තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු යනු ඒ ස්පරාශාදී ධර්මයන්ට සුදුසු වූ මනෝවිඥාන ධාතුවයි. මේ පදයෙහි වනාහි එකම සිත (අරමුණ) සිතීම් අර්ථයෙන් මන (නම් වෙයි.) දැනගැනීම් අර්ථයෙන් විඥානයි. ස්වභාවර්ථයෙන් හෝ නිස්සත්ථවාර්ථයෙන් ධාතු යැයි ද නම් තුනකින් කියන ලදී. මෙසේ මේ ස්පර්ශ පංචකයෙහි ස්පර්ශය වනාහි යම්හෙයකින් ස්පර්ශය මද තජ්ජා මනොතජ්ජා මනෝ විඤ්ඤාණ ධාතුවම වේද, එහෙයින් පද දෙක්හි තජ්ජා මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සජ ප්රඥප්තිය ආරෝපණය නො කරන ලදී. විතර්ක පදාදියෙහි වනාහි ලැබෙනුයේ නමුදු මෙහි පිරිසිඳින ලද බැවින් මෙහිදී උපුටා නොදක්වන ලදී.
මේ ස්පර්ශ පංචක ධර්මයන් වෙන වෙනම බෙදා වෙන්කොට ප්රඥප්තිය උපුටා දක්වන භාග්යවතුන් වහන්සේ විසින් දුෂ්කර දෙයක් කරන ලදී. නොයෙක් ජලය හෝ නොයෙක් තෙල් හෝ එක් භාජනයක දමා දවසක් මථනය කළ වර්ණ ගන්ධ රසයන්ගේ නානත්වය දැක හෝ ආඝ්රාණය කොට හෝ රස විඳ හෝ නානත්වය දැන ගන්නට හැකි වේ. එසේ ඇති කල්හි එය දුෂ්කරයැයි කියන ලදී. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනාහි එක් අරමුණක පවත්නා මේ අරුපී චිත්ත චෛතසික ධර්මයන් වෙන් වෙන් වශයෙන් බෙදා වෙන්කොට ප්රඥප්ති උපුටා දැක්වීමේදී ඉතා දුෂ්කර කාර්යයක් කරන ලදී. ආයුෂ්මත් නාගසේන තෙරණුවෝ එහෙයින් මෙසේ කීහ.
මහරජ! භාග්යවතුන් වහන්සේ විසින් කිරිමට අපහසු කාර්යයක් කරන ලදී යනුයි. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් කිනම් දුෂ්කරයක් කරන ලදද, එක අරමුණෙහි පවත්නා මේ අරූපී චිත්ත චෛතසික ධර්මයන් පිළිබඳව මේ ස්පර්ශය මේ මේ වේදනාවය. මේ සංඥාවය. මේ චේතනාවය. මේ සිතයැයි යම් බෙදීමක් කරන (කියන) ලදද, මරහජ, භාග්යවතුන් වහන්සේ විසින් එවැනි දුෂ්කරයක් කරන ලදී යනුයි. ස්වාමීනි, උපමාවක් කියන්න. (කරන්න) මහරජ, යම්සේ කිසියම් පුරුෂයෙක් නැවකින් සමුද්රයට වැද අත්පුටයෙන් දෝතින් ජලය ගෙන රස බලා මේ ගංගා නදියේ ජලයයි. මේ යමුනා නදියේ ජලයයි. මේ අචිරවතී නදියේ ජලයයි. මේ සරභූ නදියේ ජලයයි. මේ මහී නදියේ ජලයයි දැනගනීද, ස්වාමීනි, නාගසේනයන් වහන්ස! දැනගැනීම දුෂ්කරය. මහරජ, මේ අරූපී චිත්ත චෛතසික ධර්මයන් පිළිබඳව සිතයැයි (බෙදා දක්වන) බුදුරජාණන් වහන්සේ විසින් ඊට වඩා දුෂ්කර කාර්යයක් කරන ලදී යනුයි.
විතර්ක නිර්දේශයෙහි සිතාබැලීම් වශයෙන් තර්කය, ඔහුට කෙතෙක් සිතාබැලීද කළයක් සිතා බැලීය. ගැලක් සිතා බැලීය. යොදුනක් සිතා බැලීය. අඩ යොදුනක් සිතා බැලීය යැයි මෙසේ තර්කන වශයෙන් පැවැත්ම දතයුතුයි. මේ තර්කය පිළිබඳ ස්වභාව පදයයි. විතර්ක වශයෙන් විතර්කයයි. වඩාත් බලවත් තර්කයට මේ නමකි. මනාව කල්පනා කිරීම් වශයෙන් සංකප්පය එකඟ සිත අරමුණෙහි තබානුයි = අප්පණාය, දෙවන පදය උපසර්ගයෙන් වර්ධනය කරන ලදී. බලවත් වූ හෝ අර්පණාව = ව්යප්පණාවයි. සිත අරමුණෙහි රෝපණය කරයි පිහිටුවයි යනු = චෙතසො අභිනිරොපණාය, තත්ත්වාකාරයෙන් ද නිවන් සලසා දෙන බැවින් ද කුසල බවට පැමිණි ප්රශස්ත වූ සංකල්පය යනු = සම්මා සංකප්පයයි.
විචාර නිර්දේශයෙහි අරමුණෙහි හැසිරෙන්නා වශයෙන් චාරය මේ එහි ස්වභාව පදයයි. විචරණක වශයෙන් විචාරයි අනුව ගොස් හැසිරීම් වශයෙන් අනුවිචාරය, වෙතට ගොස් හැසිරීම් වශයෙන් උපවිචාරය යැයි උපසර්ග වශයෙන් හෝ පද වැඩිණ. ඊය දුනුදියෙහි මෙන් සිත අරමුණෙහි ගළපා තබන හෙයින් චිත්තස්ස අනුසන්ධානතාය අරමුණ විමසා බලන්නකු මෙන් සිටීනුයි =– අනුපෙක්ඛණතාය, හැසිරීම් වශයෙන් හෝ මධ්යස්ථ බව = අනුපෙක්ඛණතාය,
ප්රීති නිර්දේශයෙහි පීති යනු ස්වභාව පදයි. ප්රමුඛ වූවහුගේ භාවය = පාමොජ්ජයි. ප්රීතිවන ආකාරය ආමොදනාය, ප්රමෝදනාකරය = පාමොජ්ජය, ආමෝදනාකාරය - ආමොදනාය, ප්රමෝදනාකාරය = පමොදනාය, යම්සේ බෙහෙත් හෝ තෙල් හෝ උණුදිය සිහිල් දිය හෝ එකට කිරිම මෝදන යැයි කියනු ලැබේ. මෙසේ මෙය ද ධර්මයන්ගේ එකට එකට කිරීමෙන් මෝදනාය, උපසර්ග වශයෙන් වනාහි දියුණු කොට ආමෝදනා පමෝදනා යැයි කියන ලදී. සතුටු කරවානුයි = හාසය, ප්රකර්ෂයෙන් සතුටු කරවානුයි = පහාසය, තුටුපහටු ආකාරයන්ට මේ නමකි. ධනය ඇත්තේනුයි = චිත්තය මෙය ධනයට නමකි. මෙය වනාහි සොම්නස හේතුකොට ඇති හෙයින් ධනයට සමාන බැවින් විත්ති යම්සේ වනාහි ධනවතුන්ට ධනය නිසා සොම්නස උපදී. එහෙයින් විත්තියැයි කියනු ලැබේ. සතුටු ස්වභාවයෙහි සිටි හෙයින් ප්රීතියට මෙය නමකි. ප්රීතිමත් පුද්ගලයා වනාහි උසස් හෙයින් උඩට නැගුණු හෙයින් උදග්ග (ඔද වැඩි) යැයි කියනු ලැබේ. ඔදවැඩියහුගේ භාවය = ඔදග්ගයයි. තමාගේ මනසෙහි භාවය = අත්තමනතාය නො ඇලුණහුගේ මනස වනාහි දුකට හේතුවන හෙයින් තමාගේ මනස නම් නොවේ. ඇලුණුහුගේ (මනස) සැපයට හේතුවන හෙයින් තමාගේ මන නම් වේ. මෙසේ තමාගේ මනසෙහි භාවය = අත්තමනතාය ස්වකීය මනතාව ස්වකීය මනසේ භාවය යනු අර්ථයි. එය වනාහි යම්හෙයකින් අන් කිසිවකුගේ අත්තමනතාවක් නොවේ. මේ භාවය වනාහි සිතේමය. එය චෛතසික ධර්මයකි. එහෙයින් අත්තමන්තා චිත්තස්ස යැයි කියන ලදී.