3. විනය වර්ගය
1. ප්‍රථම විනයධර සූත්‍ර වර්ණනාව
අටවැනි වර්ගයෙහි ප්‍රථම සූත්‍රයෙහි ආපත්තිං ජානාතී යනු ඇවතම ඇවැතැයි දනියි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි.
2. දෙවෙනි විනයධර සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි සවාගතානි යනු මනාව පැමිණියාවූයි, යහපත් සේ පුහුණු කරන ලද්දාවූයි, සුවිභත්තානි යනු කොටස් වශයෙන් මනාව බෙදන ලද්දාවූයි. සුප්පචත්තිනී යනු සිහිකළ සිහිකළ තන්හි මනාව පැවැත්තාවූයි, දැඩි සේ පුහුණු කරන ලද්දාවූයි, සුචිනිච්ඡිතානි යනු මනාව විසඳන ලද්දා වූයි, සුත්තසො යනු සූත්‍ර විභාග වශයෙනි, අනුව්‍යඤ්ජනසො යනු ඛන්ධක පරිවාර වශයෙනි.
3. තෙවෙනි විනයධර සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි විනයෙ ඛො පන ඨිතො හොති යනු විනය ලක්‍ෂණයෙහි පිහිටියේ වෙයි, අසංහීරො යනු ගන්නා ලද ගැනීම අත්හරවාලීමට නොහැක්කේ වෙයි.
9. සත්ථුසාසන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි එකො යනු නොදෙවැනි වූයේයි. වූපකට්ඨො යනු කයින් ද සමූහයාගෙන් සිතින් කෙලෙසුන්ගෙන් ද හුදෙකළාවූයේ වෙන්වූයේ දුරුවූයේයි, අප්පමත්තො යනු සිහියෙන් තොර නොවීමෙහි සිටියේයි, පහිතත්තො යනු අධිෂ්ඨාන පරවශවූයේයි, නිබ්බිදාය යනු භවයෙහි උකටලීවීම සඳහායි, විරාගාය යනු රාගාදියේ නොඇලීම සඳහායි, නිරොධාය යනු නොපැවැත්ම කරනු සඳහායි. වූපසමාය යනු කෙලෙස් සංසිඳීම සඳහායි, නොපැවැත්ම සඳහායි, අභිඤ්ඤාය යනු තිලකුණට නඟා මනාව දැනීම සඳහායි, සම්බොධාය යනු මාර්‍ගය නමැති සම්බෝධිය සඳහායි, නිබ්බානාය යනු නිවන පසක් කරනු සඳහායි.
10. අධිකරණසමථ සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අධිකරණයන් සමනය කරත් සංසිඳවත්නුයි අධිකරණසමථා නමි. උප්පන්නුප්පන්නානං යනු උපන්නා වූ උපන්නාවූයි, අධිකරණානං යනු විවාදාධිකරණ අනුවාදාධිකරණ කිච්චාධිකරණ ආපත්තාධිකරණ යන මේ සතරේයි, සමථාය වූපසමාය යන සමනය කරනු සඳහා ද සංසිඳවනු සඳහා ද වේ. සම්මුඛාවිනයො දාතබ්බො -පෙ- තිණවත්‍ථාරකො යනු මේ සප්ත සමථයෝ දියයුත්තාහ. ඒවා විසඳන ක්‍රමය විනය වර්‍ණනාවෙන් ගතයුතුය. තව ද දීඝනිකායෙහි සංගීති සූත්‍ර වර්‍ණනාවෙහි ද විස්තර කරන ලද්දේමය. එසේ මජ්ඣිම නිකායෙහි සාමගාම සූත්‍රවර්‍ණනායෙහි ද වේ.
අටවැනි වූ විනයධර වර්‍ගයයි.
මෙයින් අන්‍ය වූ සූත්‍ර සත පැහැදිලි අරුත් ඇත්තේමය. මෙහි කිසිවක් යට නොකියන ලද ක්‍රමයක් නම් නොමැත.
මනොරථපූරණී නම්වූ අංගුත්තරනිකායට්ඨකථාවෙහි
සත්තක නිපාත වර්‍ණනාව නිමියේයි.