10. වේලාම සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අපි නු තෙ ගහපති කුලෙ දානං දීයති යනු භාග්‍යවතුන් වහන්සේ මෙය භික්ෂු සංඝයාට දෙන දානය සඳහා නොවිමසන සේක. සිටුවරයාගේ නිවසෙහි භික්ෂු සංඝයාට නිබඳව ප්‍රණීත දානය දෙනු ලැබේ. එය ශාස්තෲන් වහන්සේ නොදන්නා සේක් නොවෙති. ලෞකික මහජනයාට දෙනු ලබන දානයක් ඇත. එය රළු වෙයි. සිටුවරයාගේ සිත නොපිණවෙයි. එය අසමැයි අසයි, කණාජකං යනු සහල් පොතෙන් සෑදු බතයි, සහල් පොතුවලින් ද සුන්සහලින් ද පිසූ බතයි, බිලඞ්ගදූතියං යනු කැඳ දෙවැනි කොට ඇත්තේයි. අසක්කච්චං දෙති යනු සත්කාර නොකොට දෙයි, අගෞරවයෙන් දක්‍ෂිණෙය්‍ය පුද්ගලයා කෙරෙහි අගෞරවයෙන් දෙයි, අසහත්‍ථා දෙති යනු සියතින් නොදී අනුන් අතින් දෙයි. ඇණවීම් පමණම කරයි යන අරුත්ය, අපවිද්ධං දෙති යනු නිරතුරුව නොදෙයි, අවුරුද්දකට වරක් ඇතිවන යමක් මෙන් වෙයි. අනාගමනදිට්ඨිකො දෙති යනු කර්‍මඵල අදහා නොදෙයි,
යත්‍ථ යත්‍ථ යනු ත්‍රිවිධ කුලසම්පදාවන්හි යම් යම් කුලයකයි, න උළාරාය භත්තභොගාය යනාදියෙහි නොයෙක් අග්‍ර රසය ඇති පැරණි හැල් බොජුන එළවූ කල්හි සිත නොනැමෙයි, ලෙඩ වැඩිකරන මෙය ඉවත් කරවයි කියා යම්කිසි එළවුළුවක් සමඟ සුන් සහල්බත් අමෘතයක් මෙන් සතුටු වෙමින් වළඳයි, කසීසළු ආදී උතුම් වස්ත්‍ර එළවූවිට මේවා ඉවත් කරවූ හිඳින්නහුගේ ඇඟ වසන්නටවත් නොහැකි වෙයි, ඇඟෙහි මනාව දරා නොසිටියි, කියා පොල්සුඹුලෙන් කළ රෙදි මුල් පොතු සමාන වූ රළු වස්ත්‍ර මේවා හඳින තැනැත්තා හැඳි බවද දනියි. වැසියයුතු දෙය ද වසයියි (කියමින්) ඇල්මෙන් හඳියි. ඇත්යාන අස්යාන ගිය යාන රන්සිවිගෙවල් ආදිය එළවූ කල්හි සෙලවෙන නොසෙල්වෙන මේවා ඉවත් කරවු. මෙහි හිඳීමට ද නොහැකැයි කියා දිරාපත් රියක් එළවූ විට මෙය නොසෙල්වෙයි. මෙහි හිඳීම සැපයයි කියා එය ඉවසයි. න උළාරෙසු පඤ්චසු කාමගුණෙසු යනු අබරණින් සැරසුණු රූමත් කතුන් දැක මොවුහු කනු කැමති යකින්නන් යයි සිතමි. මොවුන්ගෙන් කවර වැඩෙක්දැයි කැමැති පරිද්දෙන්ම කල්යවයි, න සුස්සුසං යනු ඇසීමට කැමති නොවෙති. නොඅදහත් යනු ද අරුත්ය. න සොතං ඔදහන්ති යනු කියනලද දෙය ඇසීම සඳහා ශ්‍රොත ප්‍රසාදය යොමු නොකරත්, සක්කච්චං යනාදිය කියන ලද්දට විරුද්ධ නයින් දතයුතුය.
වෙලාමො යනු ජාති ගෝත්‍රරූප භොග ශ්‍රද්ධා ප්‍රඥාදියෙන් සීමා ඉක්මවන්නාවූ උතුම් ගුණයන්ගෙන් යුක්ත බැවින් මෙසේ ලබන ලද නම් ඇත්තේයි, සො එවරූපං දානං අදාසි මහාදානං යන මෙහි මේ පිළිවෙල කථාවයි. හෙතෙම අතීතයෙහි බරණැස පුරෝහිත ගෙයක පිළිසිඳ ගත්තේය. ඔහුට වෙලාම කුමරුයි නම් කළාහුය. හෙතෙම සොළොස් කාලයෙහි බරණැස රජකුමරු සමග සිප් සතර හැදෑරීම සඳහා තක්සලාවට ගියේය. ඒ දෙදෙනාම දිසාපාමොක් ඇදුරු සමීපයෙහි ශිල්ප උගත්හ. ඔවුහු යම්සේ ද එසේ දඹදිව අනෙක් අසූසාර දහසක් රජකුමරුවෝ ද උගත්ත. බෝසත් තෙමේ තමන් උගත් උගත් දෙයට උපදේශක ආචාර්‍ය්‍යවරයා වී අසූහාර දහසක් කුමරුවන් හික්මවයි. තෙමේත් සොළොස් වසකින් උගතයුතු ශිල්පය තෙමසකින් උගත්තේය. ඇදුරු තෙමේ වෙලාම කුමරුට ශිල්පය ප්‍රගුණයයි දැන “දරුවනි, වෙලාම තෙමේ මා දත් සියල්ල දනියි. නුඹලා සියල්ලෝම සමගිව ගොස් ඔහු සමීපයෙහි සිල්ප උගනිවුයයි අසුසාර දහසක් කුමරුන් බෝසතුන්ට පාවා දුන්නේය.