7. සත්තමෙථුන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි උපසඞ්කමි යනු වැළඳූ උදා ආහාර ඇත්තේ දස්කම්කරුවන් පිරිවරන ලද්දේ එළඹියේය. භවම්පි නො යනු පින්වතුන් වහන්සේ නොවේද? බ්‍රහ්මචාරි පටිජානාති යනු මම බ්රහ්මචාරියෙක්මැයි මෙසේ බඹසර වැසීම පිළිණ කරයිදැයි විමසයි. ඔහුට මෙසේ අදහසක් විය. “බමුණු දහමෙහි වේදය උගන්නෝ අටසාළිසක් හවුරුදු බඹසර හැසිරෙත්. ශ්‍රමණභවත් ගෞතමයෝ ගිහිගෙහි වසන්නෝ තුන් පහයන්හි තෙවැදෑරුම් නාට්‍ය රතියෙන් සතුටුවූහ. දැන් කුමක් කියන්නහුද?” යන මේ කරුණ සඳහාම අසයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මන්ත්‍රයකින් නයකු ගන්නා සේ සතුරකු ගෙලෙන් පයෙන් මඬින්නා සේ තමන්ගේ කෙලෙසුන් ඇති කල්හි ද සාවුරුද්දක් භාවනාවෙහි හැසිරීමේ දී රජසැපක් හෝ පහයන්හි නිළි සැපත හෝ අරභයා විතර්ක මාත්‍රයකුදු නූපන්බව සඳහා සිංහ නාදය පවත්වන සේක් “යං හි තං බ්‍රාහ්මණ” යනාදිය වදාළ සේක. එහි ද්වයං ද්වයසමාපත්තිං යනු දෙකින් දෙකින් සමවැදිය යුතු බවයි. දුක්ඛස්මා යනු සියලු සසර දුකෙනි, සඤ්ජග්ඝති යනු සිනහ කථා කියයි, සංකීළති යනු ක්‍රීඩා කරයි, සංකෙළායති යනු මහත් වූ සිනහසෙයි, චක්ඛුනා චක්ඛුං යනු තමාගේ ඇසින් ඇයගේ ඇස මනාව දැන මෙනෙහි කරයි, තිරොකුඩ්ඩං වා තිරොපාකාරං වා යනු බිත්තියෙන් එපිට හෝ පවුරෙන් එපිටයි. දෙවො යනු එක් දිව්යරාජයෙකි, දෙවඤ්ඤතරො යනු එක්තරා දිව්‍ය පුත්‍රයෙකි, අනුත්තරං සම්මාසම්බොධිං යනු අරහත්වය මෙන්ම සර්වඥතා ඥානය ද වේ.
8. සංයොගවිසංයොග ධම්මපරියාය සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි සංයොගවිසංයොගං යනු එක්විම හා වෙන්වීම ඇති කරන්නාවූයි, ධම්මපරියායං යනු ධර්මකාරණයයි, අජ්ඣත්තං ඉත්ථින්ද්රියං යනු ස්වකීය ආධ්‍යාත්මික වූ ස්ත්රීභාවයයි, ඉත්ථිකුත්තං යනු ස්ත්‍රී ක්‍රියාවයි. ඉත්ථාකප්පං යනු හැඟීම් පෙරවීම් ආදී ස්ත්‍රී ආකල්පයයි, ඉත්ථිවිධං යනු ස්ත්‍රියගේ මානවිධියයි. ඉත්ථිඡන්දං යනු ස්ත්‍රියගේ අදහස් කැමැත්තයි, ඉත්ථිස්සරං යනු ස්ත්‍රියගේ හඬයි. ඉත්ථාලංකාරං යනු ස්ත්‍රියගේ පළඳනා බඩුයි, පුරිසින්ද්රියාදීන්හි ද මේ ක්‍රමයමැයි, බහිද්ධාසංයොගං යනු පිරිමියකු සමඟ එක්වීමයි, අතිවත්තති යනු ඇල්මක් නැතැයි මෙසේ කියන ලද බලවත් විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පැමිණ ඉක්මවා පවතියි. මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
9. දානමහප්ඵල සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි සාපෙඛො යනු තෘෂ්ණා සහිත වූයේයි, පටිබද්ධවිත්තො යනු විපාකයෙහි බැඳුණු සිතැත්තේයි, සන්නිධිපෙඛො යනු නිධාන අපේක්ෂා ඇත්තේම වීයි, පෙච්ච යනු පරලොවට ගොස් ද යනුයි, තං කම්මං ඛෙපෙත්වා යනු එම කර්ම විපාකය ගෙවායි, ඉද්ධිං යනු විපාක ඍද්ධියයි, යසං යන පිරිවර සම්පත්තියයි, ආධිපච්චං යනු දෙටුබවට හේතුවූයි, ආගන්තා ඉත්ථතතං යනු මේ පංචස්කන්ධයෙහි ස්ත්‍රී බවට යළි පැමිණෙන්නේයි, එහිම උපත ඇත්තේ ද, මතු මත්තෙහි උපත ඇත්තේ ද නොවේ යටට යන්නේම වේයයි අරුත්ය. සාහු දානං යනු දීම නම්වූ මෙය මනාව ලබන ලද්දකි, සොඳුරුය. තානි මහායඤ්ඤාති යනු ගින්නෙන් වෙඬරු දීකිරි, මීපැනි ආදියෙන් නිමාවට ගිය ඒ මහාදානයෝයි, චිත්තාලඞ්කාරං චිත්තපරික්ඛාරං යනු සමථ විදර්ශනා සිතට අලංකාර වූයේ හා පිරිවර වූයේයි, බ්රහ්මකායිකානං දෙවානං සහව්යතං යනු එහි දානයෙන් ඉපදීමට නොහැකිය. යම් හෙයකින් එය සමථ විදර්ශනා සිතට අලංකාර වූයේද එහෙයින් ඒ දානයෙන් අලංකාර කරන ලද සිතෙන් ධ්‍යානය ද ආර්යයමාර්ගය ද උපදවා ධ්‍යානයෙන් එහි උපදියි. අනාගාමී හොති යන ධ්යානානාගාමී නම් වෙයි, අනාගන්තා ඉත්ථත්තං යනු යළි ස්ත්‍රීභාවයට නොඑන්නේ මත්තෙහි උපදින්නේ හෝ එහි උපදින්නෙක් හෝ වී එහිම පිරිනිවෙයි. මෙසේ මේ දානයන්හි පළමුවැන්න තණ්හුත්තරිය දානය ද දෙවැන්න චිත්තීකාරදානය ද තෙවැන්න හිරොත්තප්ප දානය ද සිවුවැන්න නිරවසෙස දානය ද පස්වැන්න දක්ඛිණෙය්‍ය දානය ද සවැන්න සොමනස්සූපවිචාර දානය ද සත්වැන්න අලංකාරපරිවාර දානය ද නම් වේ.