මනොකම්මද්වාරකථා
මනෝකර්මද්වාර කථාවෙහි වනාහි කාමාවචරාදී වශයෙන් සිව් වැදෑරුම් වූයේ මනස නම් වේ. එහි කාමාවචර (සිත) සිව්පනස් වැදෑරුම් වේ. රූපාවචර (සිත) පසළොස් වැදෑරුම්ය. අරූපාවචර (සිත) දොළොස් වැදෑරුම්ය. ලෝකෝත්තර (සිත) අටවැදෑරුම් යැයි සියල්ලම අසූනව වැදෑරුම් වෙයි. මෙහිදී මෙය මනෝද්වාරය නම් නො වේයැයි නො කිවයුතු ය. එසේම මේ චේතනාව නම් කර්මය නොවේ යැයි නොකිව යුතුය. යටත් පිරිසෙයින් පංච විඥාන සම්ප්රයුක්ත චේතනාව ද කර්මය මැයි මහා ප්රකරණයෙහි දක්වන ලදී. එපරිද්දෙන්ම මේ මනස නම් මනෝ ද්වාරය නොවේ යැයි නො කිවයුතුයි.
මෙහිදී (මෙසේ) කියන ලදී. මේ කර්මය කුමක් නම් කෙරේ ද යනුයි. රැස්කරයි. අභිසංස්කරණය කරයි. (පිඩු කරයි) සිතයි. කල්පනය කරයි. ප්රකල්පනය කරයි යනුයි. එසේ ඇතිකල්හි පංචවිඥාන චේතනාව කුමක් රැස් කරයිද? කුමක් අභිසංස්කරණය කරයි ද, කුමක් පිඬු කරයි ද, (සිතයි ද, කල්පනය කරයි ද ප්රකල්පනය කරයි ද?) යනුයි. ඒ චේතනාව වනාහි සහජාත ධර්මයන් සහජාත සම්ප්රයුක්ත ස්කන්ධයන් රැස්කරයි. අභිසංස්කරණය කරයි. පිඬු කරයි. සිතයි. කල්පනය කරයි. ප්රකල්පනය කරයි. මේ වාදයෙන් (ප්රයෝජන) කිම? මෙය සර්ව සංග්රාහක වශයෙන් කියන ලදී. මෙය වනාහි මෙහි තීරණයයි. ත්රෛභූමක කුසල් හා අකුසල් විසිනව වැදෑරුම් මනස මනෝකර්මද්වාර නමි. ඒ මනෝ ද්වාරයෙහි සිද්ධ වූ යම් චේතනාවක් වේ ද, යම් චේතනාවකින් අභිධ්යා ව්යාපාද මිථ්යා දර්ශනයන් මෙන්ම අනභිධ්යා අව්යාපාද සම්යක් දර්ශනයක් ද ගනීද, මෙය මනෝකර්මය නමි. මින්පසුව සියලු කර්ම ව්යවස්ථානය මෙන්ම ද්වාර ව්යවස්ථානය ද යටකියන ලද නයින්ම දතයුතුයි යනුයි. මේ තුන කර්මද්වාර නමි.
මනෝ කර්මද්වාර කථාව නිමියේය.
කම්මකථා
දැන් යම් කර්මත්රයක් තබා මේ කර්මද්වාර දක්වන ලදී. ඒවා මුල්කොට අවශේෂ ද්වාරකථාව පිළිබඳ මාතෘකාව තැබීමට විස්තර කථාවක් වෙයි. කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මයැයි කර්ම තුනකි. මේ කර්මය යනු කුමක් ද? චේතනාව හා චේතනා සම්ප්රයුක්ත වූ ඇතැම් ධර්මයෝ ය. එහි චේතනාවෙහි කර්මභාවය පිළිබඳ මේ සූත්රයෝය.
‘මහණෙනි! මම චේතනාව කර්මය යැයි කියමි. සිතා කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.’ ‘ආනන්දය! කය ඇති කල්හි වනාහි කාය සංචේතනා හේතුවෙන් ආධ්යාත්මික සැපදුක් උපදී. ආනන්දය, වචනය ඇතිකල්හි වනාහි වචී සංචේතනා හේතුවෙන් ආධ්යාත්මික සැපදුක් උපදී. ආනන්දය! මනස ඇති කල්හි වනාහි මනෝසංචේතනා හේතුවෙන් අධ්යාත්මික සැපදුක් උපදී.’ ‘මහණෙනි, කාය සංචේතනාව ත්රිවිධය. අකුසල කාය කර්මය දුක් උපදවන්නේ ය. දුක්විපාක ඇත්තේ ය. මහණෙනි, වචී සංචේතනාව චතුර්විධය. -පෙ- මහණෙනි, මනෝ සංචේතනාව ත්රිවිධ ය. කුසල මනෝ කර්මය සැප උපදවන්නේ ය. සැපවිපාක ඇත්තේ ය.’ ‘ඉදින් ආනන්දය! සමිද්ධි මෝඝපුරුෂ තෙමේ මෙසේ විචාරන ලදුව පෝතලීපුත්ර පරිව්රාජකයාට මෙසේ ප්රකාශ කරන්නේය. ඇවැත් පෝතලී පුත්රයෙනි, කයින් වචනයෙන් (හෝ) මනසින් සිතිය යුතු සැප වේදනා මෑත කර්මයක් කොට හෙතෙම සැප විඳී. -පෙ- අදුක්ඛමසුබ වේදනීය (කර්මයක් කොට) හෙතෙම අදුක්ඛමසුඛ වේදනාවක් විඳී යනුයි. ආනන්දය! මෙසේ ප්රකාශ කරන්නා වූ සමිද්ධි මෝඝපුරුෂ තෙමේ පොතලිපුත්ර පරිව්රාජකයාට මනාව ප්රකාශ කරන්නේ ය’ යනුයි.