කුසලකම්මපථකථා
ප්‍රාණඝාතාදියෙන් වෙන්වීම අනභිධ්‍යා අව්‍යාපාද සම්‍යග්දෘෂ්ටි දැයි යන දහය දශකුශල කර්මපථයෝය. එහි ප්‍රාණඝාතාදිය කියන ලද අර්ථ ඇත්තේමය. ප්‍රාණඝාතාදියෙන් මෙයින් වළකිත්. තෙමේ හෝ වළකී. මේ වෙන්වීම් මාත්‍රය මැයි හෝ විරතිය. ප්‍රාණඝාතයෙන් වෙන්වන්නා සේ ‘එ සමයෙහි යම් ප්‍රාණඝාතයෙන් ඉවත්වීමක් වෙන්වීමක් වේ දැයි’ මෙසේ කියන ලද කුශල සම්ප්‍රයුක්ත විරතියක් වේ ද, එය භේද වශයෙන් ත්‍රිවිධ වෙයි. සම්පත්ති විරති සමාදාන විරති සමුච්ඡේද විරති යනුවෙනි.
එහි ශික්ෂාපද සමාදන් නොවූ තමාගේ ජාතිය වයස බහුශ්‍රැත බව ආදිය සිහි කොට අපට මෙවැන්නක් කිරීම අයුතු යැයි එළඹි වස්තුව නො ඉක්මවන්නවුන්ට උපදනා විරතිය සම්පත්ති විරතියැයි දතයුතුයි. සිංහල ද්වීපයෙහි චක්කන උපාසක හට මෙනි. ඔහු ළදරු කල්හිම මවට රෝගයක් උපන්නේය. වෙදා විසින් අමු හාමස් ලබන්නට වටී. (අවශ්‍යයැයි) කියන ලදී. ඉක්බිති චක්කනගේ සොහොයුරා මලණුවනි, කෙතට ගොස් ඇවිදින්නැයි චක්කත යැවීය. හෙතෙම එහි ගියේය. එකහි එක් සාවෙක් ළා ගොයම් කෑමට ආවේය. සාවා ඔහු දැක වේගයෙන් දුවන්නේ වැල්වල පැටී කිරි කිරි යැයි ශබ්ද කෙළේය. චක්කන ඒ හඬින් ගොස් ඌ අල්වාගෙන මවට බෙහෙත් කරන්නෙමියි සිතීය. නැවත (මෙසේ) සිතීය. මම මව ජීවත් කිරිම පිණිස අනිකෙකුගේ ජීවිතය තොර කරන්නෙම් නම් එය මට සුදුසු නොවේ කියායි. ඉක්බිති ‘යන්න වනයේ සාවුන් සමග තණ පැන් පරිභෝග කරවයි’ ඌ මිදීය. සහෝදරයා විසින් කිම මලණුවනි, සාවකු ලබන ලදදැයි අසන ලදුව ඒ පුවත කීය. ඉක්බිති සහෝදරයා ඔහුට අපහාස කළේය. හෙතෙම මව වෙතට ගොස් ‘මම උපන්දා පටන් දැන ප්රාණියෙකු ජීවිතයෙන් තොර කළ බවක් නො දනිමි’ සත්‍යය කියා සිටියේය. (සත්‍යක්‍රියා කළේය) එකෙණෙහිම ඔහුගේ මව නිරෝගී වූවාය.
ශික්ෂාපද සමාදන්ව ශික්ෂාපද සමාදානයේ දී ද ඉන් මතු තමාගේ ජීවිතය ද පරිත්‍යාගයෙන් වස්තුව නො ඉක්මවන්නා උපදනා විරතිය සමාදාන විරතිය යැයි දතයුතුයි. උත්තර වඩ්ඪමාන පර්වත වැසි උපාසකයාට මෙනි. හෙතෙම වනාහි අම්බරිය විහාරවාසී පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වෙත ශික්ෂාපද ගෙන (සමාදන්ව) කුඹුර සායි. ඉක්බිති ඔහුගේ ගොනෙක් නැති විය. හෙතෙම ඌ සොයමින් උත්තර වඩ්ඪමාන පර්වතයට නැංගේය. එහිදී මහා සර්පයෙක් ඔහු අල්ලා ගත්තේය. හෙතෙම මේ තියුණු අවියෙන් මුගේ හිස සිඳිමියි සිතීය. නැවත මෙසේ සිතීය. මම සම්භාවනීය ගුරුවරයකු වෙත ශික්ෂාපද සමාදන්ව (එම ශික්ෂාපද) බිඳීම් නම් එය මට සුදුසු නොවේ. කියායි. මෙසේ තුන්වන වාරය දක්වා සිතා ජීවිතය පරිත්‍යාග කරමි. ශික්ෂාපද නො සිඳිමියි අංශයෙහි තබන ලද දණ්ඩ සහ වෑය කැළයට දැමීය. එකෙණෙහිම ඒ මහා සර්පයා ඔහු මුදා ගියේය.
ආර්යමාර්ග විරතිය සමුච්ඡේද විරතිය යැයි දතයුතුයි. එහි උත්පත්තියේ පටන් ආර්ය පුද්ගලයන්ට ප්රාණියෙකු ඝාතනය කෙරෙමියි සිතකුදු නූපදී යනුයි.
දැන් අකුසලයන්ගේ (විනිශ්චය) යම්සේ ද මේ කුශල කර්ම පථයගේ විනිශ්චය ද ධර්ම වශයෙන් කොට්ඨාශ වශයෙන් ආරම්මණ වශයෙන් වේදනා වශයෙන් මූල වශයෙන්දැයි පස් අයුරකින් දතයුතුයි.
එහි ධම්මතෝ යනු මේවා කෙරෙහි පිළිවෙළින් සප්ත චේතනාවෝ ද විරතීහු ද වැටෙත්. අන්තයෙහි චේතනා සම්ප්‍රයුක්ත තුන ද (වෙයි)
කොට්ඨාසතෝ යනු පිළිවෙළින් සප්ත කර්මපථයෝමය. මූල නොවේ. අන්තයෙහි කර්මපථ තුන මෙන්ම මූලයෝ ද වෙත්. අනභිධ්‍යාව වනාහි මූලයට පැමිණ අලෝභය කුශලමූලය වෙයි. අව්‍යාපාදය අදෝෂය කුශල මූලය, සම්යක්දිෂ්ටිය අමෝහය කුශල මූලය,
ආරම්මණතෝ යනු ප්‍රාණඝාතාදීන්ගේ අරමුණුම මොවුන්ගේ අරමුණු වෙයි. ව්‍යතික්‍රමණය (ඉක්මවීම) කළයුතු හෙයින්ම වනාහි වේරමණී නම් වෙයි. යම්සේ වනාහි නිවන් අරමුණු කරගත් ආර්යමාර්ගය කෙලෙස් දුරුකරයි ද එමෙනි. මෙසේ ජීවිතින්ද්රිය ආදී අරමුණු පහ වූ කල්හි කර්මපථයෝ ප්‍රාණඝාතාදී වූ දුශ්ශීල්යයන් අත්හරිත් යැයි දතයුතුයි.
වේදනාතෝ යනු සියලුම සැප වේදනා හෝ මධ්‍යස්ථ වේදනාවෝ වෙත්, කුශලයට පැමිණ දුක්වේදනා නම් නැත.
මූලතෝ යනු පිළිවෙළින් සප්තකර්මපථයෝ භූත සම්ප්‍රයුක්ත සිතින් වළකින්නාට අලෝභ අද්වේෂ අමෝහ වශයෙන් ත්‍රිමූල වෙත්. ඥාන විප්‍රයුක්ත සිතින් වළකින්නාට මූල දෙකකි. ඥාන සම්ප්‍රයුක්ත සිතින් වළකින්නාගේ අනභිධ්‍යාව ද්විමූල වෙයි. මෙතැන ඤාණ සම්ප්රයුත්තයැයි පෙළපොතේ ඇත. එය මුද්‍රණ දෝෂයකැයි හැඟේ. ඥාන විප්‍රයුක්ත සිතින් (වළකින්නාට) එක් මූලයකි. අලෝභය වනාහි තමාම තමාට මූලය නොවේ. අව්‍යාපාදයෙහි ද මේ නයමය. සම්‍යක් දෘෂ්ටිය අලෝභ අද්වේෂ වශයෙන් ද්විමූලම වෙයි. මේ දශකුශල කර්මපථ නමි.