2. සීහනාද වර්ගය
1. සාරිපුත්ත සීහනාද සූත්ර වර්ණනාව
දෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි යෙන භගවා තෙනුපසඞ්කමි යනු ඉදින් ශාස්තෲන් වහන්සේ චාරිකාවෙහි යනු කැමති සේක් වන්නේද මෙ කල්හි එළඹෙන්නේය. මම චාරිකාවෙහි හැසිරීම සඳහා ශාස්තෲන් වහන්සේගෙන් අසමැයි සිතා බික්සඟන විසින් පිරිවරන ලද්දේ එළැඹියේය. ආයස්මා මං භන්තෙ යනු ඒ භික්ෂුව මහත් පිරිවරින් යන්නාවූ තෙරුන් දැක මේ භික්ෂුහු තථාගතයන් වහන්සේ අත්හැර සැරියුත් තෙරුන් පිරිවරා නික්මුණාහුය. මොහුගේ යාම නවත්වන්නෙමැයි නිකරුණෙහි කෝප බැඳ මෙසේ කීවේය. එහි ආසජ්ජා යනු ගටායි, අප්පටිනිස්සජ්ජ යනු ක්ෂමා නොකොට වරද නොදෙසායි, කවර කරුණක හෙතෙම ආඝාත බැන්දේද යත්? බුදුන්වහන්සේ වැඳ නැඟිට යන්නාවූ තෙරුන්ගේ සිවුරු කොණ ඔහුගේ සිරුර පැහැසීය. සුළඟ වැදුනේයයි ද කියත්. මෙපමණකින් වෛර බැඳ මහත් පිරිවරින් යන තෙරුන් දැක ඊර්ෂ්යා කරනු ලබන්නේ මොහුගේ ගමන සිඳින්නෙමැයි මෙසේ කීවේය. එහි ත්වං භික්ඛු යනු ශාස්තෘන් වහන්සේ එම භික්ෂුවගේ වචනය අසා සාරිපුත්රතෙමේ ඒ භික්ෂුවට නොපැහැරියයි කීවිට ස්වාමීනි නුඹවහන්සේ තමන්ගේ අග්රශ්රාවකයාගේ පැත්ත ගනිති මගේ පැත්ත නොවේයයි මා කෙරෙහි සිත දූෂ්ය කොට අපායෙහි උපදින්නේයයි දැන සැරියුත් තෙරුන් කැඳවා මෙකරුණ විමසන්නෙමැයි එක් භික්ෂුවක අමතා මෙසේ කී සේක. අවාපුරණං ආදාය යනු යතුරක් ගෙනයි, සීහනාදං යනු ශ්රේෂ්ඨ නාදයයි, ප්රමුඛනාදයයි, නොපැවැත්විය හැකි නාදයයි. මෙසේ මහතෙරවරුන් දෙදෙනා විසින් සැළකරනලද භික්ෂුසඞ්ඝයා රාත්රිස්ථාන දිවාස්ථානයන් අතහැර ශාස්තෲන් සමීපයට ගියේය. ඛියනධම්මං යනු කථාධර්මයයි,
ගුථගතං යනු ගූථයම (අසූචිය) ගූථගතං නමි. සෙසු තැන්හි ද ක්රමයමයි, පඨවිසමෙන යනු නොකිපෙන දූෂ්ය නොවන අර්ත්ථයෙන් පොළව සම වූයෙනි, පොළොව මාමත පිරිසුදු දේ හෙළතියි සොම්නස් නොවෙයි, අපිරිසුදු දෑ හෙළතියි දොම්නස් ද නොවේ. මගේ සිත ද එසේයයි දක්වයි. විපුලෙන යනු නොමඳ දෙයිනි, මහග්ගතෙන යනු මහත්බවට ගිය දෙයිනි, අප්පමාණෙන යනු වැඩුණු පමණිනි, අවෙරෙන යනු අකුසල වෛර පුද්ගල වෛර රහිත වූවෙනි, අව්යාපජ්ඣෙන යනු නිදුකිනි, පහවූ දොම්නසිනි, සො ඉධ යනු ඒ නොඑළඹසිටි කායානුපස්සනා සතිපට්ඨාන ඇති භික්ෂුව මෙසේ කරන්නේය. මාවැන්නෙක් කෙසේ මෙබඳු දෙයක් කරයිද ස්වාමීනියි පළමු සිංහනාදය නැඟීය. මෙසේ සියලු තැන යෙදීම දතයුතුය.
රජොහරණං යනු රජකුල ආදීන්ගේ මුස්නෙන් නොහමදිත්. රෙදි කඩකින් පිසිත්. එයට මේ නමයි. කළොපිහත්ථො යනු පැසක් ගත් අත් ඇත්තේ හෝ පිරිසිදු අත් ඇත්තේයි, නන්තකවාසී යනු කෙළවර සිඳුණු රෙදිකඩක් අඳින්නාවූයි. සූරතො යනු පිරිසුදු සිල් ඇත්තේයි, සුරත බවින් යුක්ත වූයේයි, සුදන්තො යනු මනාව දමනයට හික්මුනේයි, න කිඤ්චි හිංසති යනු අං ආදිය ගන්නකු ද පිට පිරිමදින්නකු ද (යනාදී) කිසිවකු නොවෙහෙසවයි. උසභච්ඡින්නවිසාණසමෙන යනු සිඳින ලද අං ඇති ගොනුගේ සිතට සමාන වූයි,
අට්ටියෙය්ය යනු පෙළෙන ලද්දේ වන්නේය, හරායෙය්ය යනු ලජ්ජා වන්නේය, ජිගුච්ඡෙය්ය යනු පිළිකුලට පත්වන්නේය,
මෙදකථාලිකං යනු ඝාතකයන් විසින් යුෂ නික්මෙනු සඳහා තැනින් තැන කළ හිල් ඇති සැළියයි, පරිහරෙය්ය යනු මස් පුරවා ඔසවාගෙන යන්නේය, ජිද්දාචඡිද්දං යනු ලොකු කුඩා සිදුරුවලින් යුක්ත වූයි, උග්ඝරන්තං පග්ඝරන්තං යනු අධොමුඛයන්ගෙන් (යටිමුවෙන්) නික්මෙන යුෂයි, මෙසේ ඔහුගේ සියල් සිරුර යුෂයෙන් වැකුණක් වන්නේය, ඡිද්දාචජිද්දං යනු නවවැදෑරුම් වණමුවවලින් ලොකු-කුඩා සිදුරුයි, මෙසේ මෙහි අටවැනි නවවැනි අංගදෙකින් තෙරණුවෝ තම සිරුරෙහි ඡන්දරාගය නැතිබව කීහ.
අථ ඛො සො භික්ඛු යනු මෙසේ තෙරුන් විසින් කරුණු නවයකින් සිංහනාදය කළ විට ඉක්බිති ඒ භික්ෂුවයි, අච්චයො යනු අපරාධයයි, මං අච්චගමා යනු මා ඉක්මවා යටපත් කොට පැවැතියේයි, පතිගණ්හාතු යනු ක්ෂමා කෙරේවායි, ආයතිං සංවරාය යනු අනාගතයෙහි සංවරවීම සඳහායි, යළි මෙබඳු අපරාධයක් නොකරනු සඳහායි, තග්ඝ යනු ඒකාන්තයෙනි, යථාධම්මං පටිකරොසි යනු යම්සේ ධර්මය පිහිටියේද එසේම කරව. ක්ෂමා කළේයයි කියන ලද්දේ වෙයි. තං තෙ මයං පටිගණ්හාම යනු ඒ ඔබගේ අපරාධය අපි ඉවසමු, වුද්ධිහෙසා භික්ඛුං අරියස්ස විනයෙ යනු මහණ, මේ ආර්ය්ය විනයෙහි - භාග්යවත් බුදුරදුන්ගේ සසුනෙහි අභිවෘද්ධිය නම් කවරේද යත්? වරද වරද ලෙස දැක ධර්මයට අනුව පිළියම් කොට අනාගතයෙහි සංවරයට එළඹීමයි. දේශනාව පුද්ගලාධිෂ්ඨානව පවත්වන සේක් යමෙක් වරද වරද ලෙස දැක ධර්මයට අනුව පිළියම් කරයිද අනාගතයෙහි සංවරයට පැමිණේදැයි දෙසූ සේක. ඵලති යනු ඉදින් තෙරණුවෝ ක්ෂමා නොකරත්ද, එහිදීම එම භික්ෂුවගේ හිස සත් කඩකට පැලෙන්නේය එබැවින් භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සචෙ මං සො යනු ඉදින් මේ භික්ෂුව මට ක්ෂමා කරවයි මෙසේ කියයි. ඛමතු ච මෙ සො යනු මේ ආයුෂ්මත්තෙමේ ද මට ක්ෂමා වේවායි මෙසේ තෙරණුවෝ ඔහුගේ වරද පිළිගෙන තෙමේත් ඔහු ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ක්ෂමා කරවූහ.