2. ද්වීතීය පණ්ණාසකය
6. ගොතමී වර්ගය
1. ගොතමී සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි පළමු සූත්‍රයෙහි සක්කෙසු විහරති යනු පළමු ගමනින්ම ගොස් වෙසෙන සේක. මහාපජාපති යනු පුත්‍ර ප්‍රජාවට මෙන්ම දුහිතෘ ප්‍රජාවට ද උසස් බැවින් එසේ ලද නම් ඇත්තියයි, යෙන භගවා තෙනුපසඞ්කමි යනු භාග්‍යවතුන් වහන්සේ කපිල පුරයට ගොස් පළමුවම නන්‍ද පැවිදි කරවූහ. සත්වැනි දිනයෙහි රහල් කුමරුන්ය. චුම්බට කලහයෙහි දී දෙනුවර වැසියන් යුද පිණිස යන කල්හි ශාස්තෲන් වහන්සේ වැඩම කොට ඒ රජවරුන් හඟවා අත්තදණ්ඩ සූත්‍රය වදාළ සේක. රජවරු පැහැදී කුමරුන් දෙසිය පණහ බැගින් දුන්නාහුය. ඒ කුමරු පන්සියය ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි වූහ. ඉක්බිති ඔවුනට බිරින්දෑවරු හසුන් යවා (පැවිද්දට) නොඇල්ම ඉපදවූවාහුය. ශාස්තෲන් වහන්සේ ඔවුනට නොඇල්ම උපන්බව දැන ඒ පන්සියයක් තරුණ භික්ෂුන් කුණාල විලට පමුණුවා තමන් කුණාල කාලයෙහි හුන්විරූ ගල් තලාවෙහි හිඳ කුණාල ජාතක කථාවෙන් ඔවුන්ගේ නොඇල්ම දුරුකොට ඒ සියල්ලන් සෝවාන් පෙලෙහි පිහිටවූ සේක. යළි මහාවනයට ගෙනවුත් රහත් පෙලෙහි පිහිටවූහ. ඔවුන්ගේ සිත් දැනගනු සඳහා යළිඳු බිරින්දෑවරු හසුන් යැව්වාහුය. ඔවුහු අපි ගිහිගෙහි විසීමට නුසුදුස්සෝ වෙමුයි පිළිතුරු යැවූහ. ඔවුහු දැන් අපගේ ගෙවලට යාමට නොයුතුය. මහා ප්‍රජාපතිය සමීපයට ගොස් පැවිද්ද අනුදන්වා ගෙන පැවිදි වන්නෙමුයි පන්සියයම ප්‍රජාපතිය වෙත එළඹ ආර්‍ය්‍යාවනි, අපට පැවිදිවීමට අනුදත් මැනවයි කීවාහුය. මහා ප්‍රජාපතී තොමෝ ඒ ස්ත්‍රීන් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියාය. සේසත යට රජු පිරිනිවන් පෑ කල්හි එළඹියේ යයි ද කියත්මය.
අලං ගොතමි මාතෙ රුච්චී යනු කුමක් හෙයින් ප්‍රතික්‍ෂේප කළසේක්ද? සියලුම බුදුවරුන්ට සිවු පිරිසක් නොවේද? නිසැකවම වෙයි. වෙහෙසවා නොයෙක්වර ඇයැදිවිට අනුදන්නා ලදි. පැවිද්ද දුකසේ ලබන ලදැයි මනාව රකිත්යයි බරකොට අනුදනු කැමති සේක් ප්‍රතික්‍ෂේප කළ සේක. පක්කාමි යනු යළි කපිල පුරයටම පිවිසි සේක. යථාභිරන්තං විහරිත්වා සත්ත්වයන්ගේ උපනිශ්‍රය බලනසේක් කැමති පරිද්දෙන් වැසයි, චාරිකං පක්කාමී යනු මහජනයාට සංග්‍රහ කරන සේක් අනුපම වූ බුද්ධශ්‍රියෙන් අනුපම වූ බුද්ධ විලාසයෙන් අතුරිත චාරිකාවේ වැඩිසේක.
සම්බහුලානි සාකියානීහි සද්ධිං යනු ඇතුළු ගෙහිදීම දශබලයන් වහන්සේ උදෙසා පැවිදි වෙස් ගෙන පන්සියයක් ශාක්‍ය කාන්තාවන් පැවිදිවෙස ගන්වාගෙන සියලුම ඒ බොහෝවූ ශාක්‍ය කාන්තාවන් සමඟයි, චාරිකං පක්කාමි යනු ගමන නික්මුණේය. ගමන්ගන්නා කල්හි, සියුමැලි රාජකාන්තාවෝ පයින් යා නොහෙතියි ශාක්‍ය කෝලිය රජවරු රන්සිවි ගෙවල් සැපයූහ. ඔවුහු වනාහි යානයක නැගී යන්නවුන් විසින් ශාස්තෲන් කෙරෙහි අගෞරවයක් කළේ වේයයි පණස් එක් යොදුනක් වූ මගට පයින්ම පිළිපන්හ. රජවරු ද ඉදිරියෙන් හා පසුපසින් රැකවල් යොදවා සහල් ගිතෙල් තෙල් ආදිය ගැල් පුරවා ගිය තැන්හි අහර පිළියෙල කරව්යයි මිනිසුන් යෙදවූහ. සූනෙහි පාදෙහි යනු ඔවුන්ගේ සියුමැලි බැවින් පාදයන්හි එක් බිබිලක් මතුවෙයි. එකක් බිඳෙයි. දෙපා උකුල් ඇට ගැවසුණාක් මෙන් ඉදිමිණ. එහෙයින් සූනෙහි පාදෙහියි කියන ලදි. බහිද්වාරකොට්ඨකෙ යනු දොර කොටුවෙන් පිටතයි, කුමක් නිසා මෙසේ සිටියාහුද? ඇයට මෙසේ අදහසක් විය. මම තථාගතයන් වහන්සේ විසින් නොඅනුදන්නා ලද්දී තෙමේම පැවිදිවෙස ගත්තෙම්ද එසේ ගත් බව ද සියලු දඹදිව ප්‍රකට වූයේ වෙයි. ඉදින් ශාස්තෲන් වහන්සේ පැවිද්ද අනුදන්නා සේක් නම් එය මැනවි. ඉදින් නොඅනුදන්නා සේක්නම් මහත් නින්දාවක් වන්නේයයි විහාරයට පිවිසීමට නොහැක්කී හඬමින් සිටියාය.
කිනනු ත්‍වං ගොතමි යනු කිම රජපවුල්වලට විපතක් හටගත්තේද? නුඹ කවර කරුණකින් මෙසේ මැලවුණු බවට පත්වූවෙහිද ඉඳුමුණු පයින් සිටියෙහිද? අඤ්ඤෙනපි පරියායෙන යනු වෙනත් කරුණකිනි, බහුකාරා භන්තෙ යනාදියෙන් ඇයගේ ගුණ කියා යළි පැවිද්ද අයදින්නේ මෙසේ කීවේය. ශාස්තෲන් වහන්සේ ද ස්ත්‍රීහු නම් මඳප්‍රඥා ඇත්තාහුය. ඉල්ලූ පමණින් පැවිද්දට අනුදත් විට මගේ සසුන ගරු කොට නොගනිතියි තෙවරක් ප්‍රතික්ෂෙප කොට දැන් ගරු කොට ගවනු කැමත්තෙන්, “ඉදින් ආනන්දය, මහා ප්‍රජාපතී ගෝතමිය ගරු ධර්‍ම අට පිළිගනීයිද එයම ඇයට උපසම්පදාව වේවා”යි යනාදිය පැවසූ සේක. එහි සාවස්ස යනු එයම අයගේ පැවිද්දත් උපසම්පදාවත් වේවා!