කායකම්මද්වාරකථා
මෙහි අර්ථය ප්රකාශ කිරීම පිණිස මෙතැන දී මහා අට්ඨකථාවේ ද්වාර කථාව කියන ලදී. එහි කර්ම තුනකි. කර්මද්වාර තුනකි. විඥාන පසෙකි. විඥාන ද්වාර පසෙකි. ස්පර්ෂ සයෙකි. ස්පර්ශද්වාර පසෙකි. අසංවර අටෙකි. සංවර අටෙකි. සංවරද්වාර අටෙකි. කුශල කර්මපථ දශයෙකි. අකුශල කර්මපථ දශයෙකි යැයි මෙය මෙතෙක් ද්වාර කථාවෙහි මාතෘකා තැබීම නමි.
එහිදී කර්මත්රය පළමුවෙන් කියන ලද නමුදු ඒවා තබා පළමුවෙන් කර්මද්වාරත්රය බෙදා දක්වන ලදී. කවර තුනෙක් ද? කායකර්ම ද්වාරය වචීකර්ම ද්වාරය, මනෝකර්ම ද්වාරය යනුයි.
එහි උපාදින්නක ආහාර සමුට්ඨාන, උතු සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන යැයි කාය චතුර්විධය. එහි චක්ෂුරායතනය ආදිකොට ඇති ජීවිතේන්ද්රිය කෙළවරකොට ඇති අට ද කම්ම සමුට්ඨාන රූපයෝ ද කම්ම සමුට්ඨානයෝමය. සතර ධාතු වර්ණ ගන්ධ රස ඕජා යන අට උපාදින්නකාය නමි. ආහාරයෙන් හටගත් ඒ අටම ආහාර සමුට්ඨානික කාය නමි. සෘතුයෙන් හටගත් අට උතුසමුට්ඨානික කාය නමි. සිතින් හටගත් අට චිත්ත සමුට්ඨානික කාය නමි.
ඔවුනතුරෙන් කාය කර්මද්වාර යනු උපාදින්නක කායට නමක් නොවේමය. අන් ඒවාට ද නමක් නොවේ. චිත්ත සමුට්ඨාන වූ රූප අටෙහි එක් විඥප්තියක් ඇත. එය කාය කම්මද්වාර නමි. එය සඳහා කියන ලදී. ‘ඒ රූපකාය විඥප්තිය කුමක් ද? කුශල සිතේ හෝ අකුශල සිතේ හෝ අව්යාකෘත සිතේ හෝ ඉදිරියට යන්නාගේ හෝ ආපසු එන්නාගේ හෝ ඉදිරිය බලන්නාගේ හෝ ආපසු බලන්නාගේ හෝ හකුළන්නාගේ හෝ දිග හරින්නාගේ කයෙහි දැඩිවීමක් විශේෂයෙන් දැඩිවීමක් දැඩි වූ බවත් විඥප්තියක් විඥාපනයක් විඥාපිත බවක් වේ ද, ඒ මේ රූපය කාය විඥප්තියයි යනුයි. ඉදිරියට යමි. ආපසු එමි යැයි උපදනා සිත රූපය උපදවයි. එහි පඨවී ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඒ ඇසුරු කළ වර්ණ ගන්ධ රස ඕජා යන අට වැදෑරුම් රූපයන්ගේ අභ්යන්තරයෙහි සිතින් උපදනා යම් වායෝ ධාතුවක් වේ ද එය තමා සමග උපන් රූපකාය දැඩි කරවයි දරයි සොලවයි ඉදිරියට යවයි ආපසු එවයි,
එහි ඒකාවර්ජන වීථියෙහි ජවන් සිත් සතෙහි පළමු සිතින් උපදවන ලද වායෝ ධාතුව (තමා සමග එකට උපන් රූපකාය) දැඩි කරන්නට දරන්නට හැකිවෙයි. ඔබමොබ චලනය කරන්නට නො හැකි වෙයි. ද්විතීයාදියෙහි ද මේ ක්රමයමය. සත්වන සිතින් උපන් (වායෝ ධාතුව) වනාහි යට සිත් සයෙන් උපදවන ලද වායෝධාතුව උපස්ථම්භ ප්රත්යය ලැබ තමා සමග සහජාත රූපකාය දැඩි කරන්නට දරන්නට චලනය කරන්නට ඉදිරියට යවන්නට ආපසු එවන්නට ඉදිරිය බලන්නට ආපසු බලන්නට හකුළුවන්නට දිගහැරවන්නට හැකිවෙයි. එයින් යෑම (ගමන) නම් ඇතිවෙයි. ඒම (ආගමන) නම් ඇතිවෙයි. (ගමනාගමනය නම් ඇතිවෙයි) යොදුනක් ගියේය. දසයොදුනක් ගියේයැයි කියයුතු බවට පමුණුවයි.