සයවන ආදී චිත්තයෝ
ෂෂ්ටම සප්තම අෂ්ටමයෝ ද්විතීය තෘතීය චතුර්ථයන්හි කියන ලද නයින්ම දතයුත්තාහ. හුදෙක් මොවුන්ගේ වේදනා පරිවර්තනය ද ප්‍රීති පරිහානිය ද වෙයි. උත්පත්ත නය සමග සෙස්ස එබඳුමය. කරුණා මුදිතා පරිකර්ම කාලයෙහි ද වනාහි මොවුන්ගේ උත්පත්තිය මහාට්ඨ කථාවෙහි අනුදත්තේමය. මේ අට කාමාවචර කුසල් සිත් නමි.
දසපින් කිරියවත් කථා
ඒ සියල්ලමත් දසපින් කිරියවත් සමග දැක්විය යුතුයි. කෙසේද? දානමය පින්කිරිය වත, සීලමය - භාවනාමය - අපචිති සහගත - වෙය්‍යාවච්ච සහගත - පත්තානුමෝදනා - අබ්භනුමෝදනා - දේශනාමය - ශ්‍රවණමය - දිට්ඨජ්ජුකම්ම පින්කිරියවත යැයි මේ දසපින්කිරියවත් නමි. එහි දානයම දානමයයි. පුණ්‍යක්‍රියාවත් එයයි. ඒ ඒ ආනිසංසයන්ට වස්තුව වූයේත් එයයි යනු = පුඤ්ඤකිරිය වත්‍ථුය. අවශේෂයන්හි ද මේ නයමය.
එහි චීවරාදී සිව්පසයන්හිද රූපාදී වූ ෂඩාරම්මණයන්හි ද ආහාරාදී වූ දශදාන වස්තූන්හි ද ඒ ඒ වස්තූන් දෙන්නහුගේ ඒ ඒ වස්තූන් ඉපදවීමේ පටන් පූර්වභාගයෙහිත් පරිත්‍යාග කාලයෙහිත් පසුවත් සොම්නස් සහගත සිතින් අනුස්මරණය කරන කාලයෙහිදැයි තුන්කල්හි පවත්නා චේතනාව දානමය පින්කිරියවත නමි.
පන්සිල් අටසිල් දසසිල් සමාදන් වන්නාගේ, පැවිදි වෙමියි විහාරයට යන්නාගේ, පැවිදි වන්නාගේ, මනදොළ මුදුන් පමුණුවාගෙන ඒකාන්තයෙන් පැවිදිවීමි. සාධු යහපති යැයි ආවර්ජනා කරන්නාගේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරණය කරන්නාගේ, චීවරාදී ප්‍රත්‍යයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාගේ, ඉන්‍ද්‍රිය විෂය වූ රූපාදී අරමුණු කෙරෙහි චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් සංවර කරන්නාගේ හා ආජීවය පිරිසිදු කරන්නාගේ ද පවත්නා චේතනාව සීලමය පුඤ්ඤකිරිය වත්‍ථු නමි.
ප්‍රතිසම්භිදා නයින් කියන ලද විදර්ශනා මාර්ගයෙන් ඇස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් භාවනා කරන්නන්ගේ -පෙ සිත - රූප -පෙ- ධර්ම = චක්‍ෂුර්විඥානය -පෙ- මනෝ විඥානය -පෙ චක්‍ෂු ස්පර්ශය -පෙ- මනෝ ස්පර්ශය - චක්‍ෂුර් ස්පර්ශජ වේදනාව -පෙ මනෝ ස්පර්ශජ වේදනාව -පෙ- රූප සංඥාව -පෙ- ජරා මරණ අනිත්‍ය දුක්‍ඛ අනාත්ම වශයෙන් භාවනා කරන්නා තුළ පවත්නා චේතනාව, අටතිස් ආරම්මණයන්හි අර්පණාවට නො පැමිණි සියලුම චේතනාද භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තු නමි.
මහලු භික්‍ෂුවක දැක පෙරගමන් කිරීම පාසිවුරු පිළිගැනීම වැඳීම මගපෙන්වීම ආදී වශයෙන් වූයේ) අපචිති සහගත යැයි දතයුතුයි.
වෘද්ධතරයින්ට වත්පිළිවෙත් කිරීම් වශයෙන් ගමට පිඬු පිණිස පිවිසි භික්‍ෂුවක දැක පාත්‍රය ගෙන ගමෙහි ආහාර සමාදන් කරවා ළඟට පැමිණවීම් වශයෙන් යව භික්‍ෂූන්ගේ පාත්‍රය ගෙනෙවයි යනු අසා වේගයෙන් ගොස් පාත්‍රය ගෙනයාම් වශයෙන් ද කායික වතාවත් කරන කාලයෙහි ද ව්‍යොවච්ච සහගතය දතයුතුයි.
දන් දී සුවඳ ආදියෙන් පූජාකොට අසුවලාට පින් ලැබේවා හෝ සියලු සත්ත්වයන්ට වේවායි හෝ පින්දෙන්නාගේ පත්තානුප්පදානය දතයුතුයි. කිම දෙන්නහුගේ මේ පින ක්‍ෂයවීමක් වේද? නොවේ. යම්සේ වනාහි එක් පහනක් දල්වා ඉන් පහන් දහසක් දල්වන්නාගේ පළමු පහන් ක්‍ෂය වේයැයි නො කියයුතුයි. පළමු ආලෝකයත් සමගම වනාහි පසුව ඇති වූ ආලෝකය එක් වී ඉතා මහත් වෙයි. එපරිද්දෙන් පින් දෙන්නහුගේ පිරිහීමක් නම් නැත. වර්ධනයක්ම වේයැයි දතයුතුයි.
අනුන් විසින් දෙන ලද පිනින් හෝ වෙනත් පින්කමකින් හෝ සාධු යහපතැයි අනුමෝදන වශයෙන් අබ්භනුමෝදනාව දතයුතුයි.
එක් (භික්‍ෂුවක්) මෙසේ මා ධර්මකථිකයෙකැයි දැනගනිත් යැයි ඉච්ඡාවෙන් සිට ලාභගරුකව දේශනා කෙරේද, එය මහත්ඵල නොවේ. එක් අයෙක් තමාට ප්‍රගුණ ධර්මය (ලාභාදිය) බලාපොරොත්තුවකින් තොරව විමුක්ති කාරණයක් වශයෙන් අන්‍යයන්ට දේශනා කෙරෙත්ද, මේ දේශනාමය පුඤ්ඤකිරියවත්‍ථු නමි.
එකී අය (බණ) අසනුයේ මෙසේ මා ශ්‍රද්ධා ඇත්තෙකැයි දැනගනිත් යැයි අසත්ද එය මහත්ඵල නොවේ. එතෙක් මෙසේ මට මහත්ඵල වන්නේ යැයි හිත පතුරුවමින් මෘදු සිතින් බණ අසයි ද මෙය සවණාමය පුඤ්ඤකිරිය වත්‍ථු නමි.
දෘෂ්ටිය ඍජු කරන්නාගේ දෘෂ්ටිය සෘජුකිරීම පුඤ්ඤකිරිය වත්‍ථු නමි. දීඝභාණකයෝ වනාහි මෙසේ කීහ. ‘දෘෂ්ටි ඍජුකර්මය සියල්ලන්ටම නියම ලක්‍ෂණයකි. යම්කිසි පුණ්‍යකර්මයක් කරන්නාගේ වනාහි දෘෂ්ටි සෘජුකභාවයෙන් මහත්ඵල වේය’ යනුයි.
මේ පින් කිරියවත් අතුරෙන් දානමය වනාහි දන් දෙමියි සිඟන්නාට උපදී, දන් දෙන්නාට උපදී, මා විසින් දෙන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට උපදී. මෙසේ පූර්වචේතනාය මුඤ්චන චේතනාය අපර චේතනායැයි චේතනා තුනම එක්ව දානමය පින්කිරියවත නම් වෙයි. සීලමයං යනු සිල් පුරමියි සිතන්නාට උපදී. සිල් පුරන කල්හි උපදී. මා විසින් පුරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට උපදී යැයි ඒ සියල්ලම එක්කොට සීලමය පින් කිරියවත නම් වෙයි. -පෙ- දෘෂ්ටි ඍජුකර්මයද දෘෂ්ටිය ඍජු කරමියි සිතන්නාට උපදී. දෘෂ්ටිය සෘජු කරන්නාට උපදී. මා විසින් දෘෂ්ටිය ඍජු කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට උපදී. ඒ සියල්ලම එක්කොට දෘෂ්ටි ඍජුකම පින්කිරිය වත නම් වේ.