අකුසලකම්මපථකථා
ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, කේළාම් කීම, පරුෂ වචන කීම, සම්පප්‍රලාපය, අභිධ්‍යාව, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ටිය යැයි මේ වනාහි දශ අකුශල කර්මපථයෝ නම් වෙත්.
එහි ප්‍රාණියකුගේ නැසීම පාණාතිපාත නමි. ප්‍රාණවධය ප්‍රාණඝාතයැයි කියන ලද්දේ වෙයි. මෙහි ප්‍රාණ යනු ව්‍යවහාර වශයෙන් සත්ත්වයායි. පරමාර්ථ වශයෙන් ජීවිතින්‍ද්‍රියයි. ඒ ප්‍රාණියා කෙරෙහි ප්‍රාණියෙක් යන හැඟීම ජීවිත්තේන්‍ද්‍රිය සිඳීම වූ උපක්‍රමයෙන් උපදවන ලද කායවාක් ද්වාරයන්ගෙන් එක්තරා ද්වාරයෙක පැවති වධක චේතනාව පාණාතිපාතයයි. එය ගුණවිරහිත තිරිසන්ගත ආදී ප්‍රාණින් අතුරෙහි කුඩා ප්‍රාණීන් කෙරෙහි අල්පසාවද්‍යයි. මහාප්‍රාණීන් කෙරෙහි මහාසාවද්‍යයයි. කවර හෙයින් ද? ප්‍රයෝගය මහත් බැවිනි. ප්‍රයෝගය සමවුව ද වස්තු මහත් බැවිනි. ගුණවත් මනුෂ්‍යාදීන් අතුරෙහි අල්පගුණ ඇති ප්‍රාණින් විෂයෙහි අල්පසාවද්‍යය. මහාගුණ ඇති ප්‍රාණීන් විෂයෙහි මහාසාවද්‍යයි. ශරිර ගුණයන්ගේ ස්වභාවය ඇති කල්හි වනාහි ක්ලේශයන්ගේ හා උපක්‍රමයන්ගේ මෘදු බැවින් අල්පසාවද්‍යයි. තීව්‍ර බව ඇති කල්හි මහා සාවද්‍යයැයි දතයුතුයි.
එයට වනාහි ප්‍රාණියකු වීම ප්‍රාණියෙක යන හැඟීම වධක සිත උපක්‍රමය ඒ උපක්‍රමයෙන් මරණය (සිදුවීම) යැයි කරුණු පසෙක් වෙයි. සාහත්‍ථික (සියතින් මරණය සිදුකිරිම) ය, ආණක්තක (අණ කිරිමෙන් මරණය සිදුකිරිම) ය, නිස්සග්ගිය (ඉබේ මැරෙන්නට ඉඩ හැරිම) ස්ථාවරය, විද්‍යාමය, ඍද්ධිමය යැයි ප්‍රයෝග සයෙකි. මෙහිදී මෙය විස්තර කිරීම වනාහි අතිශයින් ප්‍රමාදයක් වෙයි. එහෙයින් එය විස්තර නො කරමු. මෙවැනි වෙනත් (විස්තර) ද අවශ්‍ය අය විසින් සමන්තපාසාදිකා නම් විනය අටුවාව බලාගත යුතුයි.
නුදුන් දෙය ගැනීම අදින්නාදානයයි. අනුන්ගේ දෙය පැහැර ගැනීම සොරකම චෝරිකාව (සොරකම) යැයි කියන ලද්දේ වෙයි. එහි අදින්න යනු අනුන් විසින් අයිති කරගත් දෙයයි. යම් වස්තුවෙක්හි අන්‍යයා කැමති සේ ක්‍රියා කළහැකි තත්ත්වයට පැමිණෙනුයේ අදණ්ඩාරහව (දඬුවමට නුසුදුසුව) නිදොස් වූයේ ද වෙයිද, අනුන් අයත් ඒ වස්තුවෙහි වනාහි අනුන් අයත්ය යන සංඥාව ඇතිව එය ගැනීමේ උපක්‍රමයෙන් උපදවන ලද සොර චේතනාව අදින්නාදානයයි. එය හීන වූ පරසන්තක වස්තුවෙහි අල්පසාවද්‍යය, උසස් වූ වස්තුවෙහි මහාසාවද්‍යයය, කවර හෙයින් ද? වස්තුවේ උසස් බව නිසාය. වස්තුව සමව ඇති කල්හි ගුණාධිකයන් සතු වස්තුවෙහි මහාසාවද්‍ය වේ. ඒ ඒ ගුණාධිකයන් ගෙන එයින් හීනගුණ ඇතියා සතු වස්තුවෙහි අල්පසාවද්‍ය වේ.
අන්‍යයා අයත් වස්තුවක් වීම අන්‍යයා අයත් වස්තුවක්ය යන හැඟීම සොරසිත උපක්‍රමය එයින් පැහැරගැනීම යැයි එයට කරුණු පසෙකි. සාහත්‍ථිකාදී ප්‍රයෝග ද සයෙකි. ඔහු ද වනාහි පිළිවෙළින් ථෙය්‍යාවහාරය පසය්යාවහාරය යැයි මේ පංච අවහාරයන්ගේ වශයෙන් පවතිත්. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තරය වනාහි සමන්තපාසාදිකාවෙහි කියන ලදී.
කාමේසු මිච්ඡාචාරො යන මෙකී වනාහි කාමේසු යනු මෛථුන හැසිරිම්වලය. මිච්ඡාචාර යනු ඒකාන්තයෙන් නින්දිත ලාමක හැසිරීමයි. ලක්‍ෂණ වශයෙන් වනාහි අසද්ධර්ම අදහසින් කායද්වාරයෙහි පවත්නා නොයා යුතු තැන් ඉක්මවීමේ චේතනාව කාම මිථ්‍යාචාරයයි.
මෙහි නොයා යුතු තැන් නම් පුරුෂයින්ට වනාහි මව විසින් රකිනු ලබන ස්ත්‍රිය, පියා විසින් රකිනු ලබන ස්ත්‍රිය, මව හා පියා විසින් රකිනු ලබන ස්ත්‍රිය, සහෝදරයා විසින් රකිනු ලබන ස්ත්‍රිය, සහෝදරිය විසින් රකිනු ලබන ස්ත්‍රිය, ඥාතීන් විසින් රකිනු ලබන ස්ත්‍රිය, ගෝත්‍රිකයන් විසින් රකිනු ලබන ස්ත්‍රිය, ධර්මයෙන් රකිනු ලබන ස්ත්‍රිය, ආරක්‍ෂා සහිත ස්ත්‍රිය සපරිදණ්ඩ ස්ත්‍රිය යැයි මාතුරක්ඛිතා ආදි දසදෙනාය. ධනක්කීත ඡන්‍දවායිනී භොගවාසිනී පටවාසිනී ඕදපත්තකිනී ඕහට චුම්බටය, දාසි භාර්යාවය, කම්කරු භාර්යාවය, ඔජාහටය, මුහුක්ති කාය යන මේ ධනක්කීතාදි දසදෙනාය යන විසිවැදෑරුම් ස්ත්‍රීහුය. ස්ත්‍රීන් අතුරෙහි වනාහි සාරක්ඛ සපරිදණ්ඩ යන දෙදෙනාට ද ධනක්කීතාදි දසදෙනාටය යන දොළොස්දෙනාට මේ අන්‍ය පුරුෂයන්ට නොයා යුතු තැන් නමි.
ඒ මිථ්‍යාචාර්ය වනාහි සීලාදී ගුණරහිත නොයා යුතු තැන්හි අල්ප සාවද්‍යය, සීලාදි ගුණ සම්පන්න අය කෙරෙහි මහා සාවද්‍යය. නොයා යුතු වස්තුවය. එය සේවනය කිරීමේ සිතය. සේවනය පිළිබඳ ප්‍රයෝගය, මාර්ගයෙන් මාර්ගය පැමිණවීම ඉවසීම යැයි එහි කරුණු සතරකි. එක් ප්‍රයෝගයක් සාහත්‍ථිකමය.
මුසා යනු බොරුකීම පෙරදැරිකොට ගත්තහුගේ ඇති දෙය නැතිකරන වාක් ප්‍රයෝගය හෝ කාය ප්‍රයෝගයයි. බොරු කීමේ අදහසින් එකිනෙකාට බොරු කියන කාය වාක් ප්‍රයෝගයෙන් උපන් චේතනාව මුසාවාදයයි. තවත් නයකි. මුසා යනු නොවූ අසත්‍ය වස්තුවකි. වාද යනු එය සිදුවූවක් ලෙසින් සත්‍ය ලෙසින් හැඟවීමයි. ලක්‍ෂණ වශයෙන් වනාහි අසත්‍ය වස්තුවක් සත්‍ය වශයෙන් අන්‍යයාට ඇඟවීමට කැමැත්තහුගේ එසේ ඇඟවීමේ දී උපන් චේතනාව මුසාවාදයයි. එය යම් අර්ථයක් විනාශ කරයි ද, එහි අල්ප බව අනුව අල්පසාවද්‍ය වෙයි. මහත්බව අනුව මහාසාවද වෙයි. තවද ගිහියන්ට තමන් සතු දෙය නො දෙනු කැමැත්තෙන් නැතැයි ආදී නයින් පැවතියේ අල්පසාවද්‍යය. සාක්‍ෂිව සිට අර්ථ විනාශය පිණිස කියන ලද්දේ මහා සාවද්‍යයි. පැවිද්දන්ට ස්වල්ප වූ හෝ තෙලක් හෝ ගිතෙල් හෝ ලැබ සිනා අදහසින් අද ගමේ තෙල් ගඟක් ගලන්නාක් මෙනැයි සිතේයැයි පුරාණ කථා නයින් පැවතියේ අල්පසාවද්‍යයි. නුදුටු දෙයක්ම වනාහි දක්නා ලද්දේය යන ආදී නයින් කියන්නවුන්ට මහා සාවද්‍යයි.