8. පචලායන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි පචලායමානො යනු ඒ ගම ඇසුරු කොට එක් වන ලැහැබක මහණදම් කරමින් සත්දිනක් සක්මන් වෑයමින් පෙළුණු බැවින් වෙහෙසුණු සිරුරු ඇත්තේ සක්මන් කෙළවර නිදාවැටෙමින් හුන්නේ වෙයි, පචලායසි නො යනු නිදාවැටෙහි නොවේද? අපනිජිත්වා යනු පිරිමැඬයි, ආලොකසඤ්ඤං යනු ථීනමිද්ධය දුරුකරන ආලොක සංඥාවයි, දිවාසඤ්ඤං යනු යම්සේ දහවල ආලෝක සංඥාව අදිටන් කරන ලද්දේ ද එසේ එය රැයෙහි ද අදිටන් කරන්නෙහියි, යථා රත්තිං තථා දිවා යනු යම්සේ ඔබ විසින් රැයෙහි ආලෝක සංඥාව අදිටන් කරන ලද්දේ ද එසේ එය දහවලෙහි ද අදිටන් කරන්නෙහිය. සප්පභාසං යනු දිවැස් නුවණ සඳහා ආලෝකය සහිතවූයි. පච්ඡා පුරෙසඤ්ඤී යනු ඉදිරියෙන් ද පසුව ද ඉදිරියට ගෙනෙන සංඥාවෙන් සංඥාසහගතවූයේයි, අන්තොගතෙහි ඉන්ද්‍රියෙහි යනු පිටතට නොවිසුරුවන ලද ඇතුළතට පිවිසුවන ලද්දාවූම ඉඳුරන් පසිනි, මිද්ධසුඛං යනු නිදිසුවයයි, මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ තෙරුන්ට නින්ද දුරුකරන කමටහනක් පැවසූ සේක. සොණ්ඩං යනු මානයෙන් සොඬ විමයි (ඇබ්බැහි වීමයි), කිච්චකරණීයානි යනු මෙහි අවශ්‍යයෙන්ම කළයුතු දේ කිච්ච නමි, ඉතිරිවා කරණීයානි නමි, මඞ්කුභාවො යනු තෙදනැති බවයි, දොම්නස් බවයි, මෙපමණකින් ශාස්තෘන් වහන්සේ විසින් තෙරුන්ට පිඬු හැසිරීමේ වත දෙසන ලදි.
දැන් ප්‍රලාප කථාවෙහි සීමා කිරීමෙහි සමාදන් කරවනු සඳහා තස්මාතිහ යනාදිය පැවසූ සේක, එහි විග්ගාහිකකථං යනු ඔබ මේ ධර්‍මවිනය නොදන්නෙහිද යන ක්‍රමයෙන් පැවැති විග්ගාහික (දබර ඇතිකරවන සුලු) කථාවයි, නාහං මොග්ගල්ලාන යනාදිය පවිටු මිතුරන් ඇසුරු දුරුකිරීම සඳහා කියන ලදි. කිත්තාවතා නු ඛො යනු කොපමණකින්ද? තණ්හාසඞ්ඛය විමුත්තො හොති යනු තෘෂ්ණාක්ෂය වූ නිවනෙහි මෙය අරමුණ කොට මිඳුණු සිත ඇති බැවින් තණ්හාසඞ්ඛය විමුත්තො නම්වූයේ සැකෙවින් කවරාකාරයෙන් වේද? යම් පිළිවෙතකින් තණ්හාව නැතිකිරීමෙන් මිඳුනේ වේද ක්‍ෂීණාශ්‍රව් භික්ෂුවගේ පූර්‍වභාග ප්‍රතිපදාව වන එය මට සැකෙවින් දෙසනු මැනවැයි අසයි, අච්චන්තනිට්ඨො යනු ගෙවීම් විනාශවීම් සංඛ්‍යාත කෙළවර ඉක්මවීයයි අච්චන්තා නමි, අච්චන්ත වූ නිෂ්ඨාව මොහුටනුයි අච්චන්තනිට්ඨයො නමි, ඒකාන්තයෙන්ම නිෂ්ඨාවට පැමිණියේ නිරන්තරයෙන්ම නිෂ්ඨාව ඇත්තේයි අරුත්ය. අච්චන්තයොගක්ඛෙමී යනු අත්‍යන්තයෙන් යොගක්ෂෙම වූයේ නිත්‍යයෙන් යොගක්ෂෙම වූයේයි අර්‍ත්‍ථයි, අච්චන්තබ්‍රහ්මචාරී යනු අත්‍යන්තයෙන් බ්‍රහ්මමචාරී වූයේයි අර්‍ත්‍ථයි, පළමු ක්‍රමයෙන්ම අත්‍යන්තයෙන් අවසානය මොහුටනුයි අච්චන්තපරියොසානො නමි, සෙට්ඨො දෙවමනුස්සානං යනු දෙවියන්ට ද මිනිසුන්ට ද ශ්‍රේෂ්ඨවූයේ උත්තම වූයේයි, මෙබඳු භික්ෂුව කවරාකරායෙන් වේද සැකෙවින්ම ඔහුගේ පිළිවෙත කියනු මැනවැයි අයදියි,
සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසාය යනු මෙහි සියලු ධර්‍මයෝ නමි පඤ්චස්කන්ධ, දොළොස් ආයතන අටළොස් ධාතු යන මේවායි, ඒ සියල්ලෝම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අභිනිවෙශය (අල්වාගැනීම එදෙසට නැඹුරුවීම) සඳහා හැකි නොවේ, සමත් නොවේ, නොසුදුසුය, කුමක් නිසාදයත්? ගත් අයුරින් නොසිටින බැවිනි, ඔවුහු නිත්‍ය සුඛ ආත්මයයි ගන්නා ලද්දාහුද අනිත්‍ය දුක්ඛ අනාත්මයෝ බවටම පැමිණත්, එබැවින් අභිනිවේශයට නොහැකි වේ. අභිජානාති යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම යයි අවබෝධ කළ මනා දැනුමින් මනාව දනියි, පරිජානාති යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම යයි අවබෝධ කළ මනා දැනුමින් මනාව දනියි, පරිජානාති යනු එසේම තීරණ ප්‍රඥාවෙන් මනාව දනියි, යං කිඤ්චි වෙදනං යනු යටත් පිරිසෙයින් පඤ්ච විඤ්ඤාණයෙන් යුක්ත වූ යම්කිසි සුලුවූද වේදනාවක් විඳියි, මෙයින් භාග්‍යවතුන් වහන්සේ තෙරුන්ට වේදනා වශයෙන් ද පෙරළා අරූප පරිග්‍රහය දැක්වූ සේක.
අනිච්චානුපස්සී යනු අනිත්‍ය වශයෙන් විමසා බලන්නේයි, විරාගානුපස්සී යනු මෙහි විරාග දෙකෙකි, ඛයවිරාගය ද අත්‍යන්ත විරාගය ද වේ. එහි සංස්කාරයන්ගේ විනාශය විනාශවීම් වශයෙන් දකින්නා වූ විදර්‍ශනාව ද අත්‍යන්ත විරාගය වූ නිවන විරාග වශයෙන් දක්නා වූ මාර්‍ගඥානය ද විරාගානුපස්සනාවයි, ඒ දෙකින්ම යුත් පුද්ගල තෙමේ විරාගානුපස්සී නම් වෙයි. ඒ සඳහා විරාගානුපස්සී යයි කියන ලදි. විරාග වශයෙන් අනුව දකින්නේයි අරුත්ය. නිරොධානුපස්සී යන්නෙහි මේ ක්‍රමයමයි. නිරොධය ඛයනිරොධය අත්‍යන්ත නිරොධයයි දෙවැදෑරුම්ය. පටිනිස්සග්ගානුපස්සී යනු මෙහි අතහැරීම පටිනිස්සග්ග යයි කියනු ලැබේ. එය ද පරිච්චාගවොස්සග්ග, පක්ඛන්දන වොස්සග්ග යයි දෙවැදෑරුම් වෙයි, එහි පරිච්චාගවොස්සග්ග යනු විදර්‍ශනාවයි, එය තදඞ්ග වශයෙන් කෙලෙසුන් ද ස්කන්ධයන් ද අත්හරියි, පක්ඛන්දන වොස්සග්ග යනු මාර්‍ගයයි, එය නිවන අරමුණු වශයෙන් ඉදිරියට පනියි, ඒ වොස්සග්ගයම සම්පූර්‍ණයෙන් සිඳ දැමීම් වශයෙන් ස්කන්ධයන් හා කෙලෙසුන් අත්හරිනා බැවින් ද නිවනෙහි ද පැකිලෙන බැවින් ද යන දෙකරුණින්ම වේ. එහෙයින් කෙලෙසුන් ද ස්කන්ධයන් ද අත්හරියිනුයි පරිච්චාගවොස්සග්ගය ද නිරොධ සංඛ්‍යාත වූ නිර්‍වාණ ධාතුවෙන් සිත ඉදිරියට පනීනුයි පක්ඛන්දන වොස්සග්ගය ද යන මේ දෙකම මාර්‍ගයෙහි ගැලපෙයි, ඒ දෙකින්ම යුත් පුද්ගල තෙමේ මේ පටිනිස්සග්ගානුපස්සනාවෙන් යුක්ත වූ බැවින් පටිනිස්සග්ගානුපස්සී නම් වෙයි. ඒ සඳහා කියන ලදි. න කිඤ්චි ලොකෙ උපාදියති යනු සංස්කාරගත වූ කිසිඑකකුදු තෘෂ්ණා වශයෙන් අල්ලා නොගනියි, නොගනියි, පරාමර්‍ශනය නොකරයි, අනුපාදියං න පරිතස්සති යනු (අල්වා) නොගන්නේ තෘෂ්ණා දැවිල්ලෙන් නොතැවෙයි, පච්චත්තංයෙව පරිනිබ්බායති යනු තෙමේම කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවෙයි, ඛීණාජාති යනාදියෙන් මොහුගේ ප්‍රත්‍යවේක්ෂණය දක්වන ලද්දේය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් ක්ෂීණාශ්‍රවයාගේ පූර්‍වභාග ප්‍රතිපදාව විමසන ලද සේක් සැකෙවින්ම දෙසූ සේක. මේ සූත්‍රය තෙරුන්ට අවවාදයක් ද වූයේය. විදර්‍ශනාව ද වූයේය. හෙතෙම මේ සූත්‍රයෙහිම ගැටී රහත් බවට පත්වූයේය.