4. අධිදේවඤාණදස්සන සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි එතදවොච යනු තමන්ගේ භාවනා භූමියෙහි උපන් විතර්‍කයක් භික්ෂු සංඝයාට සැළකිරීමට “පුබ්බාහං භික්ඛවේ” යනාදි වචනය පැවසූ සේක. ඔභාසං යනු දිවැස් නුවණේ ආලෝකයයි. ඤාණදස්සනං යනු දිවැස් නුවණ නම්වූ දැකීමයි, සන්තිවුත්‍ථපුබ්බං එක්ව විසූවිරූයි, මේ සූත්‍රයෙහි දිබ්බචක්ඛු ඤාණය, ඉද්ධිවිධ ඤාණය, චෙතොපරියඤාණය, යථාකම්මූපග ඤාණය, අනාගතඤාණය, පච්චුප්පන්න ඤාණය, අතීතඤාණය පුබ්බෙනිවාසඤාණ යයි මේ ඤාණ අට පෙළෙහි ආවාහුය. ඒවා සමඟ විදර්‍ශනාඥාන සතර මාර්‍ගඥාන සතර ඵලඥාන සතර ප්‍රත්‍යවෙක්‍ෂාඥාන එක්කොට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම සූත්‍රය කියන ලද්දේ නම් වෙයි.
5. අභිභායතන සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි අභිභායතනානි යනු මැඬපවත්වන කරුණුයි, කුමක් මැඬපවත්වත්ද? විරුද්ධ ධර්‍මයන් හා අරමුණුයි, ඒවා ප්‍රතිපක්‍ෂබවින් විරුද්ධ ධර්‍මයන් පුද්ගලයාගේ ඥානයේ ශ්‍රේෂ්ඨත්වය නිසා අරමුණු මැඬපවත්වත්. අජ්ඣත්තං රූපසඤ්ඤී යනාදියෙහි අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම වශයෙන් අජ්ඣත්තං රූපසඤ්ඤී නම් වෙයි. අධ්‍යාත්ම වූ නීලපරිකර්‍මය කරන්නේ කෙසෙහි හෝ පිතෙහි හෝ ඇස්තරුවේ හෝ කරයි. පීතපරිකර්‍මය කරන්නේ මේදයෙහි හෝ සමෙහි හෝ අත්පාතලයන්හි හෝ ඇස්වල කහ තැනෙහි හෝ කරයි. ලොහිත පරිකර්‍මය කරන්නේ මසෙහි හෝ ලෙයෙහි හෝ දිවෙහි හෝ ඇස්වල රතු තැන්හි හෝ කරයි. ඔදාත පරිකර්‍මය කරන්නේ ඇටෙහි හෝ දතෙහි හෝ නියෙහි හෝ ඇස්වල සුදු තැන්හි හෝ කරයි. එය වනාහි, ඉතා නිල් වූයේත් ඉතා කහ වූයේත් ඉතා රතු වූයේත් ඉතා සුදු වූයේත් නොවෙයි. අපිරිසුදුවූයේ වෙයි.
එකො බහිද්ධා රූපානි පස්සති යනු යමෙකුගේ මෙසේ පරිකර්‍මය අධ්‍යාත්මව උපන්නේ වේද නිමිත්ත වනාහි බාහිරද හෙතෙම මෙසේ අධ්‍යාත්මව පරිකර්‍මයාගේද බාහිරව අර්‍පණාවේද වශයෙන් අධ්‍යාත්ම රූප සඤ්ඤී වූයේ “එකෙක් බාහිරව රූපයන් දකීය”යි කියනු ලැබේ. පරිත්තානි යනු නොවඩන ලද්දෝයි. සුවණ්ණදුබ්බණ්ණානි යනු මනා පැහැපත් වූවෝ හෝ වෙත්වා දුර්වර්ණ වූවෝ හෝ වෙත්වා. නොවැඩීම් වශයෙන් මේ අභිභායතනය කියන ලදැයි දතයුතුය. තානි අභිභූය්‍ය යනු යම්සේ නම් මනාව දිරිවීම් ඇති පුද්ගලයෙක් හැන්දක් පමණ බත් ලබා කිම මෙහි කෑයුත්තක් දත්දැයි ඇද එක පිඬක්ම කරයි ද එසේම ඥානයෙන් උසස් වූ පුද්ගල තෙමේ ප්‍රකට ඥානය ඇත්තේ කිම මෙහි සුළුවූ අරමුණෙහි එළඹිය යුත්තක් නම් ඇත්ද? මෙය මගේ වගකීමක් නොවේ. ඒ රූප මැඬපවත්වා සමවදියි. නිමිත්ත ඉපදීමත් සමගම අර්‍පණාවට පමුණුවයි යන අරුත්ය. ජානාමි පස්සාමි යනු මෙයින් ආභොගය කියනලදි. එය වනාහි සමවතින් නැඟීසිටි පුද්ගලයාටය. සමාපත්තිය තුළ මෙබඳු සංඥා ඇත්තේ නොවෙයි යන අරුත්ය. ආභොග සංඥාවෙහි ද ධ්‍යාන සංඥාවෙහි ද මෙබඳු සංඥා ඇත්තේ වෙයි. ඔහුගේ අභිභවන සංඥාව සමවත ඇතුළත ද ඇත. ආභොග සංඥාව වනාහි සමවතින් නැගී සිටි තැනැත්තාටම වෙයි.
අප්පමාණානි යනු වැඩු ප්‍රමාණයෝයි, මහත්වූවෝ යන අරුත්ය. අභිභුය්‍ය යනු මෙහි ද යම්සේ බෙහෝ අනුභව කරන පුද්ගලයෙක් එක් බත්වැඩුමක් ලබා වෙනෙකක් ද වේවා වෙනෙකක් ද වේවා මෙය මට කුමක් කරයිදැයි නොමහත්ව දකියිද එසේ ඥානයෙන් උසස් පුද්ගලතෙමේ ප්‍රකට නුවණ ඇත්තේ කිම මෙහි සමවැදිය යුත්තක් තිබේද? මෙය ප්‍රමාණ නැතැයි මගේ සිත එකඟ කිරීමේ වගකීමක් ඇතැයි යටපත් කොට සමවදියි. නිමිත්ත ඉපදීමත් සමගම අර්‍පණාවට පමණුවතැයි අරුත්ය.
අජ්ඣත්තං අරූපසඤ්ඤී යනු නොලැබෙන බව නිසා හෝ නොවුවමනාව නිසා හෝ අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා විරහිත තැනැත්තායි,
එකො බහිද්ධා රූපානි පස්සති යනු යමෙකුට පරිකර්‍ම නිමිත්ත ද බාහිරව උපන්නේද හෙතෙම මෙසේ බාහිර පරිකර්‍මයාගේ ද අර්‍පණාවගේ ද වශයෙන් අධ්‍යාත්ම රූපසංඥා ඇත්තේ එකක් බාහිර රූපයන් දකිතියි කියනු ලැබේ. මෙහි සෙස්ස සතරවැනි අභිභායතනයෙහි ද කියනලද ක්‍රමය ඇත්තේමය. මේ සතරෙහි පරිත්තාරම්මණය විතර්‍කචරිත වශයෙනි, මනාපැහැය දොසචරිත වශයෙනි, දුර්වර්‍ණය රාගචරිත වශයෙනි. මේවායේ මේ සත්ප්‍රායයෝ ද ඒ මොවුන්ගේ සත්ප්‍රායබව ද විසුද්ධිමග්ගයෙහි චරියා නිද්දෙසයෙහි කියන ලද්දේය.