ශුන්‍යතවාරය
දැන් තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති යැයි සුඤ්ඤතවාරය පටන් ගන්නා ලදී. එය උද්දේස නිද්දේස වශයෙන් දෙයාකාරයකින් වෙන්කරන ලදී. එහි උද්දේස වාරයෙහි ධම්මා හොන්ති යන මෙය සමග කොටස් සූවිස්සක් වෙයි. සියලු කොට්ඨාසයන්හි ද සතර දෙක තුන යැයි ගණන පරිච්ඡේදයක් නො කියන ලදී. කවර හෙයින් ද යත්? සංග්‍රහ වාරයෙහි පිරිසිඳිනා ලද හෙයිනි. මෙහිද වනාහි එහිදී පරිච්ඡේද කරන ලද ධර්මයෝම කියන ලදහ. මෙහි සත්ත්වයෙක් හෝ භාවයක් හෝ ආත්මයක් නොලැබේ. මේ ධර්මයෝ ද ධර්මමාත්‍රයහ. අසාරයහ. අපරිණාසකයහයි මෙහි ශුන්‍යතාව දැක්වීම පිණිස කියන ලදී. එහෙයින් මෙහි අර්ථය මෙසේ දතයුතුයි. යම් අවස්ථාවෙක ප්‍රථම කාමාවචර මහා කුසල චිත්තය උපදී ද, එසමයෙහි චිත්තාංග වශයෙන් උපන් අතිරේක ධර්ම පනස ස්වභාවාර්ථයෙන්ම ධර්මයෝම වෙත්. අන් කිසි සත්ත්වයෙක් හෝ භාවයක් හෝ පුරුෂයෙක් හෝ පුද්ගලයෙක් නොවේ යනුයි. එසේම රාශ්‍යර්ථයෙන් ස්කන්‍ධයෝ ද වෙත් යනුයි. මෙසේ පළමු නයින්ම සියලු පදයන්හි අර්ථ යෙදීම දතයුතුයි. යම්හෙයකින් වනාහි ධ්‍යානයෙන් අන්‍ය වූ ධ්‍යානාංගයක් හෝ මාර්ගයෙන් අන්‍ය වූ මාර්ගාංගයක් හෝ නැද්ද එහෙයින් ධ්‍යානය වෙයි. මාර්ගය වෙයි යනු ම කියන ලදී. නැවත නැවත සිහිකිරීම් අර්ථයෙන් වනාහි ධ්‍යානයම හේත්‍වර්ථයෙන් මාර්ගය වෙයි. අන්කිසි සත්ත්වයෙක් හෝ භාවයක් හෝ නොවේයැයි මෙසේ සියලු පදයන්හි අර්ථයේදීම කළ යුතුයි. නිර්දේශවාරය නොගැඹුරු අර්ථ ඇත්තේමය යනුයි.
සුඤ්ඤත වාරය නිමියේය.
මහාවාර තුනකින් සරසා දක්වන ලද ප්‍රථම චිත්තයාගේ අර්ථ වර්ණනාව ද නිමියේ ය.
දෙවන සිත
දැන් දෙවන සිත ආදිය දැක්වීමට කතමෙ ධම්මා යනු පළමුව පටන්ගන්නා ලදී. ඒ සියල්ලෙහිම පළමු සිතෙහි කී නයින්ම මහාවාර තුන තුන බැගින් දතයුතුයි. හුදෙක් මහාවාර පමණක් නොවේ. පළමු සිතෙහි කීවාට සමාන සියලු පදයන්ගේ අර්ථය ද කී නයින්ම දතයුතුයි. මෙයින් මතු ද අනුපූර්ව පද වර්ණනාවම කී නයින්ම දතයුතුයි. මෙයින් මතු ද අනුපූර්ව පද වර්ණනාවම කරමි. මෙහිදී වනාහි දෙවන චිත්ත නිර්දේශයෙහි සසංඛාරෙන යන මෙයම අපූර්වය, එහි අර්ථය සංස්කාරය සමග වූයේ නුයි = සසංඛාරය, එය සමග සසංඛාරෙනය. උත්සාහය සමගින් ප්‍රයෝග සමගින් උපාය සමගින් ප්‍රත්‍යය ග්‍රහණයෙන් යනු අර්ථයි. යම් ආරම්මණාදී ප්‍රත්‍ය ග්‍රහණයෙන් ප්‍රථම මහා චිත්තය උපදී. ප්‍රයෝග සහිත වූ උපාය සහිත වූ එයින්ම මෙය උපදී.
එහි උත්පත්තිය මෙසේ දතයුතුයි. මේ ශාසනයෙහි එක්තරා භික්‍ෂුවක් වෙහෙර කෙළවර වසනුයේ සෑමළුව හමදනා වේලාව හෝ ස්ථවිර උපස්ථාන වේලාව හෝ පැමිණි කල්හි ද ධර්මශ්‍රවණ දිනය පැමිණි කල්හි හෝ ගොස් ආපසු එන මට ඉතා දුර වන්නේය. නොයමියි සිතා නැවත මෙසේ සිතීය. භික්‍ෂුවට වනාහි සෑමළුවට හෝ ස්ථවිරෝප ස්ථානයට හෝ ධර්මශ්‍රවණයට හෝ නොයෑම අසාරුප්පය යන්නෙමි යයි ඔහුට මෙසේ තමාගේ ප්‍රයෝගයෙන් හෝ අන්‍යයකු විසින් හෝ වත් ආදිය නො කිරිමේ ආදීනව ද කිරීමෙහි අනුසස් ද දක්වා අවවාද කරන්නා නිග්‍රහ වශයෙන් හෝ එව මෙය කරවයි කරවනු ලබන්නහුට උපන් කුසල සිත සංස්කාරයෝ ප්‍රත්‍යග්‍රහණයෙන් උපන්නේ නම් වෙයි යනුයි.
දෙවන සිත නිමියේ ය.
තුන්වන සිත
තුන්වැන්නෙහි ඥානයෙන් විප්‍රයුක්ත වූයේ ඤාණ විප්පයුත්තය, මෙය ද වනාහි අරමුණෙහි තුටු පහටු වූයේ වෙයි. මෙහි වනාහි පිරිසිඳිනා නුවණ නොවේ. එහෙයින් මෙය ළදරු කුමරුවන් භික්‍ෂුවක දැක මේ තෙරුන් වහන්සේ මාගේ යැයි වදිනා කල්හි ද ඒ නයින්ම චෛත්‍ය වන්දනා ධර්මශ්‍රවණය කරන කල්හි ද උපදීයැයි දතයුතුයි. මෙහි පාළියෙහි වනාහි ස්ථාන සතෙක ප්‍රඥාව පිරිහෙයි. සෙස්ස ප්‍රකෘතිමයය යනුයි.
තුන්වන සිතයි.
සතරවන සිත
සතරවන සිතෙහි ද මේ නයමය. මෙය වනාහි සසංඛාරෙන යන වචනයෙන් යම්කලෙක මව්පියෝ ළදරු කුමරුවන් හිසින් ගෙන චෛත්‍යාදිය වන්දවත් ද ඔව්හු ද අනර්ථික වූවෝ ද තුටු පහටුව වඳිත්. මෙබඳු කාලයෙහි (සසංඛාරික සිත) ලැබේ යැයි දතයුතුයි.
පස්වන සිත
පංචිමෙ උපෙක්‍ඛා සහගතං යනු උපේක්‍ෂා වේදනාවෙන් යුක්ත වූයේය. මෙය වනාහි අරමුණෙහි මධ්‍යස්ථ වෙයි. මෙහිදී වනාහි පිරිසිඳිනා ඥානය වන්නේමය. මෙහි පාළියෙහි වනාහි ධ්‍යාන චතුෂ්කයෙහි උපේක්‍ෂාව වෙයි. ඉන්‍ද්‍රියට්ඨකයෙහි උපෙක්‍ඛින්‍ද්‍රිය වේයැයි කියා වේදනාදී සියලුම පදයන්ගේ නිර්දේශයෙහි සාතාසාත සුඛදුඃඛප්‍රතික්‍ෂේප වශයෙන් දේශනාව කොට අදුඃක්‍ඛමසුඛ වේදනාව කියන ලදී. එහි මධ්‍යස්ථ ලක්‍ෂණයෙහි අධිපති අර්ථ කාරණ වශයෙන් උපේක්‍ෂා ඉන්‍ද්‍රියභාවය දතයුතුයි. එක්තැනෙක පද පිළිවෙළින් ද ප්‍රීතිය පිරිහිණ. එහෙයින් චිත්තාංග වශයෙන් පාළියට නැගුණු පස්පනසක්ම ධර්මයෝ වෙත්. ඔවුන්ගේ වශයෙන් සියලු කොට්ඨාශයන්හි ද සියලු වාරයන්හි ද විනිශ්චය දතයුතුයි.