කොට්ඨාසවාරය
දැන් තස්මිං ඛොපන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති යැයි සංග්රහවාරය පටන්ගන්නා ලදී. එය උද්දේස නිද්දේස පටිනිද්දේස වශයෙන් ත්රිවිධ වෙයි. එහි තස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා යන මේ ආදී වූ උද්දේසයයි. (කතමෙ තස්මිං සමයෙ චත්තාරො ඛන්ධා යන ආදිය නිර්දේශය) කතමො තස්මිං සමයෙ වෙදනාක්ඛන්ධො යන ආදී වූයේ ප්රතිනිර්දේශය යැයි දතයුතුයි.
එහි උද්දේසවාරයෙහි චත්තාරො ඛන්ධා යන ආදී කොටස් තෙවිස්සක් වේ. ඔවුන්ගේ අර්ථය මෙසේ දතයුතුයි. යම් අවස්ථාවෙක පළමුවන කාමාවචර මහා කුශල සිත උපදී ද, එසමයෙහි චිත්තාංග වශයෙන් උපන් යේවාපනකයන් හැර පාළියට නැගුණු අතිරේක වූ යම් ධර්ම පනසෙක් වේද ඒ ඒ සියල්ලන් ද සංග්රහ කෙරෙමින් රාශි වශයෙන් ස්කන්ධ සතරක් වෙයි. යට කියන ලද ආයතනාර්ථයෙන් ආයතන දෙකක් වෙයි. ස්වභාවාර්ථයෙන් ශුන්යතාර්ථයෙන් සත්වාර්ථයෙන් (ධාතු දෙකක් ද වෙයි. ප්රත්යය සංඛ්යාත ආහාරණාර්ථයෙන්) මෙහිදී ද ධර්ම තුනක් ආහාර වෙයි. අවශේෂ ධර්ම ආහාර නොවේ.
කිම, මෙහිදී ඔවුනොවුන්ට හෝ එයින් හටගන්නා රූපයට හෝ ප්රත්යය නොවේද යත්, නොවන්නේ නොවේ. මේවා වනාහි එසේ ද වෙයි. අන් අයුරකින් හෝ සමාන ප්රත්යාර්ථයෙහි අතිරේක ප්රත්ය හෝ වෙයි. එහෙයින් ආහාර යැයි කියන ලදී. කෙසේද? මොවුනතුරෙන් වනාහි ස්පර්ශාහාර යම් ධර්මයන්ට ද අවශේෂ චිත්ත චෛතසික ප්රත්යය වෙයි. ඔවුන්ටද ප්රත්යය වෙයි. වේදනාත්රය ද උපදවයි. මනෝ සංචෙතනාහාරය ඔවුන්ට ද ප්රත්යය වෙයි. (ත්රිවිධ භවයන් ද ගෙනදෙයි. විඤ්ඤාණාහාරය ඔවුන්ට ප්රත්ය වෙයි.) ප්රතිසන්ධි නාමරූප ද ගෙනදෙයි. මෙය වනාහි කුසල විඤ්ඤාණයයි. එය විපාකය නොවේද? කුසල විඤ්ඤාණය වූයේ නමුදු එය මාන බැවින් විඤ්ඤාණාහාරයම යැයි කියන ලදී. උපස්ථම්භකාර්ථයෙන් වුව ද මේ තුන ආහාරයැයි කියන ලදී. මේවා වනාහි කබලීකාහාරය රූපකායට මෙන් සම්ප්රයුක්ත ධර්මයන්ට උපස්ථම්භක ප්රත්යය වෙයි. එහෙයින් කියන ලදී. ‘අරූපී ආහාර සම්ප්රයුක්ත ධර්මයන්ටත් එයින් උපදනා රූපයන්ටත් ආහාර ප්රත්යය වශයෙන් ප්රත්යය වෙයි’ යනුයි.
තවත් නයෙක් වෙයි. ආධ්යාත්මික සන්තතියට විශේෂ ප්රත්යය වන හෙයින් කබළීකාහාරයත් මේ ධර්මත්රයත් ආහාරයැයි කියන ලදී. විශේෂ ප්රත්යය නම් - කබළීකාහාරභක්ෂක සත්ත්වයින්ගේ රූපකායට කබළීකාහාරය ආහාරය වේ. නාමකායෙහි වේදනාවට ස්පර්ශය ආහාරය වේ. විඥානයට මනෝසංචේතනාව ආහාරයයි. නාමරූපයට විඥානය ආහාරය වේ. මෙසේ ද කියන ලදී.
‘මහණෙනි, යම්සේ මේ කය ආහාරට්ඨිකද, ආහාරය නිසා සිටී ද, ආහාරයෙන් තොරව නොසිටීද, එසේම ස්පර්ශ ප්රත්යයෙන් වේදනාවද සංස්කාර ප්රත්යයෙන් විඥානය ද විඥාන ප්රත්යයෙන් නාමරූපය ද සිටී’ යනුයි.
අධිපති අර්ථයෙන් වනාහි ධර්ම අටක්ම ඉන්ද්රිය වෙයි. අවශේෂ ධර්ම ඉන්ද්රිය නොවෙයි. එහෙයින් කියන ලදී. ‘ඉන්ද්රියයෝ අටක් වෙත්’ යනුයි. නැවත නැවත සිහිකිරීම් අර්ථයෙන් ධර්මපහක් පමණක් ධ්යානාංග වෙයි. එහෙයින් කියන ලදී. පඤ්චාංගිකං ඣානං හොති යනුයි.