පස්වන සිත
පංචිමෙ උපෙක්‍ඛා සහගතං යනු උපේක්‍ෂා වේදනාවෙන් යුක්ත වූයේය. මෙය වනාහි අරමුණෙහි මධ්‍යස්ථ වෙයි. මෙහිදී වනාහි පිරිසිඳිනා ඥානය වන්නේමය. මෙහි පාළියෙහි වනාහි ධ්‍යාන චතුෂ්කයෙහි උපේක්‍ෂාව වෙයි. ඉන්‍ද්‍රියට්ඨකයෙහි උපෙක්‍ඛින්‍ද්‍රිය වේයැයි කියා වේදනාදී සියලුම පදයන්ගේ නිර්දේශයෙහි සාතාසාත සුඛදුඃඛප්‍රතික්‍ෂේප වශයෙන් දේශනාව කොට අදුඃක්‍ඛමසුඛ වේදනාව කියන ලදී. එහි මධ්‍යස්ථ ලක්‍ෂණයෙහි අධිපති අර්ථ කාරණ වශයෙන් උපේක්‍ෂා ඉන්‍ද්‍රියභාවය දතයුතුයි. එක්තැනෙක පද පිළිවෙළින් ද ප්‍රීතිය පිරිහිණ. එහෙයින් චිත්තාංග වශයෙන් පාළියට නැගුණු පස්පනසක්ම ධර්මයෝ වෙත්. ඔවුන්ගේ වශයෙන් සියලු කොට්ඨාශයන්හි ද සියලු වාරයන්හි ද විනිශ්චය දතයුතුයි.
සයවන ආදී චිත්තයෝ
ෂෂ්ටම සප්තම අෂ්ටමයෝ ද්විතීය තෘතීය චතුර්ථයන්හි කියන ලද නයින්ම දතයුත්තාහ. හුදෙක් මොවුන්ගේ වේදනා පරිවර්තනය ද ප්‍රීති පරිහානිය ද වෙයි. උත්පත්ත නය සමග සෙස්ස එබඳුමය. කරුණා මුදිතා පරිකර්ම කාලයෙහි ද වනාහි මොවුන්ගේ උත්පත්තිය මහාට්ඨ කථාවෙහි අනුදත්තේමය. මේ අට කාමාවචර කුසල් සිත් නමි.
දසපින් කිරියවත් කථා
ඒ සියල්ලමත් දසපින් කිරියවත් සමග දැක්විය යුතුයි. කෙසේද? දානමය පින්කිරිය වත, සීලමය - භාවනාමය - අපචිති සහගත - වෙය්‍යාවච්ච සහගත - පත්තානුමෝදනා - අබ්භනුමෝදනා - දේශනාමය - ශ්‍රවණමය - දිට්ඨජ්ජුකම්ම පින්කිරියවත යැයි මේ දසපින්කිරියවත් නමි. එහි දානයම දානමයයි. පුණ්‍යක්‍රියාවත් එයයි. ඒ ඒ ආනිසංසයන්ට වස්තුව වූයේත් එයයි යනු = පුඤ්ඤකිරිය වත්‍ථුය. අවශේෂයන්හි ද මේ නයමය.
එහි චීවරාදී සිව්පසයන්හිද රූපාදී වූ ෂඩාරම්මණයන්හි ද ආහාරාදී වූ දශදාන වස්තූන්හි ද ඒ ඒ වස්තූන් දෙන්නහුගේ ඒ ඒ වස්තූන් ඉපදවීමේ පටන් පූර්වභාගයෙහිත් පරිත්‍යාග කාලයෙහිත් පසුවත් සොම්නස් සහගත සිතින් අනුස්මරණය කරන කාලයෙහිදැයි තුන්කල්හි පවත්නා චේතනාව දානමය පින්කිරියවත නමි.
පන්සිල් අටසිල් දසසිල් සමාදන් වන්නාගේ, පැවිදි වෙමියි විහාරයට යන්නාගේ, පැවිදි වන්නාගේ, මනදොළ මුදුන් පමුණුවාගෙන ඒකාන්තයෙන් පැවිදිවීමි. සාධු යහපති යැයි ආවර්ජනා කරන්නාගේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරණය කරන්නාගේ, චීවරාදී ප්‍රත්‍යයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාගේ, ඉන්‍ද්‍රිය විෂය වූ රූපාදී අරමුණු කෙරෙහි චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් සංවර කරන්නාගේ හා ආජීවය පිරිසිදු කරන්නාගේ ද පවත්නා චේතනාව සීලමය පුඤ්ඤකිරිය වත්‍ථු නමි.
ප්‍රතිසම්භිදා නයින් කියන ලද විදර්ශනා මාර්ගයෙන් ඇස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් භාවනා කරන්නන්ගේ -පෙ සිත - රූප -පෙ- ධර්ම = චක්‍ෂුර්විඥානය -පෙ- මනෝ විඥානය -පෙ චක්‍ෂු ස්පර්ශය -පෙ- මනෝ ස්පර්ශය - චක්‍ෂුර් ස්පර්ශජ වේදනාව -පෙ මනෝ ස්පර්ශජ වේදනාව -පෙ- රූප සංඥාව -පෙ- ජරා මරණ අනිත්‍ය දුක්‍ඛ අනාත්ම වශයෙන් භාවනා කරන්නා තුළ පවත්නා චේතනාව, අටතිස් ආරම්මණයන්හි අර්පණාවට නො පැමිණි සියලුම චේතනාද භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තු නමි.
මහලු භික්‍ෂුවක දැක පෙරගමන් කිරීම පාසිවුරු පිළිගැනීම වැඳීම මගපෙන්වීම ආදී වශයෙන් වූයේ) අපචිති සහගත යැයි දතයුතුයි.