කම්මකථා
දැන් යම් කර්මත්‍රයක් තබා මේ කර්මද්වාර දක්වන ලදී. ඒවා මුල්කොට අවශේෂ ද්වාරකථාව පිළිබඳ මාතෘකාව තැබීමට විස්තර කථාවක් වෙයි. කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මයැයි කර්ම තුනකි. මේ කර්මය යනු කුමක් ද? චේතනාව හා චේතනා සම්ප්‍රයුක්ත වූ ඇතැම් ධර්මයෝ ය. එහි චේතනාවෙහි කර්මභාවය පිළිබඳ මේ සූත්‍රයෝය.
‘මහණෙනි! මම චේතනාව කර්මය යැයි කියමි. සිතා කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.’ ‘ආනන්දය! කය ඇති කල්හි වනාහි කාය සංචේතනා හේතුවෙන් ආධ්‍යාත්මික සැපදුක් උපදී. ආනන්දය, වචනය ඇතිකල්හි වනාහි වචී සංචේතනා හේතුවෙන් ආධ්‍යාත්මික සැපදුක් උපදී. ආනන්දය! මනස ඇති කල්හි වනාහි මනෝසංචේතනා හේතුවෙන් අධ්‍යාත්මික සැපදුක් උපදී.’ ‘මහණෙනි, කාය සංචේතනාව ත්‍රිවිධය. අකුසල කාය කර්මය දුක් උපදවන්නේ ය. දුක්විපාක ඇත්තේ ය. මහණෙනි, වචී සංචේතනාව චතුර්විධය. -පෙ- මහණෙනි, මනෝ සංචේතනාව ත්‍රිවිධ ය. කුසල මනෝ කර්මය සැප උපදවන්නේ ය. සැපවිපාක ඇත්තේ ය.’ ‘ඉදින් ආනන්දය! සමිද්ධි මෝඝපුරුෂ තෙමේ මෙසේ විචාරන ලදුව පෝතලීපුත්‍ර පරිව්‍රාජකයාට මෙසේ ප්‍රකාශ කරන්නේය. ඇවැත් පෝතලී පුත්‍රයෙනි, කයින් වචනයෙන් (හෝ) මනසින් සිතිය යුතු සැප වේදනා මෑත කර්මයක් කොට හෙතෙම සැප විඳී. -පෙ- අදුක්ඛමසුබ වේදනීය (කර්මයක් කොට) හෙතෙම අදුක්ඛමසුඛ වේදනාවක් විඳී යනුයි. ආනන්දය! මෙසේ ප්‍රකාශ කරන්නා වූ සමිද්ධි මෝඝපුරුෂ තෙමේ පොතලිපුත්‍ර පරිව්‍රාජකයාට මනාව ප්‍රකාශ කරන්නේ ය’ යනුයි.
මේ වනාහි චේතනාවෙහි කර්මභාවය පිළිබඳ සූත්‍රයෝයි. චේතනා සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ කර්මභාවය වනාහි කර්ම චතුෂ්කයෙහි දක්වන ලදී. මෙය ද කියන ලදී.
‘මහණෙනි, මා විසින් තමා විසින් විශේෂයෙන් ප්‍රත්‍යක්‍ෂ කොටගෙන ප්‍රකාශ කරන ලද කර්ම සතරෙකි. කවර සතරක් ද? මහණෙනි, අකුසල වූ අකුසල විපාක ඇති කර්මයක් ඇත. මහණෙනි, කුසල වූ කුසලවිපාක ඇති කර්මයක් ඇත. මහණෙනි, අකුසල් වූ ද කුසල් වූද අකුසල විපාක ද කුසල විපාක ද ඇති කර්මයක් ඇත. මහණෙනි, අකුසලක් නොවූ කුසලක් නොවූ අකුසලුත් නොවූ කුසලුත් නොවූ විපාක ඇති කර්මයක් ඇත. (එම) කර්මය කර්මක්‍ෂය පිණිස පවතී. මහණෙනි! කුසලාකුසල නොවූ කුසලාකුසල විපාක නැති කර්මක්‍ෂය පිණිස පවත්නා (ඒ) කර්මය කවරේ ද? මේ සපත්බෝධ්‍යාංගයෝය. සති සම්බොජ්ඣංගය -පෙ උපේක්‍ෂා සම්බෝධ්‍යාංග යයි, මහණෙනි! මේ කර්මය අකුසල් හා කුසල් නොවූ අකුසලවිපාක නොවූ කර්මක්‍ෂය පිණිස පවත්නා කර්මය යැයි කියනු ලැබේ. මහණෙනි, අකුසල් හෝ කුසල් නොවූ අකුසල හෝ කුසල විපාක නැති කර්මක්‍ෂය පිණිස පවත්නා කර්මය කවරේ ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමැයි, ඒ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය -පෙ- සම්‍යක් සමාධියයි. මහණෙනි, මෙය අකුසලයක් නොවූ කුසලක් නොවූ අකුසල හා කුසල විපාකත් නැති කර්මක්‍ෂය පිණිස පවත්නා කර්මයැයි කියනු ලැබේ’ යනුයි.
මෙසේ බෝධාංග මාර්ග ප්‍රභේදයෙන් මේ පසළොස් ධර්මයෝ වනාහි කර්ම චතුෂ්කයෙහි දක්වන ලදී. අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යාදෘෂ්ටි අනභිධ්‍යා අව්‍යාපාද සම්‍යක්දෘෂ්ටි යන මේ සයත් සමග විසිඑකක් චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝ දතයුත්තාහ.
එහිදී ලෝකෝත්තර මාර්ගය භජනය කරනුයේ කාය කර්මාදී ත්‍රිවිධ කර්මයන් භජනය කරයි. යමෙක් වනාහි දුශ්ශීල බවක හැසිරේ ද, එයින් සංවරවීම කායික සංවරය යැයි දතයුතුයි. යමෙක් වනාහි වචනයෙන් දුශ්ශීල බව වෙත හැසිරේ ද, එයින් සංවරවීම වාචසික සංවරය යැයි දතයුතුයි. මෙසේ සම්‍යක් කර්මාන්තය කාය කර්මයයි. සම්‍යක් වචනය වාක් කර්මයයි. මේ දෙක ගත් කල්හි සම්‍යක් ආජීවය එහි ඇතුළත් හෙයින් ගන්නා ලද්දේම වෙයි. යමෙක් වනාහි සිතින් දුශ්ශීලබවෙහි හැසිරේ ද, එයින් සංවරවීම මානසික (සංවරය) යැයි දතයුතුයි. එය දෘෂ්ටි සංකල්ප ව්‍යායාම සති සමාධි වශයෙන් පංචවිධ වෙයි. මේ පංචවිධය ද මනෝකර්ම නමි. මෙසේ ලෝකෝත්තර මාර්ගය භජනය කරවනු ලබන්නේ කර්මත්‍රය භජනය කරයි.
මේ ස්ථානයෙහි කර්ම සංසන්දනය නම් වෙයි. කායවාක් ද්වාරයන්හි වනාහි චලනයට පැමිණ කර්මපථයට නො පැමිණි (කර්මයක්) ඇත, මනෝද්වාරයෙහි ද හැසිරීමට පැමිණ කර්මපථයට නො පැමිණි (කර්මයක්) ඇත. එය ගෙන ඒ ඒ ද්වාරපාක්‍ෂිකයම කළාහ.