නවක නිපාත වර්‍ණනාව
1. ප්‍රථම පණ්ණාසකය
1. සම්බොධි වර්ගය
1. සම්බොධිපක්ඛිය සූත්‍ර වර්ණනාව
නවක නිපාතයේ පළමු සූත්‍රයෙහි සම්බොධපක්ඛිකානං යනු සිවුමග නම්වූ සම්බෝධියේ පක්‍ෂයෙහි වූවන්ගේ, උපකාරවූවන්ගේ යන අරුත්ය. පෙළෙහි ආ ධර්‍මයන් සඳහා මෙසේ විමසයි. කා උපනිසා යනු කවර උපනිශ්‍රය ප්‍රත්‍යයක්ද? මනාව සටහන් කරත්නුයි අභිසල්ලෙඛිකා නමි. සමථ විදර්‍ශනා සිත විවරණයෙහි සත්ප්‍රාය වූවෝ උපකාරවූවෝයි චෙතොවීවරණසප්පයා නමි. අපිස් බව අරභයා පැවති කථාව අප්පිච්ඡකථා නමි. සෙස්සෙහි ද මේ ක්‍රමයමයි.
අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය යනු මෙම අර්‍ත්‍ථය හැල්කපන උපමාවෙන් පැහැදිළි කළ යුතුය. එක් පුරුෂයෙක් දෑකැත්තක් ගෙන කෙළවරෙහි පටන් හැල් කෙතක හැල් කපයි. ඉක්බිති එයට වැට බිඳ ගවයෝ පිවිසියහ. හෙතෙම දෑකැත්ත තබා (සැර) යටියක් රැගෙන එම මගින්ම ගවයන් පලවා හැර වට ප්‍රකෘතිමත් කොට යළි දෑකැත්ත ගෙන හැල් කැපීය. එහි හැල්කෙත මෙන් බුදුසසුන දැකිය යුතුය. හැල්කපන්නා මෙන් යෝගාවචරයායි. දෑකැත්ත මෙන් ප්‍රඥාවයි. නෙලන (කපන) කාලය මෙන් විදර්‍ශනාව සඳහා කටයුතු කරන කාලයයි. යෂ්ටිය මෙන් අසුභකර්‍මස්ථානයයි. වැට මෙන් සංවරයයි. වැට බිඳ ගවයන්ගේ පිවිසීම මෙන් ඉක්මණින්, නොසැලකීමෙන් ප්‍රමාදයට පත්ව රාගයේ ඉපදීමයි, දෑකැත්ත තබා යටිය ගෙන පිවිසි මගින්ම ගවයන් පළවා වැට ප්‍රකෘතිමත් කොට යළි කෙළවරෙහි සිට හැල් නෙලීම මෙන් අසුභ කර්‍මස්ථානයෙන් රාගය යටපත් කොට යළි විදර්‍ශනාවට කටයුතු පටන්ගන්නා කාලයයි. මේ කාරණය සඳහා අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය යි කියන ලදි.
එහි රාගස්ස යනු පඤ්චකාමගුණික වූ රාගයාගේයි, මෙත්තා යනු මෛත්‍රී කර්‍මස්ථානයයි, ව්‍යාපාදස්සපහානාය යනු කියනලද ක්‍රමයෙන්ම උපන් කෝපය දුරුකරනු සඳහායි, ආනාපානසති යනු සොළොස් වස්තුවකට අයත් වූ ආනාපාන සතියයි. විතක්කුපච්ඡෙදාය යනු කියන ලද ක්‍රමයෙන්ම උපන් විතර්‍කයන් නැසීම සඳහායි, අසමිමානසමුග්ඝාතාය යනු වෙමැයි උපදින නවවැදෑරුම් මානය නසාලීම සඳහායි, අනත්තසඤ්ඤා සණ්ඨාති යනු අනිත්‍ය ලක්‍ෂණය දුටු විට අනාතම ලක්‍ෂණය දුටුවේම වෙයි. මේ ත්‍රිලක්‍ෂණයන්ගෙන් එකක් දුටුවිට ඉතිරි දෙක දුටුවේම වෙයි. එහෙයින් “අනිච්චසඤ්ඤිනො භික්ඛවෙ අනන්තසඤ්ඤා සණ්ඨාති”යි කියනලදි. දිට්ඨෙව ධම්ම නිබ්බානං ඉහාත්මයෙහිම ප්‍රත්‍යය රහිත නිවනට පැමිණෙයි. මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
2. නිස්සයසම්පන්න සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි නිස්සයසම්පන්නො යනු පදනමක් සහිතවූයේයි, සද්ධං යනු විශ්වාස කිරීමේ ශ්‍රද්ධාවයි, විරියං යනු කායික චෛතසික වීර්‍ය්‍යයයි, යංසා යනු යමක් වන්නේයි, අරියාය පඤ්ඤාය යනු විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥාවගේයි, සඞ්ඛාය යනු දැනයි, එකං පටිසෙවෙති යනු ඇසුරු කළ යුත්තක් ඇසුරු කරයි, අධිවාසෙති යනු ඉවසිය යුත්තක් ඉවසයි, පරිවජ්ජෙති යනු දුරුකළ යුත්තක් දුරුකරයි, විනොදෙති යනු ඉවත්කළ යුත්තක් ඉවත්කරයි, එවං ඛො භික්ඛු යනු මෙසේ භික්ෂුව ඉගෙනීම් පිළිවිසීම් වශයෙන් මෙන්ම ධර්‍මය තීරණය කිරීම් වශයෙන් ද ඇසුරු කළ යුතු දේ ආදිය මනාව දැනගත් මනාව පසක් කළ දේ කොට ඇසුරු කරන්නේ ඉවසන්නේ දුරුකරන්නේ ඉවත් කරන්නේ ද භික්ෂුව නිශ්‍රය සම්පන්න නම් වේ.
3. මේඝිය සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි චාලිකායං යනු එබඳු නම් ඇති නුවරෙහිය, එය සැලෙන මඩ ඇසුරු කොට කළ බැවින් බලන්නවුන්ට සැලෙනු ලබන්නක් මෙන් හැඟෙයි. එහෙයින් චාලිකායි ප්‍රසිද්ධ විය. චාලියපබ්බතෙ යනු ඒ පවුවද සියල්ල සුදු බැවින් කළුවර පක්‍ෂ උපොසථයෙහි බලන්නවුන්ට සැලෙනු ලබන්නාක් මෙන් හැඟෙයි. එහෙයින් චාලිය පබ්බත යයි කියන ලදි. එහි මහත් විහාරයක් කරවූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එනුවර ඇසුරු කොට චාලිය පබ්බත මහා විහාරයෙහි වසන සේක. ජතුගාමං යනු මෙබඳු නම ඇති වෙනත් එම නුවරේම ගොදුරු ගමකි. ජනතුගාමං යනුද පාඨයි. පධානත්‍ථිකස්ස යනු භාවනාවෙහි වීර්‍ය්‍යය කරන තැනැත්තාගේයි, පධානාය යනු මහණදම් කරනු සඳහායි, ආගමෙහි තාව යනු ශාස්තෲන් වහන්සේ තෙරුන්ගේ වචනය අසා සලකා බලන සේක් තවම මොහුගේ නුවණ මුහුකුරා නොගියේයි දැන වළහමින් මෙසේ කී සේක. එකකම්හා තාව යන මෙය වනාහි ඔහුට, “මෙතෙම මෙසේ ගොස් ද කටයුත්ත නොනිපදවෙන විට නිසැකව ප්‍රේම වශයෙන් යළි පැමිණෙන්නේය”යි සිතෙහි මෘදුබව ඇති කිරීම සඳහා කීසේක. නත්‍ථි කිඤ්චි උත්තරිං කරණීයං යනු සතර සත්‍යයන්හි සිවුකිස කළ බැවින් වෙනත් මත්තෙහි කළයුත්තක් නම් නැත. කතස්ස වා පතිචයො යනු කළ තැනැත්තාට යළි එකතු කිරීමක් නැත. වැඩූ මග යළි නොවඩනු ලැබේ. නැසූ කෙලෙසුන්ගේ යළි නැසීමක් නැත. පධානන්ති ඛො මෙඝිය වදමානං කින්ති වදෙය්‍යාම යනු මහණදම් කරමැයි එය කියන්නාට අපි වෙනත් කුමක් නම් කියන්නෙමුද?
දිවාවිහාරං නිසීදි යනු දිවා විහරණය සඳහා හුන්සේක. හුන්සේක්ද යම් මඟුල්ගල් තලාවක පෙර අනුපිළිවෙලින් ජාති පන්සියයක් රජ වී උපන් කෙළි කෙළින්නේ තුන්වැදෑරුම් නළු පිරිවර ඇත්තේ හුන්නේය. එහිම හුන්නේය. ඉක්බිති හුන් කල්හි පටන් ශ්‍රමණ බව හරින ලද්දාක් මෙන් විය. රජවෙස් ගෙන නළු පිරිවර ඇත්තේ සේසත යට මාහැඟි පළඟෙහි හුන්නේ මෙන් විය. ඉක්බිති ඒ සැපත් විඳින ඔහුට කාමවිතර්‍කයක් උපන්නේය. හෙතෙම එකෙණෙහිම සොරබඩු සහිතව අල්ලාගන්නා ලද සොරු දෙදෙනෙකු ගෙන්වා ඉදිරියෙහි තබන ලද්දාක් මෙන් දුටුවේය. ඔවුනතුරින් එකෙකුට වධ නියම කිරීම් වශයෙන් ඔහුට ව්‍යාපාද විතර්‍කයක් උපන්නේය. එකෙකුට දඟගෙට ඇනවීම් වශයෙන් විහිංසා විතර්‍කයක් උපන්නේය. මෙසේ හෙතෙම වැල් සමූහයෙන් ගසක් මෙන් ද මීමැස්සන්ගෙන් මීවදයක් මෙන් ද අකුශල විතර්‍කයන්ගෙන් වටකරන ලද්දේ ගවසන ලද්දේ විය. ඒ සඳහා “අථ ඛො ආයස්මතො මෙඝියස්ස” යනාදිය කියන ලදි. අන්වාසත්තො යනු අනුබඳනා ලද්දේ වටකරන ලද්දේයි, යෙන භගවා තෙනුපසඞ්කමි යන මෙස පාප විතර්‍කයන්ගෙන් වටකරන ලද්දේ කමටහන ගලපාගන්නට නොහැක්කේ මෙය දැක දුරදක්නා සුලු භාග්‍යවතුන් වහන්සේ වැළැක්වූ සේකැයි සලකා මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරමැයි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වෙතට එළැඹියේය.