සරණං ගච්ඡෙය්ය යනු මෙහි මාර්ගයෙන් පැමිණි නොපෙරළෙන සරණය අදහස් කරන ලදි. සමහරු තමන් පවරා දුන් බැවින් සරණයාම එයින් මහත්ඵලතරයයි කීවාහුය. සික්ඛාපදං සමාදියෙය්ය යනු පන්සිල් ගන්නහුය, ශීලයද (සෝවාන් ආදී) මාර්ගයෙන් පැමිණි නොපෙරලෙන ශීලයම කියනලදි. අන්යයෝ වනාහි සියලු සතුන්ට අභයදානය දුන් බැවින් ශීලය ඊට වඩා මහත්ඵලතරයයි කීවාහුයි කියනලදි. ගන්ධූහනමත්තං යනු සුවඳ සලකා බැලීම් මාත්රයකි. දෙඇඟිල්ලෙන් සුවඳ පිඬක් ගෙන සිඹ බැලීම් මාත්රයකි. ඇතැම්හු වනාහි ගද්දූහනමත්තංයි පෙළ කියා දෙනගෙන් එක් වරක් තන අදින පමණකැයි අර්ත්ථය කියත්. මෙත්තචිත්තං යනු සියලු සතුන්ට හිතවත්බව පතුරවා සිතයි. එයද අර්පණා වශයෙන්ම ගන්නා ලදි. අනිච්චසඤ්ඤං යනු මාර්ගයට අනන්තර (අනතුරු) ප්රත්යය භාවයෙන් මුදුන්පත් බලවත් විදර්ශනාවයි,
උපමා වශයෙන් මේ දානාදී වූ පින්කම් මෙසේ දතයුතුය. ඉදින් දඹදිව බෙරතලයක් මෙන් සමතලා කොට කෙළවරෙහි පටන් පර්ය්යංක අතුරා ආර්ය්ය පුද්ගලයන් හිඳුවා එහි සෝවාන් වූවන්ගේ පේලි දහයක් ද සකෘදාගාමීන්ගේ පේලි පහක් ද අනාගාමීන්ගේ පේලි දෙකහමාරක් ද ක්ෂීණාශ්රවයන්ගේ පේලි එකහමාරක් ද පසේ බුදුවරුන්ගේ එක් පෙලක් ද වන්නේ නම් සම්මා සම්බුදුන් වහන්සේ එකළාම වෙති. එපමණ දෙනෙකුට දුන් දානයෙන් සම්මා සම්බුදුන් වහන්සේට දුන් දානයම මහත්ඵල වෙයි. සෙස්ස වනාහි,
“විහාරදානය, වැඳීම, ශික්ෂාව, මෛත්රී භාවනාව (යන මේවා) ක්ෂය වශයෙන් භාවනා වඩන්නාගේ සොළොස් කලාවෙන් එක්කලාවක් නොඅඟියි.”
එහෙයින්ම භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පානා වේලෙහි ධර්මානුධර්ම ප්රතිපත්තිය උතුම්යයි වදාළ සේක. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවැනි වූ සීහනාද වර්ගයයි.
3. සත්තාවාස වර්ගය
1. ඨාන සූත්ර වර්ණනාව
තෙවැනි වර්ගයෙහි පළමු සූත්රයෙහි උත්තරකූරුකා යනු උතුරුකුරු දිවයින් වැසියෝයි, අධිගණ්හන්ති යනු ශ්රේෂ්ඨ වෙති, අධික විශිෂ්ට ජ්යෙෂ්ඨවූවෝ වෙත්. අමමා යනු තෘෂ්ණා නැත්තෝයි, අට්ඨකථාවෙහි දුක් නැත්තෝයි කියනලදි. අපරිග්ගහා යනු මෙය මගේ යයි සත්තකයන් නොමැත්තෝයි, නියතායුකා යනු ඔවුන්ගේ ආයුෂ නොවෙනස්ව පවතියි. අවුරුදු දහසක්මය. ගතිය ද නොවෙනස්ය. එයින් සැව ස්වර්ගයෙහිම උපදිත්. සතිමන්තො යනු දෙවියන්ගේ වනාහි එකාන්ත සැපවත් බැවින් සිහිය ස්ථිර නොවෙයි. නිරාසතුන්ගේ එකාන්ත දුක් ඇති බැවින් සිහිය අනිස්ථිරය. මොවුන්ගේ වනාහි මිශ්ර සුවදුක් බැවින් සිහිය ස්ථිර වෙයි. ඉධ බ්රහ්මචරියවාසො යනු දඹදිවෙහි බුදු පසේබුදුවරුන්ගේ පහළවීම ඇති බැවින් අෂ්ටාංගිකමාර්ග බ්රහ්මචරිය වාසය ද මෙහිම වෙයි.
2. ඛලුඞ්කොපම සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි ජවසම්පන්නො යනු පාජවයෙන් යුක්ත වූයේයි, න වණ්ණාසම්පන්නො යනු ශරීර වර්ණයෙන් යුක්ත නොවූයේයි, ශරීර ශක්තියෙන් හීන පුරුෂයන් කෙරෙහි “ජවසම්පන්නො” යනු ඥාන ජවයෙන් යුක්ත වූ තැනැත්තේයි, න වණ්ණසම්පන්නො යනු ගුණ වර්ණයෙන් යුක්ත නොවූයේයි, සෙස්ස පෙළ ක්රමයෙන්ම දතයුතුය. මෙහි යමක් කිවයුතු වන්නේද එය තික නිපාත වර්ණනාවෙහි කියන ලද්දේමය.
3. තණ්හාමූලක සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි තණ්හං පටිච්ච යනු එසන (අපේක්ෂා කරන) තෘෂ්ණාව හා එසිත (අපේක්ෂා කළ) තෘෂ්ණාව යයි තෘෂ්ණා දෙකෙකි. යම් තෘෂ්ණාවකින් එඑමං ලීහුල් ආදියේ උදව්වෙන් යායුතු මං ආදියට එළඹ භොගයන් සොයයිද පරීක්ෂාකරයිද මෙය එසනතණ්හා නමි. ඒ කියන ලද සොයාගන්නා ලද පරීක්ෂා කරනලද ලබනලද දෙයෙහි යම් තාෂ්ණාවක් වේද එය එසිත තණ්හා නමි. මෙහි වනාහි එසන තණ්හාව දැක්විය යුතුයි. පරියෙසනා යනු රූපාදී අරමුණු සෙවීමයි. එය එසන තෘෂ්ණාව ඇතිවිට වෙයි.
විස්තර විනිශ්චය වනාහි ඥාන තෘෂ්ණා දෘෂ්ටි විතර්ක වශයෙන් සතර වැදෑරුම්ය. එහි සුඛවිනිච්ඡයං ඡඤ්ඤ යනු සුඛවිනිශ්චය දැනයි. අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්ය යනු මෙය ඥාන විනිශ්චයයි. මිනිසා යනු තෘෂ්ණා විනිශ්චය දෘෂ්ටි විනිශ්චයයි විනිශ්චය දෙකෙකියි මෙසේ ආවාවූ අටසියයක් තෘෂ්ණාවිචරිතයෝ තෘෂ්ණා විනිශ්චයයි. දෙසැටක් දෘෂ්ටීහු දෘෂ්ටි විනිශ්චයයි. ඡන්දො ඛො දෙවානමින්ද විතක්කනිදානො යන මේ සූත්රයෙහි මෙහි විනිච්ඡයයි කියනලද විතර්කයම ආයේයි. ලාභයක් ලැබ ඉෂ්ටානිෂ්ටය සුන්දරාසුන්දරය විතර්කයෙන්ම විනිශ්චය කරන ලදැයි යනු මෙපමණක් මගේ රූපාරම්මණය සඳහාය. මෙපමණක් මට වන්නේය, මෙපමණක් අනුන්ටය, මෙපමණක් පරිභොග කරමි. මෙපමණක් තැන්පත් කරමි. (යනුවෙන් විතර්කනය කිරීමයි.) ලාභං පටිච්ච විනිච්ඡයො යි. එහෙයින් කියන ලදි.