‍ඛා තත්‍රමජ්ඣත්තුපෙක්‍ඛා ඣානුපෙක්‍ඛා පාරිසුද්ධුපෙක්‍ඛා’ යනුයි.
එහි ‘මෙහි ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව ඇසින් රූපයක් දැක සතුටු සිත් ඇත්තේ ද නොවෙයි. අසතුටු සිත් ඇත්තේ ද නොවෙයි. සිහියෙන් යුතුව සම්‍යක් ප්‍රඥාවෙන් යුතුව උපේක්‍ෂකවම වාසය කරයි’ මෙසේ ආ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේගේ ෂට් ද්වාරයන්හි ඉෂ්ටානිෂ්ට ෂඩාරම්මණයන් ආපාථගත වීමේදී පිරිසිදු පියෙවිබව අත්නොහරනා යම් උපේක්‍ෂාවක් වේද මෙය ඡලංගුපෙක්‍ඛා නම්,
‘උපේක්‍ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි’ මෙසේ ආවා වූ සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථාකාර වූ යම් උපේක්‍ෂාවක් වේද, මෙය වනාහි බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව නමි.
‘විවේක නිශ්‍රිත උපේක්‍ෂා සම්බෝධ්‍යාංගය වඩයි’ යැයි මෙසේ ආවා වූ සහජාත ධර්මයන්ට මධ්‍යස්ථාකාර වූ යම් උපේක්‍ෂාවක් වේ නම් මෙය බෝධ්‍යාංගුපේක්‍ෂා නමි.
‘කලින් කල උපේක්‍ෂා නිමිත්ත මෙනෙහි කරයි’ මෙසේ ආවා වූ ඉතා දැඩිත් නොවූ ඉතා ස්ථිලත් නොවූ යම් උපේක්‍ෂාවක් වේද මෙය වනාහි වීර්යෝපේක්‍ෂා නම් වේ.
‘කෙතෙක් සංස්කාරුපේක්‍ෂාවෝ විදර්ශනා වශයෙන් උපදිත් ද, කෙතෙක් සංස්කාරුපේක්‍ෂාවෝ විදර්ශනා වශයෙන් උපදිත් ද, සංස්කාරුපේක්‍ෂාවෝ දසදෙනෙක් විදර්ශනා වශයෙන් උපදිත්’ යැයි මෙසේ ආවා වූ නීවරණාදීන් නුවණින් සලකා තීරණය කිරීමේදී මධ්‍යස්ථ වූ යම් උපේක්‍ෂාවක් වේද මෙය සංස්කාරුපේක්‍ෂා නමි.