5-6. මහානාම ආදි සූත්ර වර්ණනා
පස්වැන්නෙහි අත්ථූපපරික්ඛි හොති යනු වැඩ අවැඩ කරුණු නොකරුණු විමසා බලන ලද්දේ වෙයි. සයවැන්නෙහි ශ්රද්ධාශීලත්යාගයෝ මිශ්රකව කියන ලද්දාහ.
7. බල සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි උජ්ඣන්තිබලා යනු දොස් නැඟීමේ බලයෝයි, බලයන්ගෙන් යමක් වේද ඒ ක්රොධ සිතය. හෙතෙම එසේ මට කීවේය වෙනෙකක් නොවේයයි මෙසේ දොස් නැඟීමම බලයයි. නිජ්ඣන්තිබලා යනු මෙය නොවේ. එය මෙබඳු මෙබඳු නමැයි වැඩ අවැඩ නිශ්චය කිරීමම බලයයි, පටිසඞ්ඛානබලා යනු ප්රත්යාවෙක්ෂා බලයෝයි. ඛන්තිබලා යනු ඉවසීමේ බලයෝයි.
8. ඛීණාසවබල සූත්ර වර්ණනාව
අටවැන්නෙහි බලානි යනු ඥාන බලයෝයි, ආසවානං ඛයං පටිජානාති යනු රහත්බව මනාව දනියි. අනිච්චතො යනු වී නොවීමේ අයුරිනි, යථාභූතං යනු පවත්නා සැටියෙනි, පඤ්ඤාය යනු විදසුන් සහිත මාර්ග ප්රඥාවෙනි, අඞ්ගාරකාසුපමා යනු දැවීමේ අරුතින් ගිනි අඟුරු වලකට උපමා කරනලද මේ කාමයෝයි. විවෙකනින්නං යනු ඵලසමාපත්ති වශයෙන් නිවනට නැඹුරුවූයි, වවකට්ඨං යනු කෙලෙස් ඉවත්කළ, දුරුකළ හෝයි, නෙක්ඛම්මාභිරතං යනු පැවිද්දෙහි ඇළුණුයි, ව්යන්තීභූතං යනු එක් අංශයකිනුදු නො ඇළුණු, වෙන්වූ, එකට නොගැටුනාවූයි, ආසවට්ඨානීයෙහි යනු එක්ව යෙදීම් වශයෙන් ආශ්රවයන්ට හේතු වූවන්ගෙනි, ක්ලෙශ ධර්මයන්ගෙනි යන අරුත්ය. නැතහොත් ව්යන්තීභූතං යනු දුරුවූ වැයවීමයයි අරුත්ය. කොයින්ද? සබ්බසො ආසවට්ඨානීයෙහි ධම්මෙහි යනු සියලු ත්රෛභූමික ධර්මයන්ගෙනියි අරුත්ය. මේ සූත්රයෙහි ලෞකික ලෝකෝත්තර ආර්යමාර්ගය කියන ලදි.
9. අක්ඛණ සූත්ර වර්ණනාව
නවවැන්නෙහි ක්ෂණයෙහි කටයුතු කරයිනුයි ඛණකිච්චො නමි, අවකාශ ලබාම කටයුතු කරයි යන අරුතයි. ධම්මො යනු සිවුසස් දහම්ය. ඔපසමිකො යනු කෙලෙස් සංසිඳීම ගෙන එන්නාවූයි. පරිනිබ්බායිකො යනු කෙලෙස් පිරිනිවම කරන්නාවූයි, සිවුමග නුවණ නම්වූ සම්බෝධියට යයි, සැපැමිණෙයි යන්නෙන් සම්බොධගාමි නමි. දීඝායුකං දෙවනිකායං යනු මෙය අසංඥී දේවනිකාය සඳහා කියන ලදි. අවිඤ්ඤාතාරෙසු යනු බෙහෙවින්ම නොදන්නවුන් අතුරෙහියි,
සුප්පවෙදිතෙ යනු මනාව කියන ලද්දෙහියි. අන්තරායිකා යනු අන්තරාය ඇතිකරන්නාවූයි. ඛණො වෙ මා උපච්චගා මේ ලබන ලද අවස්ථාව නොඉක්මේවායි. ඉධචෙව නං විරොධෙති යනු ඉදින් පමාව හැසිරෙන කිසිවෙක් මෙහි මේ අවස්ථාව ලබා සද්ධර්මයාගේ සහතිකභාවය වූ ආර්ය්යමාර්ගය වළක්වයිද නොසපයයි ද යනුයි, අතීතත්ථො යනු අත්හළ අරුත් ඇත්තේයි, චිරත්තං අනුතපෙස්සති යනු බොහෝ කලක් තැවෙයි. යම්සේ නම් අසුවල තැන බඩු සම අගයක් (සාධාරණ අගයක්) ඇත්තේයයි අසා එක් වෙළෙන්දෙක් නොයෙන්නේද අන් අය ගොස් ගන්නාහුද ඔවුනට එය අට ගුණයක් ද දසගුණයක් ද (ලාභ) වන්නේය. ඉක්බිති සෙසු (නොගිය) පුද්ගලයා මගේ අර්ත්ථය ඉක්මුනේ යයි තැවෙන්නේද එසේ යමෙක් මෙහි අවකාශයක් ලැබ නොපිළිපදින්නේ සද්ධර්මයාගේ සහතිකභාවය වළහයි. හෙතෙම මේ වෙළෙන්දා මෙන් පහවූ අර්ත්ථ ඇත්තේ තැවෙයි, වැඩිදුරටත් ශෝකකරයි. අවිද්යාවෙන් ගැළුණු පුද්ගලයා ද එසේය. පච්චවිදුං යනු අවබෝධ කළාහුය. සංවරා යනු සීලසංවරයෙනි, මාරධෙය්යසරානුගෙ යනු මාරයාට අයත්දෙය නම් වූ සසරට අනුගතවූයි. පාරගතා යනු නිවනට ගියෝයි, යෙ පත්තා ආසවක්ඛයං යනු යමෙක් රහත් බවට පත්වූවාහුද ඔවුහුයි, මෙසේ මෙහි ගාථාවන්හි සසර හා නිවන කියන ලදි.