“සඞ්ගනිකාරාමස්ස” යනු සමූහයා සමඟ එක්වීමෙහි මෙන්ම කෙලෙසුන් හා එක්ව විසීමෙහි ඇළුණු තැනැත්තාගේයි, ආරද්ධවිරියස්ස යනු කායික චෛතසික වීර්‍ය්‍ය වශයෙන් අරඹන ලද වීර්‍ය්‍ය ඇත්තාගේයි, උපට්ඨිතසතිස්ස යනු සතර සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහිය ඇත්තාගේයි, සමාහිතස්ස යනු එකඟවූ සිත ඇත්තාගේයි, පඤ්ඤචතො කම්පල ඇදහීමේ ප්‍රඥාවෙන් පැනවත්වූ පුද්ගලයාගේයි,
සාධු සාධු යනු තෙරුන්ගේ විතර්‍කය (ගැන) සතුටු වෙමින් මෙසේ කීය. ඉමං අට්ඨමං යනු නිධන් සත ලද පුද්ගලයකුට අටවැනනක් දෙන්නකු මෙන් සත්මිණිරුවන්, සත් ඇත්රුවන්, සත් අස්රුවන් ලද පුද්ගලයකුට අටවැන්නක් දෙන්නකු මෙන් සත් මහා පුරුෂ විතර්‍කයන් විතර්‍කනය කොට සිටියහුට අටවැන්න පවසන්නේ මෙසේ කීවේය. නිප්පපඤ්චාරාමස්ස යනු තෘෂ්ණා මන දිට්ඨි ප්‍රපංචරහිත බැවින් නිෂ්ප්‍රපංචය නම් වූ නිවනෙහි කැමැති වූවහුටයි, සෙස්ස ඊටම අපරනාමයකි.
යතො යනු යම් විටෙකය, තතො යනු එවිටය, නානාරත්තානං යනු නිල්, කහ, රතු, සුදු පැහැ ඇති නොයෙක් සායම්වලින් පැහැගන්වන ලද්දාවුයි, පංසුකූලං යනු තෙවිසි කෙතෙහි පැවැති පංසුකූලයයි, චීවරානං ඛායිස්සති යනු පෙරවරු ආදී යම් කලෙක ඔහුට යමක් කැමති වේද, එකල්හි එය පොරවන්නාට ඒ රෙදි බඳුන මනාපවී හැඟෙයි. මෙසේ චීවරසන්තොස මහා අරියවංසයෙන් සතුටුව වසන්නා වූ නුඹටද පාංසුකූල චීවරය (ගැන) හැඟෙයි, වැටහෙයි, රතියා යනු කැමැත්ත සඳහායි. අපරිතස්සාය යනු තෘෂ්ණාදෘෂ්ටි සැලීවලින් නොසැලීම සඳහායි, ඵාසුවිහාරාය යනු සුවසේ විසීම සඳහායි. ඔක්කමනාය නිබ්බානස්ස යනු අමා නිවනට බැස ගැනීම සඳහායි.
පිණ්ඩියාලොපං යන ගම්නියම්ගම් රජදහන්වල කෙණ්ඩා බලයෙන් ගෙපිළිවෙලින් හැසිරීමෙන් ලද පිඬු අහරයි, බායිස්සති යනු ඒ ගෘහපතියාට නොයෙක් අග්‍රරස බොජුනක් මෙන් හැඟෙයි. සන්තුට්ඨස්ස විහරතො යනු පිණ්ඩපාත සන්තොස මහා අරියවංසයෙන් සතුටුව වසන්නහුටයි. රුක්ඛමූලං සෙනාසනානං ඛායිස්සති යනු ගෘහපතියාට තෙමහල් පහයෙහි සුවඳ කුසුම් සුවඳ කැවූ කුළුගෙය මෙන් රුක්මුල හැඟෙයි, සන්තුට්ඨස්ස යනු සෙනාසනසන්තොස මහා අරියවංසයෙන් සතුටුවූවහුටයි. තිණසන්‍ථරකො යනු තණවලින් හෝ පත්වලින් බිම හෝ පුවරු ගල්තලයන්ගෙන් එක්තරා තැනක හෝ ඇතුරු ඇතිරිල්ලෙහියි. පූතිමුත්තං යනු කිසියම් මූත්‍රයකි, එකෙණෙහි ගත් මූත්‍රය ද පූතිපුත්තමයි කියනු ලැබේ. සන්තුට්ඨස්ස විහරතො යනු ගිලන්පස බෙහෙත් පිරිකර සතුටින් සතුටුව වසන්නහුටයි,
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සිවු තැනෙක්හි රහත්බවට හෙළමින් කමටහන් කියා කවර සෙනසුනක වසන්නහුට නම් කමටහන් යෝග්‍ය වන්නේදැයි විමසා බලන සේක් එහිම වාසය කිරීම නිසායයි දැන එසේ නම් අනරුද්ධ, ඔබ යනාදිය පැවසූ සේක. පචිචිත්තස්ස විහරතො යනු තුන් විවේකයෙන් හුදෙකළා වී වසන්නාටයි, උය්‍යොජනිකපිසංයුත්තං යනු උනන්දු කරවන්නාවූම වචනයන්ගෙන් යුක්තවූයි, ඔවුන් උවටැනට යවන්නාවූම යනාර්‍ත්‍ථයි. පපඤ්චනිරොධෙ යනු නිවනෙහියි, පක්ඛන්‍දති යනු අරමුණු කිරිම් වශයෙන් පනියි, පසීදති යනාදියෙහි ද අරමුණු වශයෙන්ම පැහැදීම පැවතීම හා නැවතීම දතයුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ චෙති රටෙහි පෙරදිග හුණ ලැහැබෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට කියනලද අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් නැවත භෙසකලා වන මහා විහාරයෙහි වැඩහිඳි භික්ෂු සංඝයාට විස්තර වශයෙන් වදාළ සේක.
මනොමයෙන යනු මනසින් උපදවන ලද ශරීරය ද මනොමයයි කියනු ලැබේ. මනසින් නිර්‍මාණය කරනලද ශරිරය ද වේ. මෙහි මනසින් කළ ශරීරය සඳහාම කීවේය. යථා මෙ අහු සඞ්කප්පො යනු යම්සේ මට විතර්‍කයක් වූයේද යනුයි, තතො උත්තරී යනු අෂ්ටමහාවිතර්‍කයන් දක්වනසේක් එයින් මත්තෙහි දෙසූ සේක. සෙසු සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
තෙවැනි ගහපති වර්‍ගය
4. දාන වර්ගය
1. දාන සූත්‍ර වර්ණනාව
සතරවෙනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි ආසජ්ජදානං දෙති යනු පැමිණ දන්දෙයි, පැමිණියහු දැක ඔහු මොහොතක්ම හිඳුවා සත්කාර කොට දන්දෙයි, දෙන්නෙමැයි වෙහෙස නොකරවයි, භයා යනු මෙතෙම නොදන්නෙකි, නොකරන්නෙකියි ගැරහීම් බියෙන් හෝ අපාය බියෙනි, අදාසි මෙ යනු මෙතෙම පෙර මෙනම් දෙය දුන්නේයයි (සිතා) දෙයි, දස්සති මෙ යනු අනාගතයෙහි මෙනම් දෙය දෙන්නේයයි දෙයි, සාහුදානං යනු දානය නම් මැනවි, සොඳුරුය. බුද්ධාදී පඬිවරුන් විසින් පසසන ලද්දකැයි දෙයි, චිත්තාලඞ්කාරචිත්ත පරික්ඛාරත්‍ථං දෙති යනු සමථ විදර්‍ශනා සිත අලංකාර කරනු සඳහා ද පිරිකර සඳහා ද දෙයි, දානය සිත මෙළෙක් කරයි, යමකු විසින් ලබන ලද්දේ ද හෙතෙම ලැබිනැයි මෘදු සිත් ඇත්තේ වෙයි. යමකු විසින් දෙන ලද්දේ ද හෙතෙම මවිසින් දෙන ලදැයි මෘදු සිත් ඇත්තේ වෙයි, මෙසේ දෙදෙනාගේම සිත මෘදු කරයි, එහෙයින්ම අදන්තදමන යැයි කියනු ලැබේ. එහෙයින් කියන ලදි.