වචීකම්මද්වාරකථා
වචීකර්මද්වාර කථාවෙහි වනාහි චේතනා විරති ශබ්ද වශයෙන් වාචා යන්න ත්‍රිවිධය. ‘මහණෙනි, අංග සතරකින් සමන්විත වචනය සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි. නුවණැතියන් විසින් අනුගමනය කරන ලද්දේ ද වෙයි’ යනුයි. චේතනා වාචා නමි. ‘සතර දුශ්චරිතයන්ගෙන් හෝ යම් ඉවත්වීමක් නො ඇලීමක් වේ ද, -පෙ- මෙය ‘වාචා වචනය වාග්පථය කීම ඝෝෂාව ඝෝෂාකිරිම වචනය වචීභේදය යන මෙය ශබ්දවාචා නමි. මොවුනතුරෙහි වචීකර්මද්වාර යනු චේතනාවට නමක් නම් නොවේමය. විරතියට ද නමක් නොවේ. ශබ්දය සමග වනාහි එක් විඥප්තියක් ඇත. මෙය වචීකර්මය නම් වේ. එය සඳහා (මෙසේ) කියන ලදී. ‘ඒ වචී විඥප්ති රූපය කවරේ ද? කුසල සිතේ හෝ අකුසල සිතේ හෝ අව්‍යකෘත සිතේ හෝ යම් වාචාවක් වචනයක් වාග්පථයක් කීමක් ඝෝෂාවක් සෝෂණ කර්මයක් වාචාවක් වාග් භේදයක් වේද මෙය වාචා යැයි කියනු ලැබේ. ඒ වාචාව පිළිබඳ යම් විඥප්තියක් විඥාපනයක් විඥාපනය කළ බවක් වේ ද, ඒ මෙය වචී විඥප්ති රූපයි’ යනුයි.
‘මෙය කියමි එය කියමි’ යැයි විතර්කනය කරන්නාට විතර්ක විස්ථාර ශබ්දය (විතර්කය පැතිරෙන ශබ්දය) නම් ශබ්දයක් උපදී. මෙය ‘සොත විඥෙය්‍ය නොවේ. මනෝ විඥෙය්‍යය’ යැයි මහාට්ඨ කථාවෙහි ආයේය. ආගමට්ඨ කථාවන්හි වනාහි විතක්ක විප්ඵාර සද්ද යනු විතර්ක විස්ථාර වශයෙන් උපන් දොඩවන්නවුන්ගේ නින්දෙන් ප්‍රවත්ත වූවන්ගේ ශබ්දයයි. සුත්‍වා යනු එය අසායි. යමක් විතර්කනය කරන්නාගේ ඒ ශබ්ද උපන්නේ එය අනුව ‘ඔබගේ සිත මෙසේය. ඔබගේ මෙබඳුය’ යැයි කියයි යැයි කියා වස්තු ද කියන ලදී. පට්ඨාන ප්‍රකරණයෙහි ද ‘චිත්තය සමුට්ඨාන වූ සද්දායතනය සෝත විඤ්ඤාණයට ආරම්මණ පච්චය වශයෙන් ප්‍රත්‍ය වේ’ යැයි ආයේය. එහෙයින් සෝත විඤ්ඤත්ති ඝට්ටනයකින් තොරව උපදනා අසෝක විඤ්ඤෙය්‍ය විතර්ක විස්ථාර ශබ්දයක් නම් නැත. මෙය කියමි’ ‘එය කියමි’යි උපදනා සිත වනාහි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වණ්ණ ගන්ධ රස ඕජා යන අෂ්ටරූපයන් උපදවයි. ඔවුන්ගේ අභ්‍යන්තරයෙහි චිත්ත සමුට්ඨාන වූ පඨවි ධාතුව උපාදින්නක සිත සංඝට්ටනය වෙමින්ම උපදී. එම ධාතු සමුට්ඨාන සද්ද නමි. මෙය විඥප්තිය නොවේ. එම චිත්ත සමුට්ඨාන පඨවි ධාතුවේ වනාහි උපදින්නකය හා ගැටීමට හේතුභූත එක් ආකාර විකාරයෙක් ඇත. මෙය වචී විඤ්ඤත්තිය නමි. මෙයින් පසුව ‘එය අෂ්ට රූපයන් මෙන් චිත්ත සමුට්ඨාන නොවේ’ යන ආදි සියල්ල යට කියන ලද නයින්ම දතයුතුයි.
මෙහි ද වනාහි නිස්සය, දත්තය, මිත්‍රය, යැයි කැඳවන්නාගේ ශබ්දය අසා විඥප්තිය මනෝද්වාරික සිතින් සිතා මෙතෙම මේ මේ දේ කරයි. සිතයි යැයි දනී. කාය විඥප්තිය මෙන් මෙය ද තිරිසන්ගත සතුන්ගේ ද ප්‍රකට වෙයි. එව යව යන ශබ්ද අසා තිරිසන්ගත සත්තු ද මෙතෙම මෙය කරයි හඟියි දැන එන්නාහු යන්නාහු වෙත්. ඔව්හු සමුට්ඨානික කාය චලනය කරත් ද, චලනය නො කරත් ද යන මේ වාරය වනාහි මෙහි නො ලබයි. පළමු චිත්ත සමුට්ඨානයෙන් උපත්‍ථම්භක කිසක් ද නැත. ඒ වචී ද්වාරයෙහි සිද්ධ යම් චේතනාවක් වේද එයින් බොරු කියයි ද කේලාම් කියයි ද ඵරුෂ වචන කියයි ද ප්‍රලාප දොඩයි ද මුසාවාදාදියෙන් වළකීද මේ වචීකර්ම නමි. මෙයින් මතු සියලු කර්ම ව්‍යවස්ථානයත් ද්වාර ව්‍යවස්ථානයත් යට කී නයින්ම දතයුතුයි යනුයි.
වචී කම්මද්වාර කථා නිමියේය.
මනොකම්මද්වාරකථා
මනෝකර්මද්වාර කථාවෙහි වනාහි කාමාවචරාදී වශයෙන් සිව් වැදෑරුම් වූයේ මනස නම් වේ. එහි කාමාවචර (සිත) සිව්පනස් වැදෑරුම් වේ. රූපාවචර (සිත) පසළොස් වැදෑරුම්ය. අරූපාවචර (සිත) දොළොස් වැදෑරුම්ය. ලෝකෝත්තර (සිත) අටවැදෑරුම් යැයි සියල්ලම අසූනව වැදෑරුම් වෙයි. මෙහිදී මෙය මනෝද්වාරය නම් නො වේයැයි නො කිවයුතු ය. එසේම මේ චේතනාව නම් කර්මය නොවේ යැයි නොකිව යුතුය. යටත් පිරිසෙයින් පංච විඥාන සම්ප්‍රයුක්ත චේතනාව ද කර්මය මැයි මහා ප්‍රකරණයෙහි දක්වන ලදී. එපරිද්දෙන්ම මේ මනස නම් මනෝ ද්වාරය නොවේ යැයි නො කිවයුතුයි.