3. සඞ්ඛිත්තදෙසිත සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි එවමෙව යනු කරුණු රහිතවම යම්සේද එසේය, මොඝපුරිසා යනු මෝඩ පුරුෂයෝයි, හිස් පුද්ගලයෝයි, අජ්ඣෙසන්ති යනු යොදත්, අනුබන්ධිතබ්බං යනු ඉරියව් අනුගමනයෙන් එහුබැදිය යුතුය, මා අත්නොහළ යුතුයයි සිතත්, දැනගැනීම සඳහා ඉවත් කරන්නේ මෙසේ කීය. මේ භික්ෂුව වනාහි අවවාද දුන්කල්හි ද ප්රමාදයෙහිම යෙදෙයි. ධර්මය අසා එහිම වසයි, මහණදම් කිරීමට නොඑයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ ඔහු ඉවත් කරවා යළිත් යම් හෙයකින් හෙතෙම රහත්බවට උපනිශ්රය ඇත්තේද එහෙයින් ඔහුට අවවාද දෙමින් “තස්මාතිහ තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං” යනාදිය කී සේක. එහි ආධ්යාත්මවූම සිත පිහිටන්නේය. මනාව පිහිටියේය. උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඬගෙන නොසිටින්නාහ” යන මේ ඔහුගේ අවවාදයෙන් ස්වකීය අධ්යක්ම වශයෙන් සිතේ එකඟතා මාත්ර වූ මූලසමාධිය කියන ලදි.
ඉක්බිති එතකින්ම සතුටට නොපැමිණ මෙසේ ඒ සමාධිය වැඩිය යුතුයයි දැක්වීමට “යම්සේ මහණ, ඔබගේ අධ්යාත්ම සිත සිටියේ වෙයිද මනාව පිහිටියේද උපන් ලාමක අකුශල ධර්මයෝ සිත මැඬගෙන නොසිටිත්ද, එහෙයින් මහණ, මෙසේ හික්මිය යුතුය. මවිසින් මෛත්රී චෙතො විමුක්තිය වඩන ලද්දේ වන්නේය - පෙ- මනාව අරඹන ලද්දේය” යනුවෙනි. මෙසේ ඔහු මෙත්රී වශයෙන් භාවනාව පුහුණුකරවා යළිත් “මහණ යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වෙයිද බොහෝකොට වඩනා ලද්දේ ද එහෙයින් මහණ, ඔබ විතර්ක සහිතවූත් මෙම සමාධිය විචාර සහිතව වඩන්නෙහිය”යි යනාදිය දෙසන ලදි. යම් විටෙක මහණ, ඔබගේ මේ මූලසමාධිය මෙසේ මෛත්රී වශයෙන් වඩන ලද්දේ වෙයිද එකල්හි ඔබ එපමණකින් සතුටට නොපැමිණම මේ මූලසමාධිය වෙනත් අරමුණුවල වතුෂ්ක පඤ්චක ධ්යානයන් පමුණුවමින් විතර්ක සහිතවත් විචාර සහිතවත් යනාදී ක්රමයෙන් වඩන්නෙහියි” යනු එහි අර්ත්ථයයි.
මෙසේ කියාම ඔහුට වෙනත් අරමුණුවල ඉතිරි බ්රහ්මවිහාර පෙරදැරිවූ චතුෂ්ක පඤ්චකධ්යාන භාවනාව කරන්නෙහියැයි දක්වමින් යම්හෙයකින් මහණ, ඔබගේ මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වෙයිද මනාව වඩනා ලද්දේ එහෙයින් මහණ ඔබ විසින් මෙසේ හික්මිය යුතුය, “මගේ කරුණා චෙතොවිමුත්තිය” යනාදිය පැවසූ සේක. මෙසේ මෛත්රී පෙරදැරිකොට ඇති චතුෂ්ක පඤ්චක ධ්යාන භාවනාව දක්වා යළි කායානුපස්සනා පෙරදැරිවූ භාවනාව දැක්වීමට “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො තතො තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං කායෙ කායානුපස්සී” යනාදිය පවසා “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො භවිස්සති සුභාවිතො තතො ත්වං භික්ඛු යෙන යෙනෙව ගච්ඡසි” යනාදිය පැවසූ සේක. එහි ගච්ඡසි යනු යන්නෙහිය. ඵාසුංයෙව යන මෙයින් රහත්බව දැක්වූ සේක. රහත්බවට පත් තැනැත්තේ සියලු ඉරියව්වල පහසුවෙන් වසයි නමි.
4. අධිදේවඤාණදස්සන සූත්ර වර්ණනාව
සිවුවැන්නෙහි එතදවොච යනු තමන්ගේ භාවනා භූමියෙහි උපන් විතර්කයක් භික්ෂු සංඝයාට සැළකිරීමට “පුබ්බාහං භික්ඛවේ” යනාදි වචනය පැවසූ සේක. ඔභාසං යනු දිවැස් නුවණේ ආලෝකයයි. ඤාණදස්සනං යනු දිවැස් නුවණ නම්වූ දැකීමයි, සන්තිවුත්ථපුබ්බං එක්ව විසූවිරූයි, මේ සූත්රයෙහි දිබ්බචක්ඛු ඤාණය, ඉද්ධිවිධ ඤාණය, චෙතොපරියඤාණය, යථාකම්මූපග ඤාණය, අනාගතඤාණය, පච්චුප්පන්න ඤාණය, අතීතඤාණය පුබ්බෙනිවාසඤාණ යයි මේ ඤාණ අට පෙළෙහි ආවාහුය. ඒවා සමඟ විදර්ශනාඥාන සතර මාර්ගඥාන සතර ඵලඥාන සතර ප්රත්යවෙක්ෂාඥාන එක්කොට දේශනා කරන භාග්යවතුන් වහන්සේ විසින් මෙම සූත්රය කියන ලද්දේ නම් වෙයි.
5. අභිභායතන සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි අභිභායතනානි යනු මැඬපවත්වන කරුණුයි, කුමක් මැඬපවත්වත්ද? විරුද්ධ ධර්මයන් හා අරමුණුයි, ඒවා ප්රතිපක්ෂබවින් විරුද්ධ ධර්මයන් පුද්ගලයාගේ ඥානයේ ශ්රේෂ්ඨත්වය නිසා අරමුණු මැඬපවත්වත්. අජ්ඣත්තං රූපසඤ්ඤී යනාදියෙහි අධ්යාත්ම රූපයෙහි පරිකර්ම වශයෙන් අජ්ඣත්තං රූපසඤ්ඤී නම් වෙයි. අධ්යාත්ම වූ නීලපරිකර්මය කරන්නේ කෙසෙහි හෝ පිතෙහි හෝ ඇස්තරුවේ හෝ කරයි. පීතපරිකර්මය කරන්නේ මේදයෙහි හෝ සමෙහි හෝ අත්පාතලයන්හි හෝ ඇස්වල කහ තැනෙහි හෝ කරයි. ලොහිත පරිකර්මය කරන්නේ මසෙහි හෝ ලෙයෙහි හෝ දිවෙහි හෝ ඇස්වල රතු තැන්හි හෝ කරයි. ඔදාත පරිකර්මය කරන්නේ ඇටෙහි හෝ දතෙහි හෝ නියෙහි හෝ ඇස්වල සුදු තැන්හි හෝ කරයි. එය වනාහි, ඉතා නිල් වූයේත් ඉතා කහ වූයේත් ඉතා රතු වූයේත් ඉතා සුදු වූයේත් නොවෙයි. අපිරිසුදුවූයේ වෙයි.