චතුත්ථජ්ඣානං
චතුර්ථධ්යාන නිර්දේශයෙහි සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා යනු කායික සුවයේ ද කායික දුකේ ද ප්රහාණයෙන්, පුබ්බෙව යනු එය ද වනාහි පළමුවෙනි, චතුර්ථධ්යන ක්ෂණයෙහි නොවේ. සොමනස්ස දොමනස්සානං අත්ථංගමා යනු චෛතසික සුවයාගේත් චෛතසික දුඃඛයාගේත් යන මේ දෙදෙනාගේම පූර්වයෙන්ම අස්තංගමයෙන් ප්රහාණයෙන් යනුම කියන ලද්දේ වෙයි. කවර අවස්ථාවෙක වනාහි මොවුන්ගේ ප්රහාණය වේද? සතර ධ්යානයන්ගේ උපචාරක්ෂණයෙහිය. සොම්නස් දොම්නස් දෙක ප්රථම ද්විතීය තෘතීය ධ්යානයන්ගේ උපචාර ක්ෂණයන්හිය. මෙසේ මොවුන්ගේ ප්රහාණ ක්රමයෙන් නොකියන ලද්දවුන්ගේ ද ඉන්ද්රිය විභංගයෙහි වනාහි ඉන්ද්රියන්ගේ උද්දේශ ක්රමයෙන්ම මෙහිදී ද කියන ලද්දා වූ සෝමනස්ස දෝමනස්සයන්ගේ ද ප්රහාණය දතයුතුයි.
ඉදින් මොව්හු වනාහි ඒ ඒ ධ්යානයන්ගේ උපචාර ක්ෂයෙහිම ප්රහීණ වෙත් ද, එසේනම් කවර හෙයින් ‘කවර තැනෙක උපන්නා වූ දුක්ඛින්ද්රියයක් නිරවශේෂයෙන් නිරුද්ධ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම කාමයන්ගෙන් වෙන්ව ම -පෙ- ප්රථම ධ්යානයට පැමිණ වාසය කෙරේද? මෙහිදී ද උපන් දුක්ඛින්ද්රියය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. කවර නම් තැනෙක උපන්නා වූ දෝමනස්සින්ද්රිය සුඛෙන්ද්රියය සෝමනස්සින්ද්රියය නිරවශේෂයෙන් නිරුද්ධ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම සුවයාගේ ද ප්රහාණයෙන් -පෙ- චතුර්ථ ධ්යානයට පැමිණ වාසය කරයි. මෙහිදී ද උපන් සෝමනස්සින්ද්රියය නිරවශේෂයෙන් නිරුද්ධ වේ’ යැයි මෙසේ ධ්යානයන්හිම නිරෝධය කියන ලද්දේ වේද යනුයි. අතිශය නිරෝධය හෙයිනි. අතිශය නිරෝධය වනාහි ඔවුන්ගේ ප්රථම ධ්යානාදීන්හිය. නිරෝධය පමණක්ම නොවේ. නිරෝධය පමණක් වනාහි උපචාර ක්ෂණයෙහිය. අතිශය නිරෝධය නොවේ. ඒ එසේමය. නානාවර්ජන ප්රථම ධ්යානූපචාරයෙහි නිරුද්ධ වූද දුක්ඛින්ද්රියය, ඩංසමකසාදීන්ගේ ස්පර්ශයෙන් හෝ විෂමානුතාපයෙන් හෝ උත්පත්තිය වන්නේය. අර්පණාව තුළ නොවේමය. ප්රතිපක්ෂය විසින් නොනසන ලද හෙයින් උපචාරයෙහි නිරුද්ධ වූ ද එය මනාව නිරුද්ධ නොවේ. අර්පණාව තුළ වනාහි ප්රීතිය පැතිරීමෙන් මුළු කය සුවයට බැසගත්තේ වෙයි. ප්රතිපාක්ෂිකයා විසින් දුක්ඛින්ද්රිය නසන ලද හෙයින් නානාවර්ජන ද්විතීය ධ්යානුපචාරයෙහිදීම ප්රහීණ කළ දෝමනස්සින්ද්රිය ඇති සුවයට බැසගත් කය මනාව නිරුද්ධ වෙයි. එහෙයින් මෙය විතර්ක විචාරයන්ට ප්රත්යය වූ කාය කිලමථ චිත්තූපඝාතයන් ඇති කල්හි ද උපදී. විතර්ක විචාරයන්ගේ අභාවය ඇති කල්හි නො උපදිත්මය. යම්තැනක උපදී නම් විතර්ක චොරයන්ගෙන් තොර ඒ ද්විතීය ධ්යාන උපචාරයෙහි විතර්ක විචාරයෝ අප්රහීණමය යනුයි. එහි ඔහුගේ උත්පත්තිය වන්නේය. ප්රහීණ වූ ප්රත්යය ඇති හෙයින් ද්විතීය ධ්යානයෙහි නොවේමය. එසේම තෘතීය ධ්යානුපචාරයෙහි දී ප්රහීණ වූ සුඛෙන්ද්රිය ප්රීතියෙන් හටගත් ප්රණීත රූපයක ස්පර්ශය ඇති කල්හි උපදනේය. තෘතීය ධ්යානයෙහි නූපදනේමය. තෘතීය ධ්යානයෙහි සුඛයට ප්රත්යය වූ ප්රීතිය සර්වප්රකාරයෙන් නිරුද්ධය යනුයි. චතුත්ථිධ්යානුපචාරයෙහි ප්රහීණ වූ සෝමනස්සින්ද්රියට ආසන්න හෙයින් ද අර්ණාප්රාප්ත උපේක්ෂාවගේ අභාවෙන් මනාව නොඉක්මවූ හෙයින් ද උත්පත්තිය වන්නේය. චතුර්ථධ්යනයෙහි නොවේමය. එහෙයින්ම මෙහි උපන් දුක්ඛින්ද්රිය නොසොයමින් නිරුද්ධ වේ යනුයි. ඒ ඒ තැන නිරවශේෂ ග්රහ කරන ලදී.
මෙහිදී කිය : ඉක්බිති මෙසේ ඒ ඒ ධ්යානයාගේ උපචාරයෙහි ප්රහීණ වූ ද මේ වේදනාවෝ මෙහි කවර හෙයින් ගෙනෙන ලද ද? යනුයි. පහසුවෙන් ගැනීම පිණිසයි. මෙය අදුක්ඛමසුඛයැයි යම් අදුක්ඛමසුඛ වේදනාවක් කියන ලදද, එය සියුම්ය. දැනගැනීමට දුෂ්කරය. පහසුවෙන් ග්රහණය කළ නොහැකිය. එහෙයින් යම්කිසි ආකාරයකින් ළඟට පැමිණ අල්ලාගත නොහැකි කිපුණ ගොනකු අල්ලාගැනීම පිණිස ගොපල්ලා එක් ගැලෙක්හි සියලු ගොනුන් එක්රැස් කරයි. ඉක්බිති එක එකා බැහැර කරනුයේ පිළිවෙළින් ආ ඒ ගොනා මූ ගනුවයි හෙතෙම ගන්නට සලස්වයි. එපරිද්දෙන් භාග්යවතුන් වහන්සේ සුඛග්රහණය සඳහා මේ සියල්ල එක්කොට ගෙනහැර දැක්වූ සේක යනුයි. මෙසේ එක්කරන ලද මේ වේදනාවන් දක්වා යමක් සැපක් නොවේද දුකක් නොවේද සොම්නසක් නොවේද දොම්නසක් නොවේද මෙය අදුක්ඛමසුඛා වේදනාවයැයි මෙය ගන්වන්නට හැකිවෙයි.
තවද අදුක්ඛමසුඛ චේතොවිමුක්තියට ප්රත්යය දැක්වීම පිණිසද මේවා කියන ලදැයි ද දතයුතුයි. සුඛදුක්ඛ ප්රහාණාදිය ද වනාහි එයට ප්රත්යයෝය. මෙසේ කීහ. ‘ඇවැත්නි, අදුක්ඛමසුඛ චේතෝ විමුත්ති සමාපත්තියට වනාහි මේ ප්රත්යයෝ සතරදෙනෙකි. ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම සැපයේ ද ප්රහාණයෙන් -පෙ- චතුර්ථ ධ්යානයට සමවැද වාසය කරයි. ඇවැත්නි, මේ වනාහි අදුක්ඛමසුඛ චේතෝවිමුත්ති සම්පත්තියට ප්රත්යය සතරයි’ යනුයි. යම්සේ අන්තැනෙක ප්රහීණ වූද සක්කාය වුට්ඨි ආදිය තෘතීය මාර්ගයාගේ විස්තර කීම පිණිස එහිදී ප්රහීණ වීයැයි කියන ලදී. මෙසේ ඒ ධ්යනයාගේ විස්තර කීම පිණිස ඒවා මෙහිදී කියනලදැයි දතයුතුයි. ප්රත්යයන් නැසීමෙන් හෝ රාගදෝසයන්ගේ අතිදූරභාවය දක්වන්නට ද මේවා මෙහිදී කියන ලදැයි දතයුතුයි. මොවුනතුරෙන් වනාහි සුඛය සොම්නසට ප්රත්යය, සොම්නස රාගයට ප්රත්යය, දුක දොම්නසට ප්රත්යය, දොම්නස ද්වේෂයට ප්රත්යය, සුඛ ආදිය නැසීමෙන් ද ප්රත්යය සහිත රාගදෝසයෝ නසන ලදැයි යනු ඉතා දුර වෙයි යනුයි.
අදුක්ඛමසුඛං යනු දුඃඛයාගේ අභාවයෙන් අදුක්ඛය සුඛයාගේ අභාවයෙන් අසුඛය, මෙයින් මෙහි සුඛදුක්ඛයන්ට ප්රතිපක්ෂ වූ තුන්වන වේදනාවක් දක්වයි. දුක අසුඛයාගේ අභාවමාත්රය පමණක් නොවේ. තුන්වන වේදනාව නම් අදුක්ඛමසුඛය, උපේක්ෂාව යැයිද කියනු ලැබේ. එය ඉෂ්ටානිෂ්ට විපරීත අනුභවන ලක්ෂණකොට ඇත්තේය. මධ්යස්ථරසය කොට ඇත්තේය. අප්රකට බව එළඹ සිටි කාරණයකොට ඇත්තේ ය. සුඛදුක්ඛ නිරෝධය ආසන්න කාරණය කොට ඇත්තේ යැයි දතයුතුයි.
උපෙක්ඛා සතිපාරිසුද්ධිං යනු උපේක්ෂාවෙන් හටගත් සිහියෙන් වූ පාරිසුද්ධියයි. මේ ධ්යානයෙහි වනාහි සතිය සුපරිසුද්ධය. ඒ සතියෙහි යම් පාරිසුද්ධියක් වේද එය උපේක්ෂාව විසින් කරන ලදී. අනෙකකු විසින් නොවේ. එහෙයින් මෙය උපෙක්ඛාසතිපාරිසුද්ධි යැයි කියනු ලැබේ. විභංගයෙහි ද මෙසේ කියන ලදී. ‘මේ සතිය මේ උපේක්ෂාව විසින් විවෘත වූයේ වෙයි. පිරිසිදු වූයේ වෙයි. අතිශයින්ම පිරිසිදු වූයේ වෙයි. එහෙයින් උපෙක්ඛා සතිපාරිසුද්ධි යැයි කියනු ලැබේ’ යනුයි. මෙහි යම් උපේක්ෂාවකින් සතියෙහි පාරිසුද්ධියක් වේද, එය අර්ථ වශයෙන් තත්රමජ්ඣත්තතා යැයි දතයුතුයි. මෙහි හුදෙක් එයින් සතිය පමණක් පිරිසිදු වූයේ නොවේ. තවද සියලුම සම්ප්රයුක්ත ධර්මයෝ ද පිරිසිදු වෙත් යැයි සති ශීර්ෂයෙන් දේශනාව කරන ලදී.